පාසල් සිසුන්ගේ පැමිණීම 75% ඉක්මවයි | සිළුමිණ

පාසල් සිසුන්ගේ පැමිණීම 75% ඉක්මවයි

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් පසුගිය 8 වැනිදා සිට යළි සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් පසු සිසුන්ගේ පැමිණීම 75% ඉක්මවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා සිළුමිණට පැවැසීය.

10,175 ක් වන රජයේ පාසල්වල ඉගෙනුම ලබන ලක්ෂ 42ක් වන සිසුන්ගෙන් කාලගුණික විපර්යාසයන් මත වුවද මෙසේ 75%ක් ඉක්මවා සිසුන් පැමිණීම විශේෂිත බවද පෙන්වා දුන්නේය.

පාසල් පැවැත්වීමට සමගාමීව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම යළි 14 වැනිදා සඳුදා සිට ආරම්භ වන අතර මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට හා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.

රෝග වැළැක්වීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදිමින් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහතික කිරීමේ ක්‍රියාවලියන් අනුගමනය කරමින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට ද නිර්දේශ ලබා දී තිබේ.

Comments