හෙවණැලි වෙසින් මතු වූ ඒ දේශපාලන කියැවීම | සිළුමිණ

හෙවණැලි වෙසින් මතු වූ ඒ දේශපාලන කියැවීම

ග්‍රන්ථයේ නම - පේත 
කර්තෘ - එරික් ඉලියප් ආරච්චි 
ප්‍රකාශක - ඇස්. ගොඩගේ සහ 
සහෝදරයෝ 

මිල රු. 300 (පිටු 112)

“පේත” යන නමෙහි අරුත කුමක්ද? එය කිනම් හඳුනාගැනීමක් ද? එරික් ඉලියප් ආරච්චි නම් මේ කෘතියේ කතුවරයා පවසන අන්දමට කෘතියක් වශයෙන් මෙය මුලාශ්‍ර දෙකක් මතින් ප්‍රතිනිර්මාණය වී තිබේ. ඉන් එකක් වන්නේ බෞද්ධ සාහිත්‍යයට අයත් කතා වස්තුවක් සේ ගැනෙන පේත වත්ථු ය. අනෙක් චිරන්තන විදෙස් මූලාශ්‍රයක් වන ඩානිටේ කවියාගේ “දිව්‍යමය ප්‍රහසනය”

නම් කාව්‍යාවලියයි. ඊට අනුව මිනිසාගේ මතු පැවැත්මවල් වශයෙන් ස්වර්ගයක් පවතී. අපායක් ද පවතී. තවද මේ දෙකටම අයත් නොවන අතරමැදි තත්වයක් ද පවතී. ඒ ස්ථානය හඳුන්වන්නේ පවුකාරයන් සිය අපවිත්‍ර බව නැති කරගන්නා තැන වශයෙනි. ඉදින් මෙය වනාහි අතීතයේ සිට එන සමාජ දේශපාලනික පැවැත්ම හමුවේ මිනිසා මුහුණ පා ඇති ජීවිත ඉරණම විග්‍රහ කිරීමට කදිම සංකල්පයක්ම වන්නේ ය. කතුවරයාට අනුව ද එය එසේ ය. වෙසෙසින් අපගේ චිරන්තන සාහිත්‍යයේ එන පේත යන හැසිරීම ගත් කල අපට දකින්නට ලැබෙන්නේ කාය පැවැත්මකින් මෙන්ම ආත්මීය තත්වයෙන් ද වියුක්ත හෙවණැලි වන් හැසිරීමකි. ඊට සිංහල බසින් “හේමලයා” යන අරුත් දිය හැකි යැයි කතුවරයා පවසයි. ඉදින් එය සමාජ නැඹුරුතාවක් ලෙසින් ගැනීමට තමන්ට කල්පනාවක් පහළ වුයේ යැයි වැඩි දුරටත් යට කියන්නට යෙදුණු තත්වය විස්තර කරමින් කතුවරයා පෙන්වා දෙයි. තවද බැරැරුම් ඉතිහාස ගමනක් ආ මිනිස් වර්ගයාගේ ඒ අතීත වර්තමාන ඵෙතිහාසික මනුෂ්‍ය භූමිකාව විශේෂයෙන්ම මෙරට වාමාංශික ව්‍යාපාරය මුල් කොටගෙන ප්‍රතිනිර්මාණය කිරීමට තමන් පේත නම් සිය නවකතාව මඟින් උත්සාහා කළේ යැයි ද ඔහු සඳහන් කරයි.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේලා මුලින්ම අපට දකින්නට ලැබෙන්නේ මෙරට අධිරාජ්‍ය විරෝධි ජාතික නිදහස් සටන පසුබිම් කරගනිමින් බිහි වු සාම්ප්‍රදායිකවම ය. නිදහස ලැබීමෙන් පසුව ඇතැම්විට විය යුතු අයුරින්ම ඔවුන් සිය භූමිකාව පාර්ලිමේන්තු ජයග්‍රහණයක් මඟින් සමාප්තියක් කරා ගෙන යද්දී ඒ අලුත් දේශපාලන අත්දැකීමට එරෙහි සටන් ප්‍රවේශයක් හැටියට 1971 හටගත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මෙරට වාම ව්‍යාපාරයේ දෙවන අවස්ථාව වශයෙන් හඳුනාගැනෙයි. මෙහි තුන්වන අවස්ථාව හැටියට (පේත නවකතාවට අනුව) 89 සිදු වූ කැරලිකාරීත්වය හඳුනාගෙන තිබේ. කතුවරයා එහිලා නිරූපණය කොට ඇති ආකාරයට මේ තුන් ආකාර වූ හැසිරීම්හි තුන් වැදෑරුම් සමාජ දේශපාලනික නිරූපණයක් දැකිය හැකි වේ.

නවකතාව පෙන්වා දෙන අන්දමට දේශපාලන ඝාතන සම්බන්ධයෙන් ද අපේ දේශපාලන ඉතිහාසයට අදාළව වාර්තා සටහන් නිර්මාණය වී තිබේ. සාම්ප්‍රදායික වමේ සම්බන්ධතාවක් මතු කෙරෙන හර්තාල් ව්‍යාපාරයෙන් පසු එවකට අගමැති ඩඩිලි සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ඊට එරෙහිව තැබූ පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිනිසුන් මිය යාම නිසා යැයි කියැවේ. 71 කැරැල්ල සම්බන්ධයෙන් ද එවැනිම තත්වයක් ප්‍රකාශිත අතර 89 යනු අර තත්වයන්ට වඩා ඉහළින් ගිය බරපතළ ඝාතන රැල්ලක් නිර්මාණය කළ තත්වයක් බවට පත් වේ.

මෙම නවකතාවේ සමාජ දේශපාලන සංසිද්ධි ප්‍රකාශනය තුළ ජාතිය මුල් කරගනිමින් පැන නැඟුණ උතුරු නැගෙනහිර සිවිල් යුද තත්වය විමසා බැලෙන තත්වයක් දැකිය හැකි වේ. කෙසේ වුව මේ සියලු සංසිද්ධි වලට මුලස්ථානයක් බඳු තැනක් මෙහි වේ. එය කඩයකි. නිවස ඇත්තේ කඩයේ උඩතට්ටුවේ ය. පැරණි වම නියෝජනය කරමින් මෙම කඩය තුළ වෙසෙන වයස්ගත වෙමින් සිටින.

මුදලාලිගේ පුත්‍රයා අපට හමුවන්නේ 71 න් බිහිවන වාමාංශික ක්‍රියාකාරිකයෙකු හැටියට ය. කෙසේ වුව 89 නිර්මාණය වන තරුණ වාමවාදීන්ගේ කැරැල්ලේ නියෝජිතයා වන තරුණයා එක්තරා ආකාරයකට අනියම් සගයක ප්‍රතිඵලයක් යැයි ද පැවසිය හැකි වේ. විශේෂයෙන්ම යුද බිමක මිය යාමේ අපේක්ෂාවෙන් ඔද වැඩුණ දමිළ ගැහැනියක පිළිකාවකින් මිය යාමට නියමිතව සිටිය දී

සයනයිඞ් කා සැඟවුණ කුතුහලය තුළ මිය යන්නේ අර අනියම් සම්බන්ධතාවයේ හැඩ තල ද ඉතිරි කරමිනි. මෙම කෘතියේ පවත්නා විශේෂත්වය වන්නේ කිසියම් ආකාරයක සංකේතාත්මක දේශපාලන හැසිරීම් වශයෙන් ගත හැකි මනුෂ්‍ය සබඳතාවන් ය.

කෙසේ හෝ වේවා 89 දේශපාලන කැරැල්ලත්, එල්.ටී.ටී.ඊ. වාදින්ගේ කැරැල්ලත් අවසානයේ අපුර්වාකාර දන්ත ශල්‍යාගාරයක් අසල වෙසෙස් ආකාරයේ නාටකීය ශෛලයකින් දේශපාලනික මුහුණුවර ද සහිත ප්‍රේම සම්බන්ධතාවක් ද පේත හි හමුවේ එහෙත් එය කොයි ආකාරයෙන්වත් කරුණාසේන ජයලත්ගේ වෙරළු ගෙඩි වලින් ප්‍රකාශ වු අන්දමේ සුන්දර ප්‍රේමයක් නම් නොවේ ඒ බව තහවුරු කරමින් මිනිසුන්ගේ ගලවා ඉවත් කළ දත් වලින් නිර්මාණය වු කලා නිර්මාණයක් ද ඔබට මෙහිදී හමු වනු ඇත.

එවැනි වු පසුබිමක හැසිරෙන ඒ සමාජ දේශපාලනික හැසිරීම් සිය කාල වකවානු නියෝජනය කරන්නේ අර කී හේමලයන්ගේ ස්වභාවයෙනි. කතුවරයා ඒ වෙනුවෙන් යොදාගත් ඒ පේත වත්ථු ආකෘතිය කදිම තෝරාගැනීමක් බව පැහැදිලිය. “හෙවණැලි අවදි නොමවන වැව් ඉවුර”ක් විෂයයිකව විමලරත්න කුමාරගම ලියු කවියක් මෙහිදී සිහිපත් වේ. එහෙත් ඒ ස්වාභාවික හෙවණැලි මෙන් නොවන වෙනස්ම සමාජ දේශපාලන කියවීමක් මේ හෙවණැලි ඔබ හමුවේ තබා ඇත. ඒ ඔබේ විමර්ශනය වෙනුවෙනි.

Comments