වැව් 5000 ප්‍රතිසංස්කරණය ලබන සතියේ සිට ඇරැඹේ | සිළුමිණ

වැව් 5000 ප්‍රතිසංස්කරණය ලබන සතියේ සිට ඇරැඹේ

දිවයින පුරා ඇති වැව් 5000ක් පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේදය අනුව ලබන සතියේ සිට ප්‍රතිසංස්කරණය ආරම්භ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා පවසයි.

‘වාරි සෞභාග්‍ය’ නමින් මෙම වැඩසටහන ඇරඹෙන බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි චමල් රාජපක්ෂ ඇමතිවරයා හා අනුරාධ ජයරත්න, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් සමන්විත කාර්ය සාධක කමිටුවක් මඟින් මෙම වැව් ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබේ.

මේ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය සහ ආයතන මඟින් මෙම වැව් 5000 ඉදිකිරීමේ කටයුතු කෘෂි විද්‍යාත්මකව ලබන සතියේ සිට සිදු කරනු ලැබේ.

මේ යට‍තේ වැඩිම වැව් ප්‍රමාණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ පිළිබඳ අධීක්ෂණ කටයුතු අදාළ ප්‍රාදේශීය ගොවිජන සේවා කොමසාරිස්වරු මඟින් දැනටම සිදුකරමින් පවතින බවත් ලබන සතියේ සිට වැව් ප්‍රතිසංස්කරණය අරඹන බවත් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් වීරසේකර මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඉදිරි මහ කන්නයේ වැඩ ඇරැඹීමට පෙර මෙම වැව් වලින් ජලය නිකුත් කිරීමට අපේක්ෂිතය. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගොවි සංවිධාන සිවිල් ආරක්ෂක බළකාය හා තරුණ සමාජවල පූර්ණ සහාය ලබාගනී. ඊට අමතරව තවත් වැව් 15000 ප්‍රතිසංස්කරණ කාර්ය ලබන වසරේ පෙබරවාරි 4 සිට අරඹන බවත් වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

Comments