විද්‍යෝදයෙන් උදා වූ විද්‍යෝදය | සිළුමිණ

විද්‍යෝදයෙන් උදා වූ විද්‍යෝදය

හාචාර්ය ඒ. වී. සුරවීර යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන බිහි වූ කීර්තිමත් ශාස්ත්‍රඥ පරපුරේ සුවිශේෂ නිර්මාණයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමිත්වයෙන් ඇරඹෙන සාහිත්‍ය කලා සහ විචාර ධාරාවට සාකල්‍යයෙන් අනුරූප නොවූ කලා සංස්කෘතික ධාරාවක් සරච්චන්ද්‍රයන්ට සමකාලීනව පේරාදෙණියෙහි පැවති අතර මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය පී. ඊ. ඊ. ප්‍රනාන්දු, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, ආචාර්ය ඇම්. ශ්‍රී රම්මණ්ඩල, ආචාර්ය ඇම්. එච්. පීටර් සිල්වා, මහාචාර්ය ආනන්ද කුලසූරිය යන ආචාර්යවරු ඒ ධාරාවට අයත් වූහ. මේ අය අතර හෙළ හවුලට සහ වාමාංශික දේශපාලනයට ආසක්ත වූ ආචාර්යවරුද වූහ. මේ අතුරින් ඇතැමෙක් පුරාතන සිංහල සාහිතයයට අයත් ග්‍රන්ථ සංස්කරණය කොට එළි දැක්වූ අතර තවත් අයෙක් ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. 1950 දශකය මුලදී පේරාදෙණිය සිංහල අංශයෙහි ඉගෙනුම ලැබූ ඒ. වී. සුරවීර තරුණයාට මේ විවිධ ධාරාවන්ට අයත් ආචාර්යවරුන්ගේ ප්‍රභාව ලද හැකි වූ බව පැහැදිලිය. ඒ ප්‍රභාවෙන් උද්දීප්තිමත් වූ මහචාර්ය සුරවීර නිමග්න වූ ග්‍රන්ථකරණය ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය, පරිවර්තන ශාස්ත්‍රීය, ග්‍රන්ථ සංස්කරණ, කෝෂ ග්‍රන්ථ, නිර්මාණාත්මක යනුවෙන් පස් වැදෑරුම් කොට දැක්විය හැකිය.

ඔහුගේ මුල්ම කෘතිය වන විචාර විලාසය 1957දී එළි දැක්විණ. 1966 වර්ෂයේ ප්‍රකාශිත සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය නමැති කෘතිය සිංහල සාහිත්‍යයේ ප්‍රභවය සහ විකාසනය අළලා රචිත කෘතියකි. සිය ඥාන ප්‍රභාව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විහිදුවීමට ශාස්ත්‍ර පර්යටනයේ සමාරම්භක අවස්ථාවේ පටන් සුරවීර ප්‍රෝත්සාහි වෙයි. විශේෂයෙන් ම ඉතිහාසය පිළිබඳ ඔහු කෙරෙහි වූ උනන්දුව නිසාම 1959දී අනුරාධපුර සංස්කෘතිය නමැති ග්‍රන්ථය රචනා කළේය. 1962දී අනුරාධපුර සමාජය කෘතිය රචනා කරමින් සිංහල සංස්කෘතිය පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කෙරිණ. 1971දී සිංහල කතිකාවත් හා භික්ෂු සමාජය නමැති ග්‍රන්ථය පළ කළේය. ඉතිහාසය පිළිබඳ ජනිත උද්‍යෝගය විසින් මෙහෙයවනු ලබන සුරවීර ප්‍රධාන ඉතිහාස ධාරාවේ අවධානය යොමු නො වූ කෘති කිහිපයක් සංස්කරණය කළේය. ඒ අනුව 1965 දී අලකේශ්වර යුද්ධය කෘතිය සංස්කරණය කළ අතර ඉන් පසු 1976දී රාජාවලිය සංස්කරණය කරන ලදී.

මහාචාර්ය සුරවීර බහුවිධ හැකියාවන්ගෙන් යුක්ත දුර්ලභ ගණයේ ශාස්ත්‍රවන්තයෙකු වූවා පමණක් නොව නිර්මාණාත්මක ලේඛකයෙක් ද වීය. 1969දී කාටත් මා එපා වෙලා යන සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය එළිදක්වන ඔහු 1970දී පෑදි දියට බොර දිය 1973දී ගොදුරු ලොබ 1984දී බව තිමිර යනුවෙන් කෙටිකතා සංග්‍රහ හතරක් එළි දැක්වීය. 1971දී ඔහුගේ ප්‍රථම නවකතාව වන හෙයියම්මාරුව පළ විය. සිය දෙවෙනි නවකතාව වන නොයන් පුතුනි ගම හැර දා යන කෘතියෙහි විශේෂත්වයක් ලෙස ආඛ්‍යාන ශෛලියත් අවස්ථා සහ චරිත නිරූපණයේ දී චරිතවල අභ්‍යන්තරය නිරූපණය වන සේ භාෂාව භාවිත කර තිබීමත් දැක්විය හැකිය. 1977දී අත්ත බිඳෙයි පය බුරුලෙන් නමැති නවකතාව රචනා කරමින් ලාංකික විශ්වවිද්‍යාල සමාජයේ විසුළුසහගත යථාර්ථය සිය නවකතාවට විෂය කර ගත්තේය. ඉතිහාස විෂයයෙහි සුරවීර කෙරෙහි වූ උද්‍යෝගය නිර්මාණකරණය හා පෑහීමෙන් ලාංකික ඓතිහාසික නවකතාවෙහි කඩඉමක් සලකුණු කරමින් වැදගත් ඓතිහාසික නවකතා දෙකක් ඔහු වෙතින් සම්පාදනය විය. 1980දී ප්‍රකාශිත සදා මෙලෙස පුර දෙරණේ සහ 1983දී ප්‍රකාශිත අඳුර දුරලන රැස් එම නවකතා දෙකයි. ඉතිහාසය සහ ප්‍රබන්ධය අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති සම්බන්ධතාව දෙස නූතන දෘෂ්ටි කෝණයකින් බැලීමට අවකාශ විවර වන්නේ එම කෘති දෙකිනි. 1976දී එළිදැක්වුණු පිඹිත් නළා සුරා මතින් යන කෘතියෙන් ලෝකයේ කීර්තිධර කෙටිකතාකරුවන්ගේ කෙටිකතා හයක් පරිවර්තනය කොට ඉදිරිපත් කෙරිණ.

සුරවීර 1973දී නවකතා නිර්මාණය හා අවබෝධය නමැති කෘතිය සම්පාදනය කරන්නේ හුදෙක් නවකතාව යන සාහිත්‍යාංගය හඳුන්වා දීමේ අරමුණෙන්ම නොවන බව එහි පූර්විකාවෙහි දැක්වෙයි. එවක තහවුරුව පැවති නවකතා විචාරය පිළිබඳ ප්‍රසාදයක් එතුමන්ට නොවූ බවද නවකතාව නමැති සාහිත්‍යාංගය විශ්ව මානව උරුමයක් බව තහවුරු කිරීමේ අභිලාෂයක් පැවති බවද එයින් ගම්‍ය වෙයි.

සාහිත්‍ය අධ්‍යයනයෙහි නිමග්න වන විද්‍යාර්ථින් මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වන්නේ සිංහල භාෂාවෙන් පරිහරණය කෙරෙන පාරිභාෂික යෙදුම්වල නිරවුල් අර්ථ නිරාකරණය කර ගැනීම යි. පෙර අපර දෙදිග සාහිත්‍යකලා අධ්‍යයනයෙහි ලා භාවිත කෙරෙන පාරිභාෂික යෙදුම් සඳහා නිරාකුල සිංහල වචන ඇතුළත් විචාර වචන කෝෂයක් මහාචාර්ය සුරවීර විසින් සාහිත්‍ය විචාර ප්‍රදීපිකා නමින් 1991 වර්ෂයේදී පළ කරන ලදී. 2012 වර්ෂයේදී එහි තෙවන මුද්‍රණය නව සංස්කරණයක් ලෙස සාහිත්‍ය කලා ප්‍රදීපිකා නමින් පළ කෙරිණ.

සිංහල සාහිත්‍ය විචාරය විෂයයෙහි අපරදිග සාහිත්‍ය විචාරය හා සම්බන්ධ න්‍යායික කරුණු සංයුක්ත ලෙස සාකච්ඡාවට බඳුන් කෙරෙන ග්‍රන්ථයක් සමාජීය සාහිත්‍ය අධ්‍යයනය නමින් 1982 වර්ෂයේදී එතුමන් අතින් සම්පාදනය විය. සාහිත්‍ය කලා අධ්‍යයනයෙහි ලා ආවශ්‍යක මූල ග්‍රන්ථයක් වන ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය ඉංග්‍රීසි පිටපත් කිහිපයක් ආශ්‍රය කරමින් දීර්ඝ ප්‍රස්තාවනාවක් සහිතව සිංහලයට පරිවර්තනය කිරීම මහචාර්ය සුරවීර අතින් ඉටු වූ මාහැඟි ශාස්ත්‍රීය මෙහෙයකි. කලා න්‍යාය සහ විචාරය හා සම්බන්ධ තවත් වැදගත් ග්‍රන්ථයක් වන ලියෙෆ් තොල්ස්තෝයිගේ What is Art නමැති කෘතිය මහාචාර්ය සුරවීර අතින් කලාව යනු කුමක් ද? නමින් 1987 වර්ෂයේදී පරිවර්තනය විය.

මහාචාර්ය සුරවීර විසින් පරිවර්තිත සම්ප්‍රදාය නිර්මාණය සහ විචාරය නමැති විචාර ලිපි සංග්‍රහය 1989 වර්ෂයේ පළ විය. සාහිත්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ ලියැවුණු ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස පිළිගැනෙන ග්‍රැහැම් හෆ්ගේ An Essay on Criticism නමැති කෘතිය 2009 වර්ෂයේදී මහාචාර්ය සුරවීර විසින් සාහිත්‍ය විචාර රචනා යනුවෙන් සිංහලයට නඟා පළ කරන ලදී. එතුමන්ගේ අභාවය සිදුවන්නට වසර දෙකකට පෙර, 2012 වර්ෂයේ දී සාහිත්‍ය අධ්‍යයනය හා සම්බන්ධ සාරගර්භ ලිපි පහක් පරිවර්තනය කොට සම්භාව්‍ය විචාර උද්දීපන මැයෙන් ලිපි සංග්‍රහයක් පළ කෙරිණ.

අඩසියවසකට අධික කාලයක් විශ්ව සාහිත්‍යයේ කීර්තිමත් සාහිත්‍ය න්‍යායවේදීන්ගේ පුරෝගාමි කෘති සහ රචනා සිංහල භාෂාවට පරිවර්තනය කරමින් මහචාර්ය සුරවීර විසින් ඉටු කරන ලද මාහැඟි මෙහෙය මේ කෘතිය පළ කිරීමෙන් පසු අවසන් වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳීමට පෙර ඔහු විසින් අරඹන ලද ශාස්ත්‍රී පර්යටනය විශ්විද්‍යාල සේවයෙන් ඉවත් වී බොහෝ කාලයක් යන තුරු අඛණ්ඩ චාරිත්‍රයක් ලෙස පවත්වා ගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයකි. එහි වටිනාකම අද වන විට ශතසහස්‍ර ගුණයකින් දැනෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයවල සිංහල අධ්‍යයනාංශවල සිටින ඊනියා ආචාර්යවරුන් අතින් රචනා වන පුස්-තක සමග මහාචාර්ය සුරවීරයන්ගේ කෘති සසඳන කල්හි ය.

Comments