විජේ­දාස ලිය­නා­රච්චි ඝාත­නයේ සුලමුල | සිළුමිණ

විජේ­දාස ලිය­නා­රච්චි ඝාත­නයේ සුලමුල

විජේ­දාස ලිය­නා­රච්චි උපන්නේ 1951 ජනවාරි 14 වීර­කැ­ටිය බුද්ධි­ය­ග­මය. කෘෂි ව්‍යාප්ති නිල­ධා­රි­යකු වූ ඔහුගේ පියා ලියනා­ර­ච්චිගේ දොන් ජුවා­නිස් අප්පු­හාමිය. මව විදා­න­ග­මගේ දොන් සිසි­ලි­යා­නාය. 14 දෙනකු ගෙන් යුත් පවුලේ 7වැනියා වූ විජේ­දාස වීරකැටිය මධ්‍ය විද්‍යා­ල­යෙන් පාසැල් අධ්‍යා­ප­නය ලැබීය. අපොස සාමාන්‍ය පෙළ විභා­ගය සමත්වූ හෙතෙම 1969 දී ගාල්ල රිච්මන්ඩ් විදු­හ­ලට ඇතුළු වූයේ උසස් පෙළ හැදෑ­රී­ම­ටය.

විජේ­දාස වාමාං­ශික දේශ­පා­ල­න­යට ප්‍රවේශ වූයේ ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංග­මය වන ලංකා ජාතික ශිෂ්‍ය සංග­මය හරහා 1968 දී ය. පසුව ඔහු එහි වීර­කැ­ටිය ශාඛාවේ ලේකම් විය. විජේ­දා­සව කොමි­යු­නිස්ට් පක්ෂයේ දේශ­පා­ල­න­යට එක්කර ගනු ලැබුවේ එව­කට කොමි­යු­නිස්ට් පක්ෂ ශිෂ්‍ය සංවි­ධා­නයේ හම්බ­න්තොට දිසා ලේකම් මද්දුම පට­බැ­දිගේ චන්ද්‍ර­පා­ලය. ජවිපෙ දේශ­පා­ල­න­යට විජේ­දාස ලිය­නා­රච්චි 1970 මාර්තු යොමු වූයේ රිච්මන්ඩ් විදු­හලේ ඉගෙන ගන්නා කාල­යේ­දීය. ඒ ජවිපෙ බද්දේ­ගම නාය­ක­යකු වූ 1950 ජූනි 05 උපන් තෙලි­කඩ පල්ලි­ය­ගු­රුගේ ගුණ­පාල විසින් දංගෙ­දර විහා­ර­යේ දී පව­ත්වන ලද ජවිපෙ පන්ති හර­හාය.

ඒ වන විටද ඔහුගේ සහෝ­ද­රි­යක් ජවිපෙ දේශ­පා­ල­න­යට සම්බ­න්ධවී සිටි අතර ඇය 71 කැරැ­ල්ලේ දී අත්අ­ඩං­ගු­ව­ටද පත්වූවා ය. ජවිපෙ දේශ­පා­ල­නය තුළ විජේ­දාස යළි සක්‍රීය චරි­ත­යක් වන්නේ හම්බ­න්තොට විජිත රණ­වීර ගේ මැදි­හ­ත්වී­මෙනි. ඒ 1976දීය. විජේ­දාස ලිය­නා­රච්චි ගේ සහෝ­ද­රිය විවාහ වී සිටියේ දකුණු පළාතේ හුංගම සැම්සන් සම­ඟය. 71 අප්‍රේල් කැරැ­ල්ල­ටද සම්බන්ධ වූ හුංගම සැම්සන් පසුව ජවි­පෙන් ඉවත්වී ජවිපෙ විරෝධී ස්ථාව­ර­යක් ගැනීම නිසා ජවිපෙ 2වැනි කැරලි සම­යේ දී කැර­ලි­ක­රු­වන් විසින් වෙඩි තබා ඝාත­නය කරන ලදී.

වසර 1977 මහ මැති­ව­ර­ණ­යේ දී ජවිපෙ නමින් තරග නොකළ ද ශ්‍රීල­නි­ප­යට සහ එජා­ප­යට එරෙ­හිව තංගල්ල ඇතුළු රට­පුරා ආසන 4කට ස්වාධීන අපේ­ක්ෂ­ක­යන් වශ­යෙන් තරග කළේය. එහි ජන­ප්‍රිය කථි­ක­යෙක් වූයේ විජේ­දා­සය. සංව­ර්ධන සභා මැති­ව­ර­ණය 1981 ජූලි 04 පැවැති අව­ස්ථා­වේ දී හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යට තරග කරන ලද්දේ පිය­සේන රාම­නා­යක, විජේ­දාස ලිය­නා­රච්චි, ගුණ­පාල සත­ර­සිංහ ආර­ච්චිගේ සහ ජේ. ආර්. ඩී. සිරි­පා­ලය. ඉන් පිය­සේන රාම­නා­යක පම­ණක් සංව­ර්ධන සභා මන්ත්‍රී­ව­ර­යකු වශ­යෙන් පත්විය.

විජේ­දාස ගුරු වෘත්තිය ආරම්භ කළේ හම්බ­න්තොට අලු­ත්වෙල මහා විද්‍යා­ල­යෙනි. පසුව දෙනිය පිංගම මහා විද්‍යා­ල­ය­ටද අන­තු­රුව මන්නා­ර­ම­ටද මාරු­වක් ලැබීය. වෘත්තීය ජීවි­තයේ සට­න්කා­මි­යෙක් වීමේ වර­දට මාස 6කින් පසු වැඩ තහ­න­ම­කට ලක්විය. විජේ­දාස පසුව ගුරු වෘත්ති­යට සමු දී කටු­බැද්ද තාක්ෂ­ණික විද්‍යා­ලයේ ඉංජි­නේරු ඩිප්ලෝමා පාඨ­මා­ලා­වක්ද හැදෑ­රීය. ඉන් සමත්වූ ඔහුට මහ­වැලි ව්‍යාපා­රයේ රත්කිඳ ව්‍යාපෘ­තියේ කාර්මික සහ­කා­ර­ව­ර­යකු ලෙස රැකි­යා­වක් හිමි විය.

උපන් ගමේ තරු­ණ­යන් සමඟ එක්ව ඔහු ‘තරුණ මිතුරු හවුල’ සංවි­ධා­නය මගින් බොහෝ ක්‍රියා­කා­ර­කම් කළේය. වීර­කැ­ටියේ කලා සහ ක්‍රීඩා සමා­ජය බිහි­වූ­යේද ඔහුගේ පුරෝ­ගා­මි­ත්ව­යෙනි. වික්ටර් රත්නා­යක සහ සනත් නන්ද­සිරි කලා­ක­රු­වන්ද ගෙන්වා ප්‍රසං­ග­යක් පැවැ­ත්වී­මට විජේ­දාස සම­ත්විය. කලා සංග­මය මගින් සමාජ අසා­ධා­ර­ණ­යට එරෙ­හිව නිප­දවූ ‘නින්ද­ග­මක රුසියෝ’ නම් නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවන ස්ථානය ලබා ගත්තේය. ඔහු ජවිපෙ වෘත්තිය සමිති සහ අධ්‍යා­පන අංශ­යන්හි ඉහළ තලයේ භූමි­කා­වක්ද ඉටු කළේය

රැකි­යාවේ නිර­තව සිටි­ය­දීම උසස් පෙළ විභා­ග­යට කලා අංශ­යෙන් පෞද්ග­ලි­කව පෙනී සිටී­මට තීර­ණය කළ ඔහු ඉන් සම­ත්වන්නේ අධි සාමාර්ථ 3ක් සම­ඟය. වසර 1984 දී නීති විද්‍යා­ල­යට ඇතුළු වූ හෙතෙම නීති­ඥ­යකු ලෙස දිවු­රුම් දුන්නේ 1987දීය. විජේ­දාස ජනා­ධි­පති නිතිඥ රංජිත් අබේ­සූ­රිය(1932-2014) ගේ කණිටු නීිති­ඥ­යෙකි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නිති­ඥ­යින් වන ගෝමින් දයා­සිරි සහ ප්‍රින්ස් ගුණ­සේ­කර සම­ඟද කට­යුතු කළේය. ප්‍රකට පුව­ත්පත් කලා­වේ­දි­යකු වූ ලසන්ත වික්‍ර­ම­තුං­ගද ඔහුගේ සම­කා­ලීන නීති­ඥ­ව­ර­යෙකි. හෙබි­ය­ස්කෝ­පූස් නඩු­ව­ල දී විජේ­දාස ඒවා බොහො­ම­යක් ඉදි­රි­ප­ත්කර තිබුණේ සිංහල භාෂා­වෙන්ය.

කොළඹ පුර­වැසි කමි­ටුවේ මූල­ස්ථා­නය රොස්මිඩ් පෙදෙසේ නිතිඥ ප්‍රින්ස් ගුණ­සේ­කර ගේ නිවසේ ඔහුගේ ප්‍රධා­න­ත්ව­යෙන් 1988/89 ක්‍රියා­ත්මක විය. එහි දී ඉදි­රි­පත් වූ නඩු බොහෝ­ම­ය­ක­ටම විජේ­දාස මැදි­හත් විය. කතු­ව­රයා කොළඹ දිස්ත්‍රික් පුර­වැසි කමි­ටුවේ සංවි­ධා­යක වූ අතර එහි සම ලේක­ම්ව­රුන් වූ නීති­ඥ­යන් වන චරිත ලංකා­පුර 1989 ජුලි 7 සහ කාංචන අබේ­පාල 1989 අගෝස්තු 28ද ප්‍රා සංවි­ධා­නය මගින් ඝාත­නය කරන ලදී.

නීතිඥ විජේ­දාස උසාවි කට­යුතු අව­සන් වීමෙන් පසු නුගේ­ගොඩ ගංගො­ඩ­වි­ල දී තංග­ල්ලෙන් පැමිණි පොලිස් කණ්ඩා­ය­මක් විසින් පැහැ­ර­ගනු ලැබුවේ 1988 අගෝස්තු 25 පස්වරු 4ට පම­ණය. ඊට පසුදා එනම් අගෝස්තු 26 සිකු­රාදා පෝය නිවා­ඩු­වක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25 රාත්‍රී ගමේ නිවස බලා යෑම ඔහුගේ අර­මුණ විය. පැහැ­ර­ගනු ලැබුවේ තංගල්ල පොලිස් අධි­කාරි කර­වි­ටගේ ධර්ම­දාස ගේ උප­දෙස් අනුව සිවිල් ඇඳු­මෙන් සැරසී සිටි පිරි­සකි. කර­වි­ටගේ ධර්ම­දාස ගේ පියා කාන්තන් ධර්ම­දා­සන්ය. විජේ­දාස එතැ­නින් මාත­ර­ටද පසුව තංගල්ල පොලී­සි­ය­ටද ගෙන ගියේය. තංගල්ල පොලිස් අධි­කාරි ධර්ම­දාස ගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ විජේ­දාස තබා­ගත් අතර එහි දී තිර­ස්චීන වධ­බ­න්ධ­න­ව­ලට ලක්වූ බව කියති.

විජේ­දාස පැහැ­ර­ගෙන ගිය රථ­යේම කොළඹ රාජ­කීය විදු­හලේ සිසු­ව­කු වූ සුස­න්තද සිටි අතර ඔහු පාන­දුර ප්‍රදේ­ශ­යේ දී අත්හ­රින ලදී. එම සිසුවා විසින් විජේ­දාස ගේ පැහැ­ර­ගැ­නීම දැනුම් නොදෙ­න්නට මෙම සිද්ධිය සදා­කා­ලික අභි­ර­හ­සක් වන්නට තිබිණි. තංග­ල්ලට ගෙන­ගිය ලිය­නා­ර­ච්චිට පහ­ර­දීම පිළි­බ­ඳව චෝදනා එල්ල වූයේ උප පොලිස් පරි­ක්ෂක බී. එච්. මෙන්ඩිස් ඇතුළු පිරි­සක් විසිනි. විජේ­වීර ඝාත­න­යෙන් පසු ජවිපෙ විසින් එකළ බිත්ති­වල ‘පර­වුණු මල් නැවත පිපේ’ යනු­වෙන් සටන් පාඨ­යක් ලියා තිබූ අතර එයට පිළි­තු­රක් ලෙස එම වැකි පහ­ළින් ලියන ලද ‘පරණ ටයර් තවත් තිබේ’ යන වච­නයේ නිර්මා­ප­ක­යාද උප පොලිස් පරි­ක්ෂක මෙන්ඩිස්ය.

ශ්‍රි ලංකා නිතිඥ සංග­මය වහා ඉදි­රි­පත් වී නිතිඥ විජේ­දාස ගේ අයි­තීන් වෙනු­වෙන් රජයේ පාර්ශ්ව සමඟ කට­යුතු කළේය. ඒ අතර ජනා­ධි­පති ආර්. ප්‍රේම­දාස සහ ආර­ක්ෂක අමාත්‍ය රන්ජන් විජේ­ර­ත්නද විය. විජේ­දාස ගේ බාප්පා වන නුගේ­ගොඩ ගැමුණු තිස්ස දහ­නා­යක විසින් විජේ­දාස අධි­ක­ර­ණය හමු­වට ගෙන එන ලෙස ඉල්ල­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට හෙබා­යා­ස්කෝ­පුස් පෙත්ස­මක් 1988 සැප්තැ­ම්බර් 1 ඉදි­රි­පත් කළේය. ඒ පිළි­බඳ සලකා බැලූ අධි­ක­ර­ණය 1988 සැප්තැ­ම්බර් 7 බදාදා උදේ 10.00ට නීතිඥ විජේ­දාස ලිය­නා­රච්චි අධි­ක­ර­ණ­යට පමු­ණු­වන ලෙස පොලි­ස්පති අර්නස්ට් පෙරේ­රාට නියෝග කළේය. වග­උ­ත්ත­ර­ක­රු­ව­කුට සිතාසි නිකුත් නොකොට පුද්ග­ලයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කරනු ලැබූ ප්‍රථම අධි­ක­රණ නියෝ­ගය එය විය.

නීතිඥ සංග­මය ගෙන ගිය දැවැන්ත උද්ඝෝ­ෂ­ණය හේතු­කොට ගෙන නීතිඥ විජේ­දාස තංගල්ලේ සිට කොළ­ඹට ගෙන ඒමට පොලි­සි­යට සිදු­විය. ඔහු කොළ­ඹට 1988 සැප්තැ­ම්බර් 01 පෙර­වරු 11.30ට ගෙන­විත් රඳ­වා­ගෙන සිටියේ සපු­ග­ස්කන්ද පොලි­සි­යේය. පොලි­සි­යට ගෙන ආ නීතිඥ විජේ­දාස බාර­ගනු ලැබුවේ සපු­ග­ස්කන්ද පොලි­සියේ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒක­කයේ පොලිස් පරී­ක්ෂක වික්‍ර­ම­සිං­හය. ඔහුට පැන­ඩොල් පෙති දෙකක් එහි දී ලබා දුන් අතර ශරී­රයේ බාහිර තුවාල පිළි­බ­ඳව වික්‍ර­ම­සිංහ විසින් සට­හ­නක් පොලිස් පොතට ඇතු­ළත් කරන ලදී. කොළ­ඹට ගෙන ඒමෙන් පසු විජේ­දා­සට පහ­ර දී නැතැයි ජනා­ධි­පති නිතිඥ රංජිත් අබේ­සූ­රිය ගේ මතය විය. නීතිඥ විජේ­දාස ලිය­නා­රච්චි තංගල්ලේ සිට කොළ­ඹට ගෙන­විත් සපු­ග­ස්කන්ද පොලි­සි­යට බාර දෙන ලද්දේ වැලි­ගම මූල­ස්ථාන පොලිස් පරි­ක්ෂක බී. පී. ඩී. කරු­ණා­ර­ත්නය. ඔහු පසු කලෙක නියෝජ්‍ය පොලි­ස්පති වූ ඉන්දු කරු­ණා­රත්න ගේ වැඩි­ම­හල් සොහො­යු­රාය. පසුව 1988 සැප්තැ­ම්බර් 02 උදෑ­සන විජේ­දාස ගේ ඉල්ලීම පරිදි කෝපි සහ වෙනි­වැ­ල්ගැට කෝප්ප­යක් ලබා දුන් අතර රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් එදි­නම රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටු­වට ඇතු­ළත් කරන ලදී. පසුව සැප්තැ­ම්බර් 3 අලු­යම 12.55ට හෙතෙම මිය­ගොස් තිබිණි. නීතිඥ විජේ­දාස ලිය­නා­රච්චි ගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍ය­න්තර තුවාල සිය­ය­කට අධික ගණ­නක් තිබූ බවට මරණ පරි­ක්ෂ­ණ­යේ දී හෙළි විය. එමෙන්ම මොට්ට ආයු­ධ­ය­කින් පහ­ර­දීම හේතු­කො­ට­ගෙන හිස් කබ­ලට සහ මාංශ­පේ­ෂීන්ට සිදුවූ තුවාල නිසා ඇතිවූ කම්ප­නය සහ අධික ලේ ගැලීම හේතු­කොට ගෙන මර­ණය සිදුවූ බව අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රින් ප්‍රකාශ කළහ. මහේ­ස්ත්‍රාත් පරි­ක්ෂ­ණය මාලි­ගා­කන්ද වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් පව­ත්වන ලදී.

නිතිඥ විජේ­දාස ගේ මළ­සි­රුර ඔහුගේ පියාට බාර­දෙන ලෙස මහේ­ස්ත්‍රාත් විසින් නියම කළ අතර කළු­බෝ­විල අව­මං­ගල ශාලා­වෙන් දේහය බල­හ­ත්කා­ර­යෙන් ලබා­ගත් ආර­ක්ෂක අංශ එය වීර­කැ­ටි­යට හෙළි­කො­ප්ට­ර­ය­කින් ගෙන ගොස් ඥාතින්ට බාර­දෙන ලදී. මිය­යන විට අවි­වා­හ­ක­යකු වූ ඔහු 37 හැවි­රි­දිය.

මානව හිමි­කම් නීති­ඥ­ව­ර­ය­කුගේ මෙම මර­ණ­යට එරෙ­හිව ශ්‍රී ලංකා නිතිඥ සංග­මය සුවි­ශේෂි වැඩ කොට­සක් ඉටු කළේය. ඒ අනුව 1988 සැප්තැ­ම්බර් 7 දිව­යින පුරා උසා­වි­වල සේවය කරන නීති­ඥයෝ වර්ජ­න­යක නිරත වූහ. එමෙන්ම කොළඹ උසා­වි­වල නීති­ඥයෝ උසාවි වර්ජ­නය කර නීිති ශිෂ්‍ය­යන් සමඟ එක්ව විරෝ­ධතා පෙළ­පාළිව­ලද නිරත විය. ශ්‍රී ලංකා නීතිඥ සංග­මය මෙම ඝාත­න­යට විරෝ­ධය දක්ව­මින් හෙබෙ­යා­ස්කෝ­පූස් නඩු­ව­ල දී පොලි­සියේ සහ ආර­ක්ෂක හමු­දා­වල සාමා­ජි­ක­යන් වෙනු­වෙන් පෙනී සිටි­මෙන් වැළකී සිටී­ම­ටද තීර­ණය කළේය. එකල ශ්‍රී ලංකා නිතිඥ සංග­මයේ 1987/89 දක්වා සභා­පති වූයේ එච්. එල්. ද සිල්වාය; උපාලි ගුණ­රත්න ලේකම්ය; පාලිත මැතිව් භාණ්ඩා­ගා­රි­කය.

රාජ්‍ය මාධ්‍ය මගින් 1988 සැප්තැ­ම්බර් 3 සිට දැවැන්ත ප්‍රචා­ර­යක් කර­මින් කියා සිටියේ නීිතිඥ විජේ­දාස ලිය­නා­රච්චි දේශ­ප්‍රේමි ජනතා ව්‍යාපා­රයේ කැලෑ උසා­වියේ නාය­ක­යකු බව ද මහ­ජන පක්ෂයේ නායක විජය කුමා­ර­තුංග සහ එජාප සභා­පති හර්ෂ අබේ­ව­ර්ධන යන අය මරා­දැ­මී­මට නියෝග කළේ ඔහු බවත්ය. විජේ­දාස 1976 සිට ජවිපෙ ක්‍රියා­කාරි සාමා­ජි­ක­යකු වශ­යෙන් කට­යුතු කළේය. තිස්ස­ම­හා­රා­ම­යට රවිය; බෙලි­අ­ත්තට රනිල්ය; කොළ­ඹට මංජුය. ඔහු මිය­යන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමා­ජි­ක­යකු නොවීය. එයට හේතු­වූයේ එහි සාමා­ජි­ක­ත්වය දැරිය හැකි වන්නේ පක්ෂයේ පූර්ණ­කා­ලී­න­ය­කුට පම­ණක් බැවිනි. එහෙත් විජේ­දාස මිය­යෑ­මෙන් පසුව ඔහුට ජවිපෙ විසින් මධ්‍යම කමි­ටුවේ ගරු සමා­ජි­ක­ත්වය පිරි­න­මන ලදී.

දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රය මගින් 1988 සැප්තැ­ම්බර් 10 නිකුත් කරනු ලැබූ නියෝ­ග­ය­කින් කියා සිටියේ 1988 සැප්තැ­ම්බර් 12 ‘මව්බිම වෙනු­වෙන් දිවි­පිදූ දේශ­ප්‍රේමී නීතිඥ’ විජේ­දාස ලිය­නා­රච්චි ඝාත­න­යට එරෙ­හිව ජාතික ශෝක දින­යක් පව­ත්වන බවය. එබැ­වින් ඒ සඳහා ක්‍රියා­කළ යුතු බවට ජන­තා­වට නියෝග කළේය. ඒ අනුව උතුරු නැගෙ­න­හිර හැර සිය­ලුම පළාත් සඳහා ජවිපෙ ඇඳිරි නීතිය පැන­වී­මෙන් එදින කට­යුතු අඩාළ විය. විජේ­දා­සගේ සිරුර මිහි­දන් කළේ විර­කැ­ටියේ ඔහුගේ පවුලේ සුසාන භූමි­යේ­දීය. ඉන් වස­ර­කට එපිට මිය­ගිය ඔහුගේ මැණි­යන් ගේ සිරු­රද ඒ අස­ලම විය. පියා වූ ජුවා­නිස් අප්පු­හාමි වසර 95ක් ආයු වලඳා 2006 වසරේ සමු­ගත් අතර ඔහුගේ දේහ­යද එම ස්ථාන­යේම පසුව තැන්පත් කරනු ලැබීය.

විජේ­දාස ගේ ඝාත­නය පිළි­බ­ඳව නඩු විභා­ගය 1989 දෙසැ­ම්බර් ආරම්භ වූයේ මහා­ධි­ක­රණ විනි­සු­රු­වන් තිදෙ­නකු ගෙන් සැදු­ම්ලත් ජූරි සභා­වක් ඉදි­රි­යේය. නඩු විභා­ගය අව­සා­නයේ තීන්දුව 1991 ප්‍රකා­ශ­යට පෙර අන­පේ­ක්ෂිත ලෙසින් තමන් ලිය­නා­රච්චි පැහැරගෙන ­යාම සහ අයුතු ලෙස සිර­කි­රීම සම්බ­න්ධ­යෙන් වර­ද­ක­රු­වන් බව චූදි­ත­යන් කියා සිටි­යහ. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හි­ටුවූ සිර­ද­ඬු­වම් පමණි. රහ­සි­ගත ස්ථාන­ය­ක දී මිය­යන තෙක් විජේ­දා­සට වධ­හිංසා පමු­ණුවා ඇති බව හෙළි­විය. ඔහුට පහර දුන්නේ තංග­ල්ලේ­දිද සපු­ග­ස්ක­න්දේද යන ප්‍රශ්න­යට උත්තර දිය හැක්කේ අදාළ සාප­රාධි ක්‍රියා­වට වග­කි­ව­යුතු පුද්ග­ල­යන්ට පම­ණක් බව පසුව පත්කළ බට­ලන්ද ජනා­ධි­පති කොමි­සමේ මතය විය.

නීතිඥ ලිය­නා­රච්චි ගේ ඝාත­න­යෙන් පසු ඇතිවූ ජාතික සහ ජාත්‍ය­න්තර උද්ඝෝ­ෂ­ණ­ය­න්ගෙන් අන­තු­රුව තංගල්ල පොලිස් අධි­කාරි කර­වි­ටගේ ධර්ම­දාස ගේ වැඩ තහ­නම් කිරි­මට රජ­යට සිදු­විය. එහෙත් ඔහුට කොම්ප­ඤ්ඤ­වී­දියේ පොලිස් නිල නිවා­ස­යන්හි නිව­සක්ද, ආර­ක්ෂා­වට පොලිස් භට­යන්ද, පිත්තෝ­ල­යක්ද ලබා දී තිබිණි. නියෝජ්‍ය පොලි­ස්පති බෙනට් පෙරේරා විසින් ලබා­දුන් පොලි­සියේ 504 මෝටර් රථ­යක්ද ඔහු වැඩ තහ­නම් කාලයේ පරි­හ­ර­ණය කළේය. පවුලේ අය නුවර පදිං­චිව සිටි අතර පසුව රජය මගින් ඔහුගේ බිරිය සහ දිය­ණිය බ්‍රිතා­න්‍ය­යට යැවීම සඳහා දිරි­දෙන ලදී. කර­වි­ටගේ ධර්ම­දාස පුංචි බොරැල්ලේ කාර් සේල් අලෙවි­සැ­ල­ක දී එක් දහ­ව­ල­ක දී සිය පිස්තෝ­ල­යෙන් හිසට වෙඩි තබා ගෙන අව­සා­නයේ මිය­ගොස් තිබිණි.

ජවිපෙ 2වැනි කැරලි සමය තුළ රටේ නීතිය වල්වැදී තිබූ අතර තරු­ණ­යන් ඇතුළු විශාල පිරි­සක් ඝාත­න­යට ලක්විය. තවත් පිරි­සක් අතු­රු­ද­හන් විය. එමෙන්ම අත්අ­ඩං­ගු­වට පත්වූ පිරි­සද සුළු­පටු නොවේ. මේ සියල්ල වෙනු­වෙන් පුර­වැසි කමිටු සහ මානව හිමි­කම් ක්‍රියා­කා­රි­කයන් ගේ මඟ පෙන්වීම යටතේ නීති­ඥ­යන් විසින් හබ­යා‍කෝ­පුස් නඩු විශාල ප්‍රමා­ණ­යක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි. වසර 1987 ජුලි 27 සිට 1989 මාර්තු 15 වන විට උතුරු නැගෙ­න­හිර පළාත් හැර රටේ සෙසු පළා­ත්වල පැහැ­ර­ගැ­නීම්වලට එරෙ­හිව ඉදි­රි­පත්වූ නඩු සංඛ්‍යාව 661කි. මින් සිය­යට 95ක් ඉදි­රි­ප­ත්කර තිබුණේ මානව හිමි­කම් අග­යන විජේ­දාස ලිය­නා­රච්චි ඇතුළු නීති­ඥ­යන් කිහි­ප­දෙ­නකු විසිනි. ජවිපෙ 2වැනි කැරැ­ල්ලේ දී නීති­ඥයන් 15ක් ඝාත­න­යට පත්විය. ඉන් 8 දෙනකු ආර­ක්ෂක අංශ සහ එම­ගින් මෙහෙ­යවූ අතුරු හමුදා කණ්ඩා­යම් මගින්ද 7 දෙනකු කැර­ලි­ක­රු­වන් විසින්ද ඝාත­නය කරන ලදී.

ජවිපෙ 2වැනි කැරැ­ල්ලේ දී කැර­ලි­ක­රු­වන් විසින් නිල නොවන උසාවි දිස්ත්‍රික්ක 3ක 1989 මැද භාග­යේ දී නියමු ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් ආරම්භ කරන ලදී. ඒවා ඇර­ඹුවේ හම්බ­න්තොට, කෑගල්ල සහ මොන­රා­ග­ලය. කැර­ලි­ක­රු­වන් ගේ මෙම උසාවි සංක­ල්පයේ නිර්මා­තෘ­ව­රයා ලෙස ආර­ක්ෂක අංශ චෝදනා කළේ ඝාත­න­යට ලක්වූ නීතිඥ විජේ­දාස ලිය­නා­ර­ච්චි­ටය.

හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ කුඩා­වැල්ල උසා­විය කුඩා­වැල්ල ජය­වි­ක්‍රම මහා විද්‍යා­ලීය ශාලාව් දී සති­ය­කට දෙව­රක් සවස 4 සිට 7 දක්වා පැවැ­ත්විණි. මෙය නැර­ඹී­ම­ටද 50කට ආසන්න පිරි­සක් එක් රැස්විය. පැමි­ණිලි ලැබූ අදාළ පාර්ශ්ව­යන් සති­ය­කට පසු කැර­ලි­ක­රු­වන් ගේ උසා­වි­යට කැඳ­වන අතර එහි දී නඩු අසා වැර­දි­ක­රු­වන්ට දඬු­වම් පමු­ණු­වන ලදී.

ඒ අනුව වැර­දි­ක­රු­වන් පොල්කටු මාල පැලඳ ප්‍රසිද්ධ ස්ථාන­යක පැය කිහි­ප­යක් ඇවි­දීම, නැවත එම වැරදි නොක­රන බවට පුවරු අල්ලා­ගෙන සිටීම, හිස මුඩු කිරීම, නිවෙස් ඉදි­රි­පිට සමාව ඉල්ලා බැනර් ප්‍රද­ර්ශ­නය කිරීම, සිදු­කළ වරද කිය­මින් ලයිට් කණු­වක බැඳ තැබීම, පාර දිගේ ටික දුරක් දණ­ගා­ගෙන යෑම ඇතුළු දඬු­වම් ගණ­නා­වක් අයත් විය. දික්ක­සා­ද­යක් ඉල්ලූ කාන්තා­ව­කට කැර­ලි­ක­රු­වන් ගේ උසා­විය එම ඉල්ලී­මට ඉඩ­නො­දුන් අතර යළි එක්වී­මට දෙපා­ර්ශ්ව­ය­ටම නියෝග කරන ලදී. නියෝ­ගය කඩ කළ කාන්තාව පසුව ඝාත­න­යට ලක්වූ­වාය.

හම්බ­න්තොට කුඩා­වැල්ල ‘කැර­ලි­ක­රු­වන් ගේ උසා­වියේ’ ප්‍රධා­නියා ලෙස කට­යුතු කළේ විලි­යම් හෙට්ටි­හේ­වාය. ගුරු­ව­ර­යකු වූ ඔහු 71 කැරැ­ල්ල­ටද සම්බ­න්ධය. ඔහු කැරැ­ල්ලේ දී හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ හුංගම කොට්ඨා­සයේ දේශ­පා­ලන අංශයේ නාය­කයා ලෙස කට­යුතු කළ ජගත් හෙට්ටිගේ ගේ පියාය. කැරැල්ලේ පරා­ජ­යෙන් පසු 1990 අව­සා­න­යේ දී ත්‍රිකු­ණා­ම­ල­යේ දී අත්අ­ඩං­ගු­වට පත් ජගත් තංගල්ල පොලි­සි­යට ගෙන ඒමෙන් පසු වධ­බ­න්ධ­න­ව­ලට ලක්ව 1991 දී රැක­ව දී ඝාත­න­යට පත්විය. හුංගම විජ­යබා විද්‍යා­ලයේ සිසු­වකු වන විලි­යම් හෙට්ටි­හේවා ගේ පුත්‍ර­ය­කුද කැරැ­ල්ලේ දී ආර­ක්ෂක අංශ මගින් ඝාත­න­යට ලක්විය.එම කුඩා­වැල්ල උසා­වියේ කැර­ලි­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටියේ උප­සේන සම­ර­වී­රය. ධීවර ව්‍යාපා­රි­ක­යකු වූ ඔහුද වසර 1971 අප්‍රේල් කැරැ­ල්ලට සම්බ­න්ධව සිටි අයෙකි. පසු කලෙක උප­සේන එජාප ක්‍රියා­කා­රි­ක­යකු විය.

කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ දැර­ණි­ය­ගල ආස­නයේ කැර­ලි­ක­රු­වන් ගේ උසා­විය පව­ත්වා­ගෙන ගියේ දෙහිඕවිට අධ්‍යා­පන කොට්ඨා­සයේ පිහිටි පන්නිල වීර­සිංහ විද්‍යා­ල­යේය. එහි විදු­හ­ල්පති කාරි­ය­ව­සම් වූ අතර ගුරු­ව­රුන් 15ක් සහ සිසුන් 100ක් පමණ අධ්‍යා­ප­නය හැදෑරූ මිශ්‍ර පාසැ­ලකි. පාසැල අවට ගම්මාන වූයේ දිද්දෙ­ණිය, අම්බ­ල­න්පි­ටිය, බැබිල, හිඟු‍රල කන්ද ඇතුළු ස්ථාන­යන්ය. කැර­ලි­ක­රු­වන් ගේ උසා­විය එහි ප්‍රධාන ශාලා­වේ දී සතියේ සෑම අඟ­හ­රු­වාදා සහ බ්‍රහ­ස්ප­තින්දා දින­කම පැය 4ක් පැවැ­ත්විණි.

එහි ප්‍රධා­නියා වූයේ ඉඹු­ල්පි­ටිය ගොඩ­ග­ම්පල උපන් චන්ද්‍ර­සි­රිය. එම උසා­විය මගින් දුන් එක් දඬු­ව­මක් වූයේ අම්බ­ල­ම්පි­ටිය බස්නැ­ව­තු­ම්පොළේ තේ කඩ­යක් හිමි අයි­රාං­ගනී ඝාත­නය කිරී­මය. චෝද­නාව වූයේ ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන්ට පානය සඳහා තේ ලබා දීමය. මාස 3ක් කැර­ලි­ක­රු­වන් ගේ උසා­විය පැවැති අතර 1989 සැප්තැ­ම්බර් 18 ආර­ක්ෂක අංශ එල්ල­කළ ප්‍රහා­ර­ය­කින් පසු එය නතර විය. උසා­වියේ සම්බ­න්ධී­ක­රණ කට­යුතු කළ කැර­ලි­ක­රු­වන් 5ක්ද එහි දී ඝාත­නය විය.

Comments