පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පියවරක් | සිළුමිණ

පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පියවරක්

ලාංකේය පාසල් ක්‍රිකට් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ ‘ඔන්ලයින්’ දත්ත පද්ධතියක් පළමුවරට සකස් කිරීමට වසර 72ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් කරයි.පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවන නවතම වැඩසටනෙන් පාසල් ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයන් සඳහා වන අවුරුදු 13න් පහළ සිට 19න් පහළ දක්වා සියලුම වයස් කාණ්ඩයන්ට අයත් වන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට පාසල් ක්‍රිකට් නිල දත්ත සැපයුම්කරු ලෙස කටයුතු කරන බැට්ස්මන්.කොම් වෙබ් අඩවියේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මේ ‘ඔන්ලයින්’ දත්ත පද්ධතියක් සැකසීම තුළින් පාසල් ක්‍රිකට් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දස්කම් නිරන්තර යාවත්කාලීන කිරිමට මෙමගින් අපේක්ෂා කෙරෙයි.මෙවැනි ක්‍රමයක් තුළින් විශේෂයෙන් කනිෂ්ඨ බාලක-බාලිකා සංචිත සකස් කිරීමේ දී කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයන්ගේ කාර්යය වඩාත් පහසුවනු ඇති බවත්, ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ වඩාත් විනිවිද අයුරින් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට පාඨකයන්ටද මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇති බවත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති අප හා පැවැසීය.

අවුරුදු 13න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ මූලික ජීව දත්ත තොරතුරු මෙන්ම ඔවුන් ක්‍රීඩා පිටියේ දී පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීමේ දී දක්වන දක්ෂතා පිළිබඳ විස්තර මේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට මෙමඟින් හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

සාමාන්‍යයෙන් වසරක දී අවුරුදු 13න් පහළ තරගාවලියට පාසල් කණ්ඩායම් 700ක්, 15න් පහළ කණ්ඩායම් 600ක්, 17න් පහළ කණ්ඩායම් 300ක් සහ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා තරගාවලියට එක් වන පාසල් කණ්ඩායම් 300කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන පාසල් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 30, 000කගේ පමණ සියලු විස්තර මේ දත්ත පද්ධතියට ඇතුළත්වනු ඇත.

පාසල් ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා මෙන්ම එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ ජීව දත්ත තොරතුරු මේ දත්ත ගබඩාවට ඇතුළත් කෙරෙනු ඇත. නවීන තාක්ෂණය සමඟින් මුසුවීමත් සමඟ ඉතිහාසයේ පළමු වරට පාසල් ක්‍රිකට් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දත්ත ඇතුළත් මේ ‘ඔන්ලයින්’ දත්ත පද්ධතියක් සැකසීම පාසල් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂ කඩඉමක් වනු ඇත.


මාතලේ සහ බෝගම්බර ක්‍රීඩාංගණවලට කණකොකා හඬයි

හොකී ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුන්වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය වසර ගණනාවක සිට කිසිදු නඩත්තුවකින් තොරව අතහැර දැමීම නිසා අබලන් තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.මේ අතර සුගතදාස ක්‍රීඩා සංකිර්ණ අධිකාරිය යටතේ පවතින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයද, සංවර්ධනය කිරිමට පටන් ගෙන වසරකට ආසන්න කාලයක් ගතවුවද එම ක්‍රීඩාංගණයද මුළුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

මිට දශක දෙකකට පමණ පෙර ලාංකේය හොකී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එවකට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා ශ්‍රී ලංකා හොකි සම්මේලනයේ සභාපති ධුරය දැරූ නන්දිමිත්‍ර ඒකනායක ගේ මූලිකත්වයෙන් ඉදිකළ මේ ක්‍රීඩාංගණයේ කෘත්‍රිම තණතීරුව ද වසර ගණනාවක් වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නොවීම හේතුවෙන් දිරාපත් ව තනිකර මැටි ගොඩක් බවට පත්ව තිබේ.

මාතලේ පුරවරයේ පාසල් කණ්ඩායම්වල පුහුණුවීමේ මධ්‍යස්ථානයක් ලෙස පැවැති කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයට අත් වී තිබෙන ඉරණම පිළිබඳ ක්‍රිඩක ක්‍රීඩිකාවන් දැඩි කනස්සල්ලට පත්වී සිටිති. මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ මාතලේ නගරයෙන් අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීමට ඇති ඉඩකඩ ද මේ නිසා දැඩි පසුබෑමකට ලක් වී තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයක් මත පළාත් නවයේ කෘත්‍රිම ධාවන පථ ඉදිකිරිමේ වැඩ පිළිවෙළ යටතේ පසුගිය වසරේ මෙකි ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමට වැඩ ඇරඔු නමුත් අද වන විට ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට බාධක රහිතව මිටර් 400 ධාවනය කිරිමටවත් නොහැකිව තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අවධානය මේ සඳහා යොමු විය යුතු බව බොහෝ දෙනාගේ මතය වි තිබේ.

Comments