එක්සත් ජාතික පක්ෂය යනු මෙරට කීර්තිමත් දේශපාලන පක්ෂයකි. වසර 72 කට නොඅඩු ඉතිහාසයක් ඇති එ.ජා.ප.ය අද පත්වී සිටින්නේ දැඩි අර්බුධකාරි තත්ත්වයකය. එ.ජා.ප ය ට අයත් කිසිදු අපේක්ෂකයකුට ඉකුත් මහ මැතිවරණයේදි මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට නොහැකි වීමෙන් එම පක්ෂය මෙරට ඡන්ද දායකයන් අතර ලබා තිබෙන අප්‍රසාදයේ තරම කොපමණදැයි පැහැදිලි වේ. අපට සිතෙන අන්දමට නම් එය දිගු කලක් තිස්සේ පැවති පරිහානියක අවසන් ඛේදජනක ප්‍රතිඵලය යි.
එ.ජා.ප ය වැනි දැවැන්ත දේශපාලන පක්ෂයක මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත්වීමට මුල් වු හේතු සාධක පිළිබඳව සොයා බැලීමද එක්තරා අන්දමක ජාතික අවශ්‍යතාවකි. අප එසේ කියන්නේ මෙරට පවතින කවර හෝ දේශපාලන පක්ෂයකට වුවද අනාගතයේදි එවැන්නක් සිදු විය හැකි බැවිනි.
එ.ජා.ප.ය. මීට පෙරද යම් යම් අවස්ථාවලදී අන්ත පරාජයන්ට මුහුණ දී තිබේ. 1956 සහ 1970යන වර්ෂ වල පැවැති මහ මැතිවරණ ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. එ.ජා.ප.ය 1956 දී ආසන 08 ට බැස්සේය. 1970 දී ආසන 16 ට බැස්සේය. එහෙත් එම පරාජයේ සුන්බුන් අතරින් නැඟී සිටි ෆිනික්ස් කුරුල්ලා මෙන් යළි ජනතාව අතර ඉතා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට එ.ජා.ප.ය.ට හැකිවිය.
කෙසේ වෙතත් මෙවර එ.ජා.ප.ය ලබා ඇති අපකීර්තිමත් පරාජය හමුවේ පක්ෂයට එවැනි ප්‍රාතිහාරයක් පෑමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිතය. අප එසේ කියන්නේ 2020 මහ මැතිවරණයෙන් තමන් ලබා ඇති අන්ත පරාජයත් සමඟ පක්ෂයට ලැබී ඇති එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පවා සුදුස්සකු පත් කර ගැනීමට නොහැකිව තිබෙන බැවිනි. එය අතිශයින්ම කනගාටුවට කරුණකි.
එය එසේ වන්නට ඇත්තේ එ. ජා. ප යේ වත්මන් නායක කාරකාදීන්ගේ සිත් තුළ පක්ෂය පිළිබඳව ඇති ඇල්මට වඩා නායකත්වයට ඇති කෑදර කම මුල් තැනක් ගෙන ඇති නිසා විය හැකිය. පක්ෂයට හෙන ගැසී ගියත් පක්ෂ නායකත්වයට රැක ගැනීම එම නායක කාරකාදීන්ගේ අරමුණයි. එය කවරකුට වුවද පෙනෙන පැහැදිලි සත්‍යයකි.
අතීතයේ විසු එ.ජා.ප නායක කාරකාදීන් ගේ අරමුණ වූයේ ජනතාව පක්ෂය වටා ඒකරාශි කරගෙන පක්ෂය දිනවීමය. පක්ෂය දිනූ විට පාක්ෂිකයන්ද ජයග්‍රහණය කරන බව එදා සිටි පක්ෂ නායකයෝ දැන සිටියහ. ඒ ඔවුන් තුළ තිබෙන පක්ෂ හැඟීම නිසාය.
දිවංගත ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල සහ ජේ.ආර්. ජයවර්ධන වැනි කීර්තිමත් නායක කාරකාදීන් ගේ ඒකායන අරමුණ වූයේ පරාජිතව ඇද වැටුණු එ.ජා.ප.ය යළි ඉහළට ඔසවා තැබීමය. පක්ෂය සුරක්ෂිත කරවීම සඳහා ඔවුහු බොහෝ පරිත්‍යාගයන් කර තිබුණහ. එහෙත් වත්මන් එ.ජා.ප නායකයන්ගේ ප්‍රධානතම අරමුණ පක්ෂය දිනවීම නොව තමන්ගේ පක්ෂ නායකත්වය රැක ගැනීමයි.
ඕනෑම දේශපාලන පක්ෂයක් වටා ජනතාව පෙළ ගැසෙන්නේ නායකත්වයේ ඇති ආකර්ෂණය මතය. පක්ෂ නායකත්වය දුර්වල වූ විට හෝ ඔහු කෙරේ ඇති විශ්වාසය පළුදු වූ විට ජනතාව එම පක්ෂය හැර දමා යාම අනිවාර්යෙන්ම සිදු වන්නකි . අතීතයේ දැවැන්ත දේශපාලන පක්ෂයක් වූ එ.ජා.ප.ය වර්තමානයේ මුහුණ දී ඇත්තේ ද ඊට සමාන සිදුවීමකටය. එහෙත් නායක කාරකාදීන්ට ඒ ගැන වගේ වගක් නැත. ඔවුන්ට අවශ්‍ය පක්ෂයට හෙණ ගැසී ගියත් තමන්ගේ නායකත්වය අඛණ්ඩව රැක ගැනීමටයි. ඕනෑම පක්ෂ නායකයෙකු නිරතුරුව උත්සාහ කරන්නේ තම පක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව එකකින් හෝ වැඩි දියුණු කර ගැනීමට වුවද වත්මන් එ.ජා.ප නායකත්වයට එවැනි අවශ්‍යතාවයක් නොමැති වීමද පක්ෂයේ පිරිහීමට මුල් වු තවත් ප්‍රබල හේතුවකි.
වත්මන් එ.ජා.ප නායකයාට ජාත්‍යන්තර වශයෙන් ඉතා හොඳ සම්බන්ධතා ජාලයක් තිබෙන බව වැඩි දෙනෙකු ගේ පිළිගැනීමයි. අපටද ඒ ගැන කිසිදු සැකයක් නැත. එහෙත් බරපතළම ප්‍රශ්නය වන්නේ එතරම් විශිෂ්ට සම්බන්ධතා ජාලයක් ඇති වත්මන් එ.ජා.ප නායකත්වයට දේශීය ජනතාව සමඟ ඇති සම්බන්ධතාව කෙරෙහි ඇති නොසැලකිල්ලයි.
ඉහත සඳහන් කරුණ මෙතෙක් කලක් පැවතුනේ ඕපාදූපයක් වශයෙනි. එසේ වුවද ඉකුත් මහ මැතිවරණයේ ප්‍රථිඵල ලේඛනය අනුව ඒ බව ප්‍රසිද්ධියේම සනාථ වී තිබේ. ඒ අඩුම වශයෙන් එ.ජා.ප නායකයාටවත් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වීමට අවශ්‍ය අවම මනාප සංඛ්‍යාව පවා ලබා ගැනීමට නොහැකි වී ඇති බැවිනි. අනෙක් අතට 2001 මහ මැතිවරණයේදි මෙරට බහුතර ජනතාව එ. ජා. ප. යට ආණ්ඩු බලය ලබා දෙන ලද්දේ මන්ත්‍රී ධුර 109 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනි. එහෙත් මෙරට ජනතව විසින් බන්දේසියක තබා පිරිනමන ලද ආණ්ඩු බලය රැක ගැනීමට එ.ජා.ප නායකත්වයට නොහැකි විය. එ.ජා.ප ආණ්ඩුවට වසර දෙකහමාරක් ගතවීමටත් මත්තෙන් චන්ද්‍රිකා ජනාධිපතිනිය සතු විධායක බලය යොදවා විසුරුවා හැරියාය.
තමන් හමුවේ පවතින අනතුර පිළිබඳව කල්තියා ඉව වැටුණු එස්. බී දිසානායක, රාජිත සේනාරත්න සහ මහින්ද විජේසේකර එම ආණ්ඩුවේ ඇමතිවරුන් චන්ද්‍රිකා ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස කරන ලද යෝජනාවද එ.ජා.ප නායකත්වය විසින් ඉවත දැමුවේය. අන්තිමේදි සිදු වූයේ චන්ද්‍රිකා මැතිනිය තමන් සතු විධායක බලතල යොදා ගනිමින් එ. ජා. ප ආණ්ඩුව විසුරුවා හැරීමය. එලෙස ආණ්ඩුව විසිරුවා හැරීමට පෙර එස්. බීලා සහ රාජිතලා යෝජනා කළ පරිදි චන්ද්‍රිකා ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා නම් ජනාධිපතිනිය අකර්මණ්‍ය වන අතර එහි ඊළඟ ප්‍රතිඵලය වනුයේ චන්ද්‍රිකා මැතිනියට තම විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එවැනි තත්ත්වයක් ඇති වූවා නම් තමන් සතු ආණ්ඩු බලයද සහිතව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එ.ජා.ප නායකත්වයට ඕනෑ තරම් ඉඩ තිබුණේය. එහෙත් නායකත්වයේ බොළද කම නිසා එම අවස්ථාව ගිලිහී ගියේය.
එම සිද්ධියෙන් පවා පැහැදිලි වන්නේ එ.ජා.ප නායකත්වයට ජාත්‍යන්තර සබඳතා කොතෙකුත් තිබුණද මෙරට දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රායෝගික දැනුමක් නැති බවයි. දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වන සුළි කුණාටු සහ විවිධ චලනයන් පිළිබඳව විනිවිද දැකිය හැකි, දැක්මක් සාර්ථක දේහපාලඥයකුට අනිවාර්යෙන්ම තිබිය යුතුය. එබඳු දැක්මක් නොමැති පක්ෂ නායකයකුට සිදුවන්නේ දේශපාලන වැලි කතරේ අතර මංවීමටය. එ.ජා.ප.යේ වර්තමාන නායකත්වයටද සිදු වී ඇත්තේ 1994 සිට මේ දක්වා සිට මේ දක්වා වූ වසර 26 ම එලෙස හසරක් නොදැන වල්මත් වීමට ගතවූ කාලය තුළ සිදුවූ විවිධ හැල හැප්පීම් වලින් ද පැහැදිලි වේ.
එහි ඇති අවාසනාවන්ත තත්ත්වය වන්නේ එ.ජා.ප ය වත්මන් නායකත්වය යටතට පත්ව ගතවූ වසර 26 ක කාලය පුරාම වල්මත් වි සිටීමට සමස්ත එ. ජා. පාක්ෂිකත්වයටම සිදු වීමයි. කලකට ඉහත මේ රටේ දැවැන්ත දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ එ. ජා. ප. ය වර්තමානයේ මුහුණ පා තිබෙන තත්ත්වය අතිශයින් ඛේදජනකය. වර්තමානයේ එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති එකම එක මන්ත්‍රී ධූරයට පවා සුදුස්සකු පත්කර ගැනීමට නොහැකිව එම පක්ෂයේ නායක කාරකාදින් විසින් කරනු ලබන හෙයින් මාරුවෙන්ම අද එ. ජා. ප ය වැටී ඇති තත්ත්වයේ තරම පැහැදිලි වේ.
මේ වන විට මුළුමනින්ම විහිළුවක් බවට පත් වී ඇති එ.ජා.ප ය නිසා අද සුළු වශයෙන් හෝ ප්‍රයෝජනයක් , යහපතක් සිදූවි ඇත්තේ මෙරට පුවත් පත් වල සේවය කරන කාටූන් ශිල්පීන්ට නැතහොත් විවිධ නම් වලින් හැඳින්වෙන වෙබ් අඩවි සංස්කාරවරුන්ට ය. ඒ මෙරට පමණක් නොව විදේශයන්හි වෙසෙන ශ්‍රි ලාංකික ජනතාවගේ පවා හාස්‍ය රසය කුළුගැන්වෙන අන්දමේ රසවත් මාතෘකා ඔවුන්ට එ.ජා.ප ය තුළින් ඕනෑතරම් සපයා ගත හැකි බැවිනි. එ.ජා.ප ය අද පත් වී සිටින මේ අවාසනාවන්ත තත්ත්වය අතීතයේ විසු එ.ජා.ප නායකයන්ගේ ප්‍රෞඩත්වයට පවා බලවත් නිගරුවකි.