පියවරු රේක්කයෙන් රැස් කළ දේ දූ පුතුන් ගෑරුප්පුවෙන් භුක්ති විඳී | සිළුමිණ

පියවරු රේක්කයෙන් රැස් කළ දේ දූ පුතුන් ගෑරුප්පුවෙන් භුක්ති විඳී

ලංකාවේ වනාන්තර වැස්ම හරි අඩකින් අඩු කරමින් එංගලන්ත යටත් විජිතවාදීන් විසින් මෙරට හවුරු කරන ලද වාණිජ වතු වගාවේ මුල්ම වැවිල්ල බවට පත් වුයේ කෝපි වගාව යි. එහෙත් පසු කාලීනව පාලනය කළ නොහැකි ආකාරයෙන් ව්‍යාප්ත වු කොළ රෝගයක් හේතු කොටගෙන එය විනාශයට පත් වු බවත් ඉක්බිති තේ වගාව ඒ වෙනුවට ඇති කළේ ය යන්නත් කවුරුත් දන්න සාමාන්‍ය දැනුමක් වේ. එහෙත් ඒ අතීතය අද එසේ සාමාන්‍ය වී තිබුණත්, ලංකාවේ කෝපි වගා සමය තුළ වැළලී ගිය නිහඬ වී ගිය සංවේදී මනුෂ්‍ය හැගීම් එක්තරා ආකාරයකින් පුරාවෘත්තයක් ද වැන්න. වෙසෙසින්ම එංගලන්තයේ සිට වැවිලිකරුවන් වශයෙන් ද වැවිලි සමාගම් යටතේ සේවය කරනු වස් වතු අධිකාරවරුන් වශයෙන් ද මෙරටට ආ ඔවුන්ගේ දුක්ඛිත වෙහෙසකර අත්දැකීම් අර සැඟවුණ පුරාවෘත්තය තුළ ගිලී ගොස් ඇත්තේ යළි කතා නොකරන අයුරිනි.

කෙසේ වුව ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් (මෙරට වැදි ජනතාව ඇසුරු කරමින් ඒ මැකී ගිය දඩ මං ගැන ලියු ආර්. ඇල්. ස්පිට්ල්ගේ දියණිය) ඒ නිහඬ කතාව කතා කරන චරිත සහිත නවකතාවක් බවට පත් කළාය. “ද බිට් බෙරි” යනුවෙන් ඇය ඉංග්‍රීසි බසින් ලියන එම නවකතාව පසුව සී. ඒ. විජේසේකර විසින් “තිත්ත කෝපි” (ඉංග්‍රීසි පදානුගත පරිවර්තවයට අනුව ගතහොත් එහි තිත්ත ඇට එසේ නැත්නම් තිත්ත පල වැන්නක් නගනු ඇතැයි සිතමි.) යනුවෙන් සිංහලට අනුවර්තනය කොට තිබේ.

කෙසේ වෙතත් ක්‍රිස්ටීන් විල්සන් යැයි කියන්නේ මෙරට කෝපි වගාව පැවැති ඒ ඉතිහාසයට අදාළව ජීවමාන සාක්ෂිකාරියක නොවේ. නමුත් එංගලන්ත යටත් විජිත සමයේ ඒ වතු යුගය සම්බන්ධයෙන් ඇය උසස් සංවේදීතාවකින් යුතුව සිටියා ය. අර මුලින් කී කෘතියෙහි පිදුම ලංකාවේ පුරෝගාමි වැවිලිකරුවන්ට යැයි පිරිනමන්නේ ඒ බව මොනවට සනාථ කරමිනි. එමෙන්ම ඇය වෙනුවෙන් දිගු කියවීමක යෙදුණා ය. ඒ වන විටත් ජීවතුන් අතර සිටි කෝපි වැවිලිකරුවන් කිහිප දෙනෙකුගෙන් ඒ කම්කටොලු අතීත අත්දැකීම් දැනගන්නා ඇය, ලබාගත හැකි වු පොතපත ද ලිපි ලේඛන ද කියවමින් එදා විසු ඒ වැවිලිකරුවන්ගේ ජීවත පසුබිම් කරගනිමින් ඇය සිය නවකතාව ලියන්නට කටයුතු කොට තිබේ.

“ලන්තානාව වීමට අත්‍යන්තයෙන්ම සුදුසු තේ වත්තක් ලංකාවේ කඳුකරයේ ඇත. එය කූරන් රඟ දෙන දිය ඇලි, පොකුණු හා ඇළ දොළින් යුක්ත ය. තවමත් වල් ඌරන් හා කොටියන් ඉඳහිට ඇතැයි කියන මේ වනරොද ද අහසේ නිසලව මෙන් පියාසර කරන උකුස්සන් ඇති පතන බිම් ද මෙහි ඇත්තේ ය. අතීතයෙන් ශේෂ වු කෝපි අක්කර බාගයකුදු මෙහි තිබේ.”

ඒ අයුරින් ඇය ආදර්ශයක් ලෙසින් ගොඩ නගන්නේ අර අතීත වතු වගාවේ ඉතිහාසයීය පුරාවෘත්තයයි. මෙහිලා අපට සිහි වන ප්‍රකට කියමනක් ද තිබේ. ඒ අනුව වර්තමානයේ දූ පුතුන් ගෑරුප්පු වලින් භුක්ති විඳින්නේ එදා ඔවුන්ගේ පියවරුන් රේක්කයෙන් එක් රැස් කළ දේ ය. මෙරට වතු වගා ඉතිහාසය සම්බන්ධයෙන් ද එය මනාව ගැළපෙන්නක් යැයි සිතමි.

ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් සිය නවකතාවට පාදක කරගන්නේ ගැටුම්කාරී රොමාන්තික පෙම් පුවතක් වුව ද එහි පසුබිම හා බැඳෙන්නේ මුලදීත් කී ආකාරයට එම ඉතිහාසයේ දිවමන් සාක්ෂිකාරියක නොවන එහෙත් එම කාලයෙන් උදුරා ගත්, තමන් ඇසු හා කියවු දෑ ය. ඒ නිසාම ඒ කාලය ඇය අතින් නිරූපණය වන්නේ ඇයගේ රුචිය සන්තර්පණය කරන අන්දමේ රෝමාන්තික හැඟීම් නිරූපණය කෙරෙන ආකාරයකින් යැයි කීමේ වරදක් ඇතැයි නොසිතේ. පහත පළ වන්නේ එය තහවුරු කරන්නට සමත් උද්ධෘතයකි.

“මුලදී කිසි දෙයක් සිදුවන සේ පෙනෙන්නට තිබුණේ නැත. ඉන් පසු එකක් නෑර එකක් ධූම පටල නොයෙක් දෙසින් නික්මී එකම ධූමස්කන්ධයකින් අහස වැසී ගියේ ය. තැනක ගිනි පුළිඟුවක් උඩට නැග,එය බැස නිවී ගියේ ය. තවෙකක් වඩා වේගයෙන් ඉහළට නැගිණ. ඉක්බිති හදිසියේම මුළු වනය සිසාරා ගින්න එන්ට එන්ටම වැඩි වූයේ ය. එහි අධික උෂ්ණයෙන් වරින් වර පිපිරුණ මහ ගල්වල පතුරු සී සී කඩ විසිරී ගියේ ය. ඉතා ඉහළට නැඟුණු මහා ගිනි කඳින් නික්මුණු කළු දුම් පටලය අහස විවිධ වර්ණයෙන් ආලෝක කළේය.

“සේරාට මෙය භයංකාර දර්ශනයක් විය. එහෙත් සියල්ල දවන ගින්නෙන් ඇගේ නෙත් සිත් ඇද ගැනීමට ඈ අපොහොසත් වුවා ය. ගින්නේ බලයෙන් ඕ බියපත් වුව ද එයින් මහත් ප්‍රීතියක් ද ලැබුවා ය.”

මෙතැන් සිට එන උද්ධෘතය ඔබට පවසන්නේ එම යුගයේ විසු එසේ නැත්නම් ඒ ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවෙකු වන තරුණ වියේ සිටම පැවති කෝපි වගාව ඇසුරේ වතු පාලකවරයෙක් වශයෙන් මහත් සේ දුක් අනුභව කළ සිය බ්‍රිතාන්‍ය ජාතික දෙමාපියන්ට දාව මෙරට දී උපත ලබා 64 වසරක් පුරා මෙරටේ වාසය කොට අත්දැකීම් ලද කැළැ ගිනි තැබීම ගැන සිය අත්දැකීමෙන්ම ලබාගත් මතක ඇසුරින්ම ලියවුණකි. ඔහු නමින් ෆ්‍රෙඩ්රික් ලෙවිස් ය. “ද සික්ස්ටි ෆෝ ඉයර්ස් නමින් ඔහු ලියන සිය චරිතාපදානය හා සමාන ඒ කෘතියෙන් ගත් මේ උද්ධෘතය ක්‍රිස්ටීන්ගේ විස්තරයට සමානම විස්තරයක් අප වෙත ගෙන එන්නේ ඒ ඛේදනීය ඉතිහාසයේ සැබෑ ජීවන අත්දැකීමක් හැටියට ය.

“මුල් අවස්ථාවල දී වත්තක ඇති තත්වය ගැන නොදන්නා අයගේ ප්‍රයෝජනය තකා එය කෙබඳු චිත්‍රයක් දැයි සැකෙවින් පෙන්වා දීමට පියවර ගනිමි. මිනිස් ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම පාලනය නොවූ වනාන්තරයක් යනු පැටළුණ විශාල වෘක්ෂ රාශියකි. මුලින්ම එම ගස් කපා බිම හෙළිය යුතු ය.

අතු පෑහීමෙන් පසු ගින්නෙහි බලය වැඩි දියුණු කොට ඒ අති විශාල දැව තොගය ගිනි තබන්නට කටයුතු කෙරේ. ඒවා අවශ්‍ය ප්‍රමාණයට වියළී ඇති විට පහත්ම ස්ථානයෙන් නැතිනම් වඩාත්ම පහසු පිහිටීමකින් ඊට ගිනි තබන්නට කටයුතු කෙරේ. මඳ වේලාවකින් බිම පතිතව ඇති ගස් කොළන් සියල්ල වියරුවෙන් බුර බුරා නගින මහා කලකිරීමක් ඇති කරවන ඒ ගිනි ජාලාවෙන් වෙළී අශෝභන රෞද්‍ර ස්වභාවයේ විනාශකාරී අවසානයක් ගෙන එන්නේ ය. අක්කර ගණනාවක් එසේ ගින්නට ගොදුරුවීම තරම් සංත්‍රාසයෙන් යුතු හැඟීම් වැඩීමක් තවත් තිබිය නොහැකි තරම් ය.

ගිනි ජාලා අහසට පැන නගිනායුරු පෙනෙයි. මහාර්ඝ ගස් අළු හා දැවී ගිය අගුරු සමුහයක් බවට පත් වී තිබේ. ජයග්‍රාහී සතුට ප්‍රකාශ කරන මොර දීම් ඇසෙන්න ගනියි. එහෙත් එය චමත්කාරය යටපත් කරන්නා වු භයංකාරයක් ම වන්නේ ය. ඒ මහා ගිනි ජාලාව සිය කටයුකු අවසන් කොට ඇත්තේ, කාල වර්ණයට නැගූ ගස් කඳන් වලින්, අගුරු වී ගිය දැවයෙන්, අධික තාපය හේතු කොටගෙන බිඳුන පර්වතයන්හි මහා ශේෂයන් වත්ත පුරාම විසුරුවා හරිමිනි. භූමි දර්ශනය එකම කාල වර්ණයක් වී ඇත. එය සිත් ගන්නා සුලු ය. එපමණටම දොම්නස් සහගත ය.”

-ක්‍රිස්ටීන් විල්සන්ගේ කෘතියේ එන විස්තරයට සාපේක්ෂව මෙහි එන එනම් ෆ්‍රෙඩ්රික් ලෙවිස්ගේ විස්තරය ඒ කටුක අතීතයේ ඔහුගේ අත්දැකීම් විසින්ම මතු කළ හැඟීම් සමුහයක්ය යනුවෙන් අවබෝධ වීමට එතරම් වේලාවක් ගත නොවේ.

එය වනාහි ජීවිතයේ සතුටට අදාළව ගත් කල වේදනාකාරී උත්ප්‍රාසයක් ද වැන්නකි. ක්‍රිස්ටීන් පසු කාලීනව වඩාත් පහසු ජීවිතයක් ගත කරමින් නවකතාකරණයේ යෙදෙන්නේ ෆ්‍රෙඩ්රික්ලා අතිශය කටුක දුක් වේදනා මැදින් උපයාගත් ඒ අත්දැකීම් පසුබිමේ තබා ගනිමිනි. එමෙන්ම ඒවා කියවා ඇති කරගත් චමත්කාර ජනක හැඟීම් ඇතිව ය.

ලිපිය අවසන් කිරීමට පෙර යට කියවුණ ප්‍රකට කියමන නැවතත් මතක් කර දෙනු කැමැත්තෙමි. ඊට අනුව වර්තමානයේ දූ පුතුන් ගෑරුප්පු වලින් භුක්ති විඳින්නේ අතීතයේ ඔවුන්ගේ පියවරුන් රේක්කයෙන් එක් රැස් කළ දෑ ය.

Comments