හිත ගත ලෙඩ කරන තරබාරුව | සිළුමිණ

හිත ගත ලෙඩ කරන තරබාරුව

කොවිඩ් 19 වසංගතය නිසා ලැබුණු දීර්ඝ නිවාඩුව තුළ බොහෝ දෙනකු නිවසේ සිට පවුලේ අයත් එක්ක එකතු වෙලා එක එක කෑම ජාතිවල රස බලන්න වැඩි කාලයක් වැය කළ බව රහසක් නෙවෙයි. ඒ විදිහට කෑම කාලා දැන් ගොඩක් දෙනෙකුගේ සිරුරේ බර රතු කට්ට පැනලා කියලා තේරෙන්නේ ඉස්සර ඇඳපු ඇඳුම් වැඩි හරියක් දැන් අඳින්න බැරි බව දැනුණාමයි. සිරුරේ බර වැඩි වීමත් සමඟ නිරෝගී බවත් ඈතට යන බව කවුරුත් දන්නා කරුණක්. බොහෝ දෙනකුගේ ගතටත් සිතටත් පීඩා ගෙන දෙන තරබාරුව මට්ටු කරන ආකාරය ගැනයි මෙවර දැනුම්වත් කිරීම.

ලෙඩ නැති සිහින්, හැඩැති සිරුරකට අපි කවුරුත් ආසයි. කවුරු හරි කිව්වොත් “ ඔයා දැන් මහත් වෙලා කැත වෙලා” කියලා හිතට පොඩ්ඩක් දුකයි නේද? මේ තත්ත්වය ඔබගේ බාහිර පෙනුම වෙනස් කරනවා විතරක් නෙවේ අභ්‍යන්තරවත් ඔබ රෝගීයකු කරවනවා. ඒ තත්ත්වය නම් ටිකක් භයානකයි.

දියවැඩියාව, හෘද රෝග, රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම, ශ්වසන ආශ්‍රිත රෝග, අම්ලපිත්තය (ගැස්ට්‍රයීටීස්), අක්මාවේ මේදය තැන්පත් වීම, සන්ධිගත රෝග, පිළිකා( විශේෂයෙන් පියයුරු, ගර්භාෂ හා අන්ත්‍රගත) මානසික රෝග, මානසික ආතතිය, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග, මලබද්ධය, ප්‍රසවයේ දී ඇතිවන සංකූලතා, හර්නියා ආදී රෝග වැලඳීමේ ඉඩ වැඩි කරනවා පමණක් නොව ස්ථුලතාවය නිසා ඉක්මනින් රෝග වැලඳීමට ඇති හැකියාවද ඉහළ යනවා.

ස්ථුලතාවය හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. ඔබටම එය හඳුනාගත හැකියි. ශරීර ස්කන්ධ දර්ශක අගය(BMI) යනු පුද්ගලයකුගේ බර ඔහුගේ උසෙහි වර්ගයට දක්වන අනුපාතයයි. ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම සඳහා කළ යුතු වන්නේ ඔබේ බර, උසෙහි වර්ගයෙන් බෙදීමය. එහි දී උස මීටර්වලින් ද බර කිලෝග්‍රෑම්වලින් ද මැනගත යුතුය. නිරෝගී අයකුගේ BMI අගය 18 ත් 25 ත් අතර අගයක තිබිය යුතුයි.

සිරුර අධිකව මහත් වීමට හේතුව වන්නේ තමා වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා කෑම ගැනීම, අධික තෙල්, සීනි හා පිටි ආහාර වැඩිපුර කෑමට එක්කර ගැනීම තුළින් ශක්තිය මේදය වශයෙන් සිරුරේ තැන්පත් වීමයි. ඒ වගේම කුසට ඇති වුවත් හිතට මදි වීම තුළ තව තව කෑමට ගිජු වීම, දිරවීමට කල්ගත වන කෑම ආහාරයට ගැනීම, කිරි ආශ්‍රිත නිෂ්පාදන නිතර ආහාරයට ගැනීම, පළමුව ගත් කෑම දිරවීමටත් පෙර නැවත නැවත කෑම සහ තේ වේලාවේදිත් ආහාර ගැනීම වැනි පුරුදු නිසා සිරුර තරබාරු වනවා.

ඒ වගේම තමයි හොඳින් ආහාර ගැනීමෙන් පසු දවල් කාලයේ හොඳ නින්දක් ලබාගැනීම, ආහාර ගැනීමෙන් පසු සිරුරට කිසිම ව්‍යායාමයක් නැතුව එක තැන හිඳීම ආදිය නිසාද සිරුර තරබාරු වනවා. බයිසිකල් පැදීම, දිවීම, ඇවිදීම, යෝග ව්‍යායාම, පඩිපෙළ භාවිතය වැනි සරල ව්‍යායාම කිරීමට පෙලඹේ නම් මෙම තත්ත්වය වළක්වා ගත හැකියි.

වැඩිහිටියන්ට වගේම පොඩිත්තන්ටත් මේ තත්ත්වය එකලෙස බලපානවා. වත්මන් ළමා පරපුර අතර දියවැඩියාව, පිළිකා, අධි රුධිර පීඩනය, මානසික පීඩනය, මලබද්ධය වැනි රෝග බහුල රෝග බවට පත්ව තිබෙනවා. ඒ වගේම පාරම්පරික ස්ථූලත්වය ඇතිවන අවස්ථාද තියෙනවා. හෝර්මෝන වර්ග වෙනස් වීම නිසාද එම තත්ත්වය ඇතිවිය හැකියි. (උදාහරණ: තයිරොක්සින් හෝමෝනය අඩු වීම)

ඇතැම් අය ව්‍යායාම මංතීරුවල ඇවිදින අතර ඒ දෙපස තියෙන කඩවලින් කඩල, කෘත්‍රිම පාන වර්ග අනුභව කරමින් ඇවිදීම දැන් විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඒ ක්‍රමය තුළින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා නරක ප්‍රතිඵලයක් ළඟාවිය හැකියි.

තරබාරුව මට්ටු කිරීමට කැමති ඔබ කුමන අවස්ථාවකදීවත් ප්‍රධාන කෑම වේල් 3 මගහරින්න එපා. එක කෑම වේලක් මගහැර අනෙක් ආහාරවේල් කෑමට ගැනීම තුළ වැඩිපුර කෑමට පෙලඹීම තුළින් ඔබ තවත් ස්ථූල විය හැකියි. එම නිසා සමබර ආහාර රටාවක් සකසා ගන්න. එදිනෙදා ආහාර වේල්වලට බත් ස්වල්පයක් සහ එළවළු, පලා, පලතුරු, මාළු කෑල්ලක්, ධාන්‍ය වර්ග යනාදිය එක්කර ගන්න.

ඒ වගේම ආහාර වේලකට පැය භාගයකට පෙර ජලය පානය කරන්න. එමගින් බඩගින්න අඩු වී ගත හැකි ආහාර ප්‍රමාණය අඩු වනවා.

හැකිතරම් ගෙවත්තේ වවාගත් ආහාර කෑමට ගන්න.ආහාරයට ගොරකා, කරපිංචා, සූදුරු, සුදු ලූනු වැඩිපුර එකතු කරගන්න.කුරක්කන්, කොල්ලු ආදිය ආහාරයට ගැනීම ඉතා යෝග්‍යයි.

විශේෂයෙන් වෙළෙඳපොළේ තිබෙන තරබාරුව මට්ටු කරන පෝෂණ අතිරේක ගැනීම නම් නුවණට හුරු නැහැ. නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තුළින් තරබාරුවට තිත තියන්න හැකියාවක් තිබෙනවා. අවශ්‍ය වන්නේ ඔබේ කට ප්‍රවේශම් කරගැනීමයි.

උපදෙස්  - ආයුර්වේද වෛද්‍ය වාසනා සමරවික්‍රම

Comments