රට හෙල්ලූ පානදුර අමර්තගිරියේ මිනීමැරුම | සිළුමිණ

රට හෙල්ලූ පානදුර අමර්තගිරියේ මිනීමැරුම

1979 අගෝස්තු 30 වැනි දින පාණදු‍රේ ‘අමර්තගිරි’ නිවසේ අයිතිකරු වූ චන්ද්‍රසේකර ඩයස්ගේ මෘත ශරීරය එම නිවස තුළම එල්ලා තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයෙකු වූ චන්ද්‍ර ඩයස් වසර කීපයක් සේවය කර මවු රටට සැඳෑ සමය ගත කිරීමට පැමිණි අවස්ථාවේදී සිදු කෙරුණු මෙම අපරාධය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් පැන නැඟුණි.

ඔහු මරා දමා සිරුර එල්ලුවාද නැතිනම් ඔහු බෙල්ලේවැල දමාගෙන සියදිවි හානි කරගත්තාද? සිය දිවිහානි කරගැනීමට හේතු මොනවාද? මරා දැමීමට අවශ්‍ය වූයේ කාටද? ඊට හේතු කවරේද? මේ වනවිට මෙම අපරාධයට වසර 41 ගත වී ඇතත් පැන නැගුණ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත.

මහා දාවලේ ජනයා ගැවසෙන මෙම පෙදෙසේ මෙවන් මරණයක් ගැන ඇසීම ඉතා කලාතුරකින් සිදුවන්නකි. නිහඬවම මෙම අපරාධය සිදුවීම ප්‍රදේශයේ කාගේත් මවිතයට හේතුවකි.

කෙසේ වෙතත් සැක කටයුතු මරණය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත්තේ මියගිය ඩයස්ගේ බිරිය සහ ඇගේ රියැදුරු වූ 27 හැවිරිදි නිමල් ෆොන්සේකා ය. එය නිවස තුළ කළ මිනී මැරුමක් බව අනුමාන කළ පානදුරේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හැකි ඉක්මනින් මෙම මරණයට අදාළව මරණ පරීක්ෂණයක් පැවැත්වීම කළ යුතු බව තීරණය කළේ ය. මරණ පරීක්ෂණයෙන් පසු අපරාධකරුවන්ට නඩු පැවරීම සෑහෙන දුෂ්කර කාර්යයක් විය. අපරාධය සිදුකර ඇත්තේ 1979 අගෝස්තු 30 වැනි දින දහවල් දෙකට පමණ ය. එහෙත් මිය ගිය ඩයස් බිරිය වූ රෝහිණී ඩයස් සිය සැමියා එම නිවසේම මිය ගොස් ඇති බව දැනගත්තේ සවස හතරට ය.

මීට අදාළ මරණ පරීක්ෂණය අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදු කළේ සැප්තැම්බර් 1 වැනි දිනය අති‍ෙර්ක වෛද්‍ය නිලධාරියාට මරණය පිළිබඳව ඇතැම් ප්‍රයෝජනවත් කරුණු සොයා ගැනීමට නොහැකි විය. මෙහිදී වඩාත් ම ප්‍රයෝජනවත් වන්නේ මියගිය අය මරණයට පත්වූ වේලාවයි. මරණයෙන් පැය 40 කට පසු පැවැත්වූ පරීක්ෂණයෙන් අපරාධයට අදාළ වඩාත්ම වැදගත් කරුණු සැකකරුවන් දෙදෙනාගෙන් ද දැනගැනීමට නොහැකි හෙයින් මරණයට හේතුව පවා නිශ්චය කරගැනීමට නොහැකි විය.

එහි ප්‍රතිඵලය වූයේ විත්තිකරුවන් දෙදෙනාම නිදහස් කිරීමට සිදුවීමය. ජූරි සභාවක් හමුවේ මහාධිකරණය විභාග කළ මෙම නඩුව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති විය. ඇසින් දුටු සාක්ෂි නොමැතිව මේ ‍මුළු නඩුවම ඔප්පු කිරීම රදා පැවතුණේ ‍පර්යේෂණ සාක්ෂි අනුවය. එම සාක්ෂි දුර්වලවීම නිසා රෝහිණීට සහ නිමල්ට නිදහස ලැබුණි.

පනස් එක් වියේදී මිය ගිය චන්ද්‍රසේකර ගේ ජීවිතය ඒ දක්වා ගෙවීගියේ වාසනාවන්ත ලෙසය. ඔහුට දෙමාපියන්ගෙන් බණ්ඩාරගම පෙදෙසේ රබර් අක්කර 80 ක් සහ පානදුරේ නග‍රයෙත් ‘අමිර්තගිරි’ දෙමහල් නිවස හිමිවිය. මධ්‍යම බැංකුවේ සුළු නිලධාරියෙක්ව සිට වැඩිදුර ඉගෙනීමෙන් ආර්ථික විද්‍යාඥයෙකු ලෙස දැනීම ලබාගැනීමෙන් පසු ශිෂ්‍යත්වයක් ලබා ආර්ථික විද්‍යාඥයෙකු වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් විය. ඉන් පසු ඔහුට සෝමාලියාවේ ආර්ථික කටයුතු නංවාලීම ඔහුට පැවරීය.

ආර්ථික කටයුතුවල නිරත වීමට ඔහු සෝමාලියාවට ගියේ නිව්යොර්ක් නුවර සිට ය. ආර්ථික විශේෂඥයෙකු වූ චන්ද්‍රසේකර 1951 දි විවාහ වූයේ ඔහුගේ ඇවැස්ස නෑනා වූ රෝහිණී ප්‍රනාන්දු සමඟය. චන්ද්‍රසේකර රෝහිණී යුවළට දරුවන් දෙදෙනෙකි. 1979 වන විට වැඩිමහල් දියණියට අවුරුදු 27 කි. ලාලනී ඇමෙරිකානුවකු වන පීටර් ප්‍රැන්ක්ලින් සමඟ විවාහ විය. විසි එක් හැවිරිදි පුතු අජිත් ඒ වනවිට හවායි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේය.

ඩයස් පවුල පානදුරේ ප්‍රසිද්ධ පවුලක් ලෙස සැලකුණි. ඒ ඔවුන් පානදුරේ සමාජ කටයුතුවලදී ආධාර කිරීමත් නගරයේ මෙන් ම ගමේත් කොයිකාගේත් ඕනෑ එපාකම්වල දී ඉදිරිපත් වීමට තිබූ කැමැත්තත් ඒ සඳහා සොයා බැලීමේ පුරුද්දක් තිබූ හෙයිනි. ඩයස් පවුලේ දේපළ පාලනය කළේ චන්ද්‍රසේකරගේ දෙමාපියන් ‘අමිර්තගිරි’ නිවසේ සෑහෙන කාලයක් ජීවත් විය.

ඒ අවදියේ දරුවන් දෙදෙනා සහ රෝහිණී වාසය කළේ ‘අමිර්තගිරි’ නිවසේය. දරුවන් දෙදෙනාටත්, රෝහිණීටත් රැකවරණය ලැබුණේ චන්ද්‍රසේකර ගේ දෙමාපියන්ගෙනි. චන්ද්‍රසේකර සෝමාලියාවේ සිටියදී ඔහුගේ මව මිය ගිය හෙයින් මවගේ ආදාහන කටයුතු සඳහා ඔහු ලංකාවට පැමිණියේ ය.

මවගේ තුන් මස දානය නිම වීමෙන් පසු දරුවන් සහ රෝහිණී සමඟ චන්ද්‍රසේකර නැවත සෝමාලියාවට පිටත් විය. නැවත එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයට වාර්තා කළ විට ඔහු එම සංවිධානයේ ගමනාගමන ඒකකයට මාරු කෙරෙනු.

මෙම අලුත් තනතුරත් සමඟ ඔවුනට නිව්යෝර්ක් නුවර තට්ටු නිවසක් ලැබුණි. 1970 සිට 1979 දක්වා ඩයස් පවුලට නිරතුරුවම ඇමෙරිකාවත් ලංකාවත් අතර එහා මෙහා යෑමට කාලය මිඩංගු කිරීමට සිදුවිය. මෙම ගමන් යෑමට සිදුවූයේ ඒ අවදියේ ඩයස් පවුලේ දේපළ සම්බන්ධයෙන් ඉඩම් කාර්යාලය සමඟ කටයුතු කිරීමට සිදුවූ හෙයිනි.

දුව ලාලනීට ඇමෙරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබීමත් පුතු අජිත් හවායි විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් සිදුවූයේ මෙම වකවානුවේදී ය. අධ්‍යාපනයෙන් පසු දියණිය ලාලනී විවාහ වීමත් පුතු අජිත් විශ්වවිද්‍යාල අධ්‍යයනයට යොමු වීමෙන් පසු චන්ද්‍රා ඩයස් අදහස් කළේ එක්සත් ජාතීන්ගේ විශ්‍රාම වැටුපත් ලබාගෙන තම මවු රටේ ජීවිතයේ සැදෑ සමය ගත කිරීමටය‍. එහෙත් එය ඔහුගෙන් ගිලිහී ගොස් ඒ වෙනුවට ඔහුට ලැබුණේ මරණයයි. තම නිවසේ සිටියදී චන්ද්‍රා ඩයස්ට අත් වූ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විසඳා ගැනීමට නොහැකි වුව ද එදින නිවසේ සිටියේ ඔහුගේ බිරිය රෝහිණී සහ ඇගේ 27 හැවිරිදි රියදුරු පමණි.

ඔහු වෙත මරණය කෙසේ ආවාද යන්න සොයා ගැනීමට කිසිම සාක්ෂියක් නොලැබුණි. සිරුර එල්ලා තිබියදි සිරුරේ තිබූ තුවාල ප්‍රමාණය 9 කි. මේ අනුව සලකා බලන විට එය සියදිවි නසා ගැනීමක් නොවන ලකුණු පහළ විය. අතිරේක අධිකරණ නිලධාරි ගුණසෙල්වම් මහතා මරණ පරීක්ෂණය පවත්වද්දී ඔහුට සොයා ගැනීමට හැකිවූ බරපතළ අභ්‍යන්තර තුවාලය බෙල්ලේ ඇටයක් කැඩී බෙල්ලේ මැද ග්‍රන්ථි ඇති කොටසට හානි වී එහි ලේ තැවරී තිබිණි. බෙල්ලේ උඩු කොටසේ මාංශ පේශි පොඩි වී එක්තැනක ගුලි ගැසී තිබිණි‍. තුවාල පිළිබඳව සලකා බලන විට චන්ද්‍රා ඩයස් මරා දැමීම නිසා මෙලොවින් තුරන් වූයේ දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද වෛද්‍ය ගුණ සෙල්වම් මහතා සඳහන් කළේ ය.

වෛද්‍යවරයා මරණ පරීක්ෂණයේ නිරතව සිටියදී මියගිය අයගේ සිරුරේ ඇඳුමකට තිබුණේ සුදු සස්පෙන්ඩර් එකක් පමණි. අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි අවසන් වශයෙන් පැවසුවේ චන්ද්‍රා ඩයස් මරා එල්ලා දමා තිබෙන බව සාධාරණ සැකයකින් තොරව සඳහන් කළ හැකි බවයි. චන්ද්‍රා ඩයස්ගේ සිරුර මරණයෙන් පැය 40 කට පසු ශීතකරණයේ තබා තිබූ හෙයින් මරණය පිළිබඳව දැන ගැනීමට තිබූ බොහෝ කරුණු ගිලිහී ගිය බව වෛද්‍ය ගුණසෙල්වම්ගේ අදහසය. අඩි 5 අඟල් 7 ක් උස චන්ද්‍රා ඩයස් රාත්තල් 165 ක් බර හොඳ ශරීර සෞඛ්‍යයෙන් හෙබි පුද්ගලයෙක් බව වෛද්‍යවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරද්දී එතෙ‍ර නිවසක් තැනීමට චන්ද්‍රා ඩයස් සහ රෝහිණී ට හැකියාව ලැබුණි‍. එසේ වුව ද ඔහු බණ්ඩාරගම වතුයායේ නිවසක් තනා එහි පදිංචි වීමට සූදානමින් සිටියදී මෙම අකල් මරණයට ‍ගොදුරු විය.

බණ්ඩාගම වත්තේ ශාන්ත පරිසරයක් මැද නිහඬව එහි කටයුතු කරගැනීමට බාධාවක් වූයේ ඔවුන් පිටරට සිටියදී වත්ත බලා ගැනීමේ කාරිය පැවරී සිටි පියසිරි ගුණරත්නය. පියසිරි රෝහිණීගේ නැඟණිය වූ තිතාගේ සැමියාය.

ඔහු චන්ද්‍රා ඩයස්ගේ පවුලටත්, රෝහිණී ගේ පවුලටත් හිස රදයක් විය. මෙම පවුල් දෙකම සොයුරියක් සහ සොහොයුරෙකුගේ පවුල් දෙකක් බැවින් පියසිරි කිසිම වගකීමකින් තොරව ජීවත්වූ පුද්ගලයෙකි. රෝහිණීගේ සහ චන්ද්‍රා ඩයස් අතර තිබූ අමනාපයට හේතුවූ අනෙකුත් කරුණු අතර පියසිරි ප්‍රධාන සාධකයක් විය.

ඒ පියසිරි වත්තෙන් ඉවත් කිරීමට ඔහු ඉල්ලා ඇති වන්දිය පිළිබඳව අඹු සැමි යුවළ අතර හ‍ටගෙන තිබූ මත ගැටුම ය. රෝහිණීගේ අදහස වූයේ ඔහු වත්ත කාබාසිනියා කළ නිසා ඔහුට වන්දියක් ගෙවීම අවශ්‍ය නොවන බව ය. චන්ද්‍රා ඩයස්ට අවශ්‍ය වූයේ රු. 45000 දී පිටත් කර යවා වත්ත පාලනය කිරීම ඔහු බාර ගැනීම ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත් මෙම මත ගැටුම් දෙකට පෙර චන්ද්‍රා ඩයස්ගේ මරණය ඉක්මන් වීම නිසා එය අක්‍රීය විය.

තම සැමියාගේ මරණයේ පළමු සැකකාරිය වූයේ රෝහිණී ය. දෙවන සැකකරු ඇගේ 27 හැවිරිදි රියදුරුය. ඩයස් පවුල එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ගේ ෆෝක්ස් වැගන් මෝටර් රිය සඳහා නීතිඥ හේමසිරි රුද්‍රිගු සොයා දුන්නේ නිමල් ෆොන්සේකාය.

නිමල් සහ රෝහිණී අතර නිර්මාණය වූයේ සේවක සහ ස්වාමි දූ සැබැඳියාවක් නොව රාගයෙන් මුසපත්වූ ආදර බැඳීමක් බව නඩු විභාගයේදී අනාවරණය විය.

චන්ද්‍රා ඩයස් මෝටර් රියේ යද්දී පිටුපස අසුණේ වාඩි වී යද්දී රෝහිණී නිමල් සමඟ ඉදිරි අසුණේ වාඩි වී යුවළක් ලෙස යන බව අධිකරණයට පවා වාර්තා විය.

තම සැමියාගේ මරණයට ‍රෝහිණී සමඟ නිමල් සැකකරු තත්ත්වයට පොලිසිය අනුමානය කිරීමෙන් ඔවුන් දෙදෙනාගේ ආදරයේ තරම කාටත් අවබෝධ විය.

චන්ද්‍රා ඩයස් සිය නිවසේ සිටියදී ‍රෝහිණී ගේ ආදරය පිළිබඳව තවදුරටත් කාටත් තේරුම් ගැනීමට තවත් හේතුවක් වූයේ නිමල් ‍ෆොන්සේකාත් අමිර්තගිරි නිවසේ පදිංචි වීමය.

රෝහිණී සහ චන්ද්‍රා ඩයස් එතෙර සිට ලංකාව පැමිණියේ 1979 අප්‍රේල් 22 දිනය. චන්ද්‍රා ඩයස් සහ රෝහිණී ලංකාවට පැමිණි අවස්ථාවේ වතුයායේ පාලනයෙන් පියසිරිව ඉවත් කොට පියසිරිට නැවත වත්තට පැමිණීම රෝහිණි තහනම් කළාය.

ඇය එලෙස කළේ පියසිරි වත්තේ සංවර්ධනයට කිසිවක් නොකොට පරිපාලනය අවුල් කළ බැවිනි. තම සොහොයුරිය වන නිතා සිටියදි ඇගෙන් දික්කසාද නොවී මුස්ලිම් චාරිත්‍ර අනුව වෙ‍නත් කාන්තාවක් සමඟ විවාහ වන බව පියසිරි රෝහිණීට පැවසීම ඔහු සමඟ සියලුම සබඳකම් අත් හැරීමට තවත් හේතුවක් විය.

චන්ද්‍රා ඩයස්ගේ මරණය සම්බන්ධයෙන් පානදුරේ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා රෝහිණීට සහ නිමල් ෆොන්සේකාට එරෙහිව නඩුවක් පැවරීය. මාස කීපයක් විභාග කළ නඩුවට අදාළ සාක්ෂි නොමැති නිසා විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරුණ මෙම නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු ඇතුළත් කොට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආතර් චාල්ස් අලස් මහතා නඩු විභාගයේ හෙළිදරව් වූ කරුණු අළලා ‘චන්ද්‍රසේකර ඩයස් සියදිවි නසා ගත්තා ද ඔහු මරා දැමුවාද’ යනුවෙන් පොතක් සම්පාදනය කළේ ය. එම පොතෙන් තමාගේ කීර්තිය හානිකර අපහාසාත්මක අසත්‍ය කරුණු ඇතුළත් බව පවසමින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් අලස් මහතාගෙන් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ රෝහිණි ඩයස් නඩුවක් පැවරීය.

ඒ.සී. අලස්, ප්‍රිචින් මුද්‍රණ සමාගම සහ ලේක්හවුස් ඉන්වෙස්ට් සමාගම මෙම නඩුවේ විත්තිකරුවන් ය.

රෝහිණී ඩයස් මේ සිද්ධිය වනවිට අවුරුදු 40 වයස පසුකරමින් සිටි බව ද ඒ වනවිට ඇය කාම ආශාවකින් පෙළුණු බව ද ඇය සෝමාලියාවේ සිටියදී සෝමාලියාවේ පුරුෂයෙකුගෙන් එම ආශාව සංසිදුවා ගත් බව අදාළ පොතේ සඳහන් වූ බව ද එය මුළුමනින් ම අසත්‍ය බව ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.

අංක 97641M නඩුවෙන් රෝහිණී ඩයස් වැඩිදුරටත් පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ ඇගේ තරුණ රියදුරු සමඟ කතරගමදී සහ නුවරඑළියේ හෝටල් දෙකකදී සංසර්ගයේ යෙදුණු බව ද අසත්‍යයක් යැයි රෝහිණී සඳහන් කළාය.

මෙම නඩුව එවකට කොළඹ දිසා විනිසුරුව සිටි මහානාම තිලකරත්න මහතා හමුවේ විභාග විය‍.

අදාළ පොතේ කර්තෘ වූ මේ රටේ ප්‍රකට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බොහෝ අවස්ථාවල අගවිනිසුරු ලෙස වැඩ බැලූ ආතර් චාල්ස් මහතා පිළිතුරු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මේ රටේ පැරණි අපරාධ නඩු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සමාජයට කරන යුක්තියක් ලෙස කරන බවය. මේ නඩුවේ පැමිණිලිකාරිය හෝ නිමල් ෆොන්සේකා ඔහු නොදන්න බව පැවසීය.

මීට අදාළ තොරතුරු පොලිස් වාර්තා නඩු වාර්තා සහ වෙනත් අධිකරණ වාර්තා මගින් ඔහු ලබාගත්ත බව අධිකරණයට අලස් මහතාගේ පිළිතුරුවලින් සඳහන් විය. අලස් මහතා මෙම පොත ප්‍රසිද්ධියට පත් කළේ ඔහුට ඇති නෛතික අයිතියක් අනුව සාමාන්‍ය ජනතාවට යහපතක් කිරීම සඳහා බව පිළිගන්නා බව තීරණය කළ මහානාම තිලකරත්න විනිසුරුවරයා රෝහිණී ඩයස් පැමිණිල්ල නිෂ්ප්‍රභ කළේ ය.

Comments