වැලපෙන මිහිකතට පසුවදනක්! | සිළුමිණ

වැලපෙන මිහිකතට පසුවදනක්!

ගමනක් යමින් සිටි මීයාට ද, බළලාට ද ගඟක් හමු විය. ගඟෙන් එතෙර වීමට මඟක් නොවූ මීයා ද බළලා ද ලොකු අලයක් සොයාගෙන එය හාරා ඔරුවක් තනා ගත්හ. අලයෙන් හදා ගත් ඔරුවෙන් එතෙර යමින් සිටි මීයාට අතරමග දී කුසගිනි දැනුණි. මීයා ඔරුවෙන් ටිකක් කෑවේය. බළලා මීයාට එරෙහි විය. ඔරුව කෑමෙන් සිදුවන විපත බළලා විසින් මීයාට කියා දුන්නේය. එහෙත් කුසගිනි දැනෙන වාරයක් පාසා මීයා ඔරුව කන්නට විය. ගඟ මැදට යන විට ඔරුව හිල් විය. ඔරුව කෑ මීයා ද එසේ නොකළ සහ ඊට එරෙහි වූ බළලා ද යන දෙදෙනාම ගඟෙහි ගිලී මළහ. ජන කතාවකට අනුව මීයාගේ සහ බළලාගේ විරසකය ඇතිවන්නේ එතැන් සිට ය. ලෝකය මුහුණ දී ඇති පරිසර විනාශය පිළිබද ප්‍රශ්නය ද ඉහත ජන කතාවේ මීයා හා බළලා මුහුණු දුන් ප්‍රශ්නය බඳු ය. පරිසරය විනාශය කරන්නේ කිහිපදෙනෙක් වුව ද එයට සමස්තයටම වග කියන්නට සිදු වේ.

මේ මිනිසා විසින් සිදු කරන්නට යෙදුණු පාරිසරික විනාශයේ ‘කළ හොඳ’ ඵල දෙමින් පවතින කාලයකි. හැත්තෑව දශකයේ මුල් භාගයේ පටන් දශක පහක් තිස්සේ අප මේ පරිසර කතිකාවේ යෙදී සිටින්නේ මිනිසා විසින් සිදු කරන්නට යෙදුණු පාරිසරික බලපෑමේ හානියේ තරම; ගුණනය වී යළිත් අපව සොයා පැමිණෙමින් සිටින නිසාය. ඒ, කාලගුණික විපර්යාස, ආපදා හා වසංගත ලෙස විවිධ වේශයෙනි. එබැවින් ලොව පුරා දේශගුණික අනාථයන් බිහිවෙමින් පවතින අතර දරිද්‍රතාව ඉහළ යෑම, ජෛව විවිධත්ව හායනය, පරිසර පද්ධති විනාශය, ජල සම්පත් හා ආහාර (බිම්) සීමා වීම යනාදී මෙකී නොකී ගැටලු සම්භාරයකට ලෝකය ගොදුරු වෙමින් පවතී. ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා ග්ලැසියර දියව යෑමෙන් පෘථිවියේ තුල්‍යතාව බිඳ වැටෙමින් පවතින අතර මුහුදු ජල මට්ටම ද ඉහළ යමින් පවතී. එසේ හෙයින් ලෝක නායකයන් එක්සත් ජාතීන්ගේ එකමුතුව අනුව යමින් ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක දෙකකින් ඉහළ යෑම වැළැක් වීමේ අපහසු ඉලක්කයක් සඳහා එකඟතාව පළ කරගෙන කටයුතු කරති.

ඉකුත් 2015 වසරේ දී ප්‍රංසයේ පැරිස් නුවරදී පැමිණි මේ එකඟතාව පරිදි, තිරසර සංවර්ධන අරමුණු 17ක් හා තිරසර සංවර්ධන ඉලක්ක 169ක් අනුව යමින් ලෝකය සුරක්‍ෂිත කිරීමට ගිවිසගෙන සිටී. මෙකී ගිවිසුමට අත්සන් තැබූ රටවල් අතර ශ්‍රී ලංකාව ද ඉහළින් ම වේ. එසේ හෙයින් මේ තිරසර සංවර්ධන අරමුණු හා යමින් ඒ ඉලක්ක ජයගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කිරීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවේ පරිසර සංරක්‍ෂණය ද අප හිතන තරම් යහපත් වූවක් නොවේ. ලොව කුමන හෝ එකඟතා, සන්ධාන සම්මුතිවලට අත්සන් තබා තිබුණ ද, අප රටේ පරිසර විනාශයේ අඩුවක් නැත. වනාන්තර විනාශය, කසළ අර්බුදය, සාගර දූෂණය, පොලිතින් - ප්ලාස්ටික් ගැටලුව, ජල සම්පත් දූෂණය වැනි අංශ කිහිපයකින්ම ශ්‍රී ලංකාව කැපී පෙනෙන නරක නාමයක් සතු කර ගෙන සිටී. එසේ හෙයින් පාරිසරික ප්‍රතිපත්ති, රාජ්‍ය පාලනයට හා ඒ ඒ පක්‍ෂ, අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ද ඇතුළත් කිරීමට දැන් සිදුවී ඇත.

වැලි, පස් කැපීම, ගල්කොරි පවත්වා ගෙන යෑම, දැව සංහාරය, රජයේ ඉඩම් අල්ලා ගැනීම, රක්‍ෂිත ඇතුළත හෝටල්, අවන්හල් නිවාඩු නිකේතන තැනීම, රාජ්‍ය වතුයායවල් හිතවතුන්ට බෙදා දෙමින් මධ්‍යම කඳුකර පරිසර පද්ධති අනතුරට ලක්කිරීම, කසළ, පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම, වන සත්ත්ව දඩයම, රක්‍ෂිතවල කංසා වගා කිරීම, තෙත් බිම් හා වගුරු බිම් ගොඩකිරීම යනාදී නොයෙක් ක්ෂේත්‍ර ඔස්සේ මෙසේ රටේ පරිසර විනාශයේ අක්මුල් විහිද යයි.

ගංවතුර, නායයෑම්, මෙන්ම මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම හේතුවෙන් විශාල දේපළ හානි, මිනිස් ජීවිත අහිමි වීම්, ආනවිලුන්දාව ඩෝසර් කිරීම, උමා ඔය ජල ව්‍යාපෘතිය ආශ්‍රිත ගැටලුව, විල්පත්තුව ජාතික වනෝද්‍යාන විනාශය හේතුවෙන් පාරිසරික මෙන්ම සමාජ අර්බුද ද රැසක් උද්ගතවී ඇත.

2080 වර්ෂය වන විට යුරෝපයේ වනාන්තර 40%ක් ද 2085 වන විට අප්‍රිකාවේ වනාන්තර 25%ක්ද ලෙස විනාශයට පත්වන බවට පරිසරවේදීහු අනතුරු අඟවති. 1882 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වන ගහනය 82%ක් වූ අතර 1948 වර්ෂයේ සුද්දා අපට රට බාර දෙන විට වන ගණත්වය වූයේ 30%කි. සුද්දාගෙන් රට බාරගත් අපේ ඇත්තෝ වසර 71ක් වැනි කාලයක් ඇතුළත වන ගණත්වය 17% දක්වා පහත හෙළා ගැනීමට සමත් වූවෝ වෙති. ඒ අනුව ලෝකයේ වන වගා විනාශ වීමට ලක්වෙන ප්‍රධාන රටවල් දහස අතරින් 4 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් කිරීමට අපේ ඇත්තන්ට හැකිවී තිබේ.

මේ සියලු කරුණු අප ගොනු කළේ පසුගිය වකවානුව පුරා පරිසරයට වූ අකටයුතුකම් පිළිබඳ ඇස්කන් පියා බලා සිටිය නොහැකි නිසා ය. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම මංගලපුර රජයේ ඉඩමක අක්කර සියයකට වැඩි ප්‍රමාණයක පිහිටි රූස්ස ගස් සමූහයක් කපා කොටා සිඳ දමා පසුව ගිනි තබා ඇත. මේ සාහසික විනාශයට ගොදුරුව තිබෙන ඇතැම් ගස් අඩි හත- අට තරමේ වට ප්‍රමාණයෙන් යුතු වසර සිය ගණනක් පැරණි ඒවා බැව් සිහිපත් වන විට පරිසරයට අබමල් රේණුවක හෝ ආදරයක් ඇත්තෙක් නම් පපුව කකියන බව නිසැක ය.

මේ සියල්ල දෙස ඇස් කන් පියාගෙන බලා සිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ආණ්ඩුව මේ වන සංහාරයට වහාම වැට බැඳිය යුතුව තිබේ. විනාශ වීමට දී ඊට පසු වාර්තා හදන රාජ්‍ය නොවන සංවිධාන මෙන් නොව විනාශ වීමට පෙර ඊට පිළියම් යෙදිය හැකි නම් වටී. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. මහනුවර හන්තාන, ආනවිලුන්දාව, මාතලේ මුවගල කන්ද, විල්පත්තුවට ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව මේ සියල්ල ආසන්න සිද්ධි සේ ගෙන පරිසරය සිය ජීවිතය සේ සලකන අනාගතයක පෙරනිමිති දකින්නට ජනතාව පෙළ ගැසී සිටිති.

Comments