බටහිර ඖෂධ නිපැයුමට ආ‍යෝජන කලාප 2ක් | සිළුමිණ

බටහිර ඖෂධ නිපැයුමට ආ‍යෝජන කලාප 2ක්

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400ක ආයෝජන කලාපයක් ද දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක් ද පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් මෙතෙක් ඖෂධ ගෙන්වීමට වසරකට විදෙස් කරා ගිය රුපියල් බිලියන 60ක් පමණ මෙරට ඉතිරි කර ගැනීමට ද හැකි වනු ඇත. මේ කාර්යය සඳහා එතෙර මෙතෙර ඖෂධ සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටින බවද මූලික කටයුතු ලබන මස අරඹන බවද ඖෂධ නිෂ්පාදනය හා සැපයීම් නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන සිළුමිණට ඊයේ ප්‍රකාශ කළේය.

ඉදිරි මාස 6 කාලය තුළ සේලයින්, ප්‍රතිජීවක හා නිර්වින්දන ඖෂධ මෙරට නිපදවීම සඳහා සියලු වැඩකටයුතු මේ යටතේ සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සේලයින් කර්මාන්තශාලාව කුණ්ඩසාලේ ඉදිකිරීම ඒ අනුව ආරම්භ කරන බවත් ඇමැතිවරයා හෙළි කෙළේය. ඊට අමතරව බණ්ඩාරගම ප්‍රදේශයේ පෙති කරල් හා නිර්වින්දන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද හෝමාගම ප්‍රදේශයේ ප්‍රතිජීවක හා ශිරාගත ප්‍රතිජීවක නිපදවීමේ කර්මාන්තශාලාවක් ද ලබන සතියේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ. මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නැති අතර සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිපදවීම ආරම්භ කර ඇත. ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් මෙහි නිෂ්පාදනය කිරීම ඉලක්කයක් වී තිබේ. ඊට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාදීම පිණිස සතොස සමුපකාර සුපිරි වෙළෙඳ සල්වල ඖෂධ අලෙවි සල් 100ක්ද ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

 

Comments