වසන්තය ආයෙමත් ඇවිදින්... | සිළුමිණ

වසන්තය ආයෙමත් ඇවිදින්...

ඔවුන් දැන් ගෙවන්නේ ජීවිතයේ මැදි වියයි. ඔවුන් සිතෙන් බැඳුණේ යොවුන් වියේදිය. කුමක් හෝ හේතුවක් නිසා එක කැඳැල්ලකට වී වසර කිහිපයකින් දෙදෙනා දෙපසකට වුයේ එක ගෙයි විසීමට බැරි බව අවබෝධ කරගෙනය. කාලය ගෙවිණි. නමුදු ඉදහිට ඔවුහු හමුවේ. ඒ හමුවීම ඇනුම් බැණුම් පිරි හමු වීමක් නොවේ. සුහද හමු වීමකි. ඇතැම් විටෙක ඒ හමු වීම අවසානයේ ඇයත් ඔහුත් අසන්නේ ඇයි අප වෙන් වුයේ කියාය. අදත් ආදරය හිතේ තිබියදි වෙන් වී දිවි ගෙවන්නේ ඇයි දැයි ඔවුන්වත් නොදනී.

“අපි කවදාවත් ආයේ එක වහළක් යටට එන්න ඕන කියලා හිතන්නේ නැහැ. අපි අතර මත ගැටුම් තිබුණා. හිත් රිඳුම් තිබුණා. ඒත් අපි වෙන් වුණේ ආදරය නැතිව නෙමෙයි. අදත් අපි හමුවෙනවා. අපි අපි ගැන හිතනවා. ජීවිතේ ලොකු ප්‍රාර්ථනා නැහැ. හමුවෙලා කතා බහ කරලා වෙන්වෙලා යනවා. අපිට දැනෙන්නේ නැහැ අපි වයසට ගියා කියලා. “ ඔහු දිනෙක පැවැසුවේ බොහෝ හැඟුම්බරවය. කුමක් හෝ හේතුවක් නිසා වෙන් වුවද ඔවුන් තාමත් ඔවුන්ගේ ලෝකයේ ජීවත් වේ. හමු වුණ විට අතීතය ගැන රස බර කතා සිහිකරයි. හෙටක් නැති ඔවුහු මේ මොහොතේ ජීවත් වේ. ඒ ඔවුන්ගේ ජීවිතයයි. මෙවන් ජීවිත සමාජය තුළ තවත් අපට හමුවේ.

එවන් අත්දැකිම් කිසිදා වියපත් නොවන ප්‍රේමයක් ගැන ලියැවුණ මේ ගීතය අසන්නට ලැබුණේ පසුගියදාකය. එය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද අමරසිරි පීරිස් හා නවපරපුරේ ගායන ශිල්පිනි උමාරා සිංහවංශයි. ගී පද වෛද්‍ය ප්‍රභාකුමාර රාජගුරුගේය.

“සොඳුරු ගංගාධාරයේ

සඳ තෙමෙන හැන්දෑ යාමයේ

ආදරේ පින්සල් තුඩින්

අපි ඇන්ද රේඛා ආකහේ

එදා වාගෙම මවයි නව රූ ජීවිතේ....

 

ගීතයේ මතුපිටින් බැලු විට ගීතය අසන අපට දැනෙන්නේ පෙර සඳහන් කළ පෙම්වතුන්ගේ කතාව වැනි කතාවකි. නමුදු එහි පද රචතකයා පවසන්නේ මීට වඩා වෙනස් කතාවකි.

“කවුරුත් දකින්නේ මෙය ප්‍රේම ගීතයක් ලෙසින්. ඒක ඇත්ත මෙය ප්‍රේම ගීතයක්. නමුත් මෙහි මතුපිට අරුතට වඩා වෙනත් අර්ථයක් මේ පද අතර තිබෙනවා. මට හැම විටම සිහිවෙන දෙයක් බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙනවා. තමන් ගැන සොයන්න අනුන් ගැන නොසොයන්න කියලා. නමුත් අද සමාජයේ එහෙම වෙන්නේ නැහැ. අපි කරන කියන දේවල් තමයි අපිත් එක්ක එන්නේ. අතීතය ප්‍රතිනිර්මාණය වීමයි වෙන්නේ.

 

“මඟතොටේ හමුවන තුරා අප

ඇවිද ආ මඟ තනිවෙලා

මඳක් නැවති බලා ඉමු අපි

අපේ හැඩහුරුකම් සොයා...

 

“ මේ දෙවැනි පද පෙළ ලිව්වේ ඒ අරුතින්. මම ප්‍රේම ගී ලියා නොතිබෙන තරම්. මගේ බිරිය මට නිතරම කිව්ව දෙයක් තමයි ප්‍රේම ගීතයක් ලියන්න කියලා. මේ ඇගේ ඉල්ලීම ඉටුකිරිමක් කිව්වොත් වඩාත් හොඳයි. ශල්‍ය වෛද්‍ය නිලංග පෙරේරා හා මම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ කලක් සේවය කළා. ඒ දැන හඳුනාගැනීම අදටත් අප අතර තිබෙනවා. ඔහු දවසක් මට කිව්වා උමාරා වෙනුවෙන් ගීතයක් ලියලා දෙන්න කියලා. පසුව මම මේ ගීතය ලියලා නිලංග සර්ට දුන්නා. ඉන් පසුව අමරසිරි පීරිස් මහතාට ඔවුන්ව සම්බන්ධ කර දුන්නා. මා කළේ එපමණයි. “

අරලගංවිල වැනි දුෂ්කර පෙදෙසක, ඉපිද ගහේ වැලේ ඇළේ දොළේ වෙලේ දුව පැන ඇවිද පරිසරය විදිමෙන් ලද අත්දැකිම් ඇසුරෙන් සොඳුරු ගී පද ලියන ඔහු ගීතය ගැන පැවැසුවේ එසේය.

රසික සිත් ඇද බැඳ ගන්නා ඒ හඬ තවමත් තරුණය. සොඳුරු ගංගාධාරයේ..... ඒ පද ඔහු ගයන්නේ වෙනත් ගීතවල නැති තරමේ ප්‍රබෝධමත් බවකිනි.. උමාරාගේ හඬ ද ඊටම ගැළපේ. ගීතයේ සංගීත නිර්මාණය කළ අරුණ, තම සංගීත දිවියේ වෙනස් මඟක් ගත් අලුත් නිර්මාණය ගැන පවසන්නේ මෙලෙසිනි.

“මෙය මට අලුත් අත්දැකීමක්. මේ අපුරු පද පෙළට මම සංගීතය නිර්මාණය කරලා ඒ සඳහා යොදා ගත්තේ අපට සිටින දක්ෂම වාද්‍ය ශිල්පීන්. මම එක් තැනකදි යොදා ගත්තේ වයලීන වාදනයක්. නමුත් අමරසිරි සර් කිව්වා ඒතැනට හරියන්නේ වියෝලය කියලා. අමරසිරි සර්ගේ ගෙදරින් වියෝලාව ගෙනාවා. අමරසිරි සර්ම තමයි මේ ගීතයට වියෝලාව වාදනය කළේ. මම හිතන්නේ සර් සෑහෙන කාලෙකට පස්සේ වියෝලාව වාදනය කළේ. සර් පුදුම විදිහට මේ ගීතය වෙනුවෙන් කැපවුණා. උමාරා හා අමරසිරි සර් මේ ගීතය ගැයුවේ එකට.

මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මා සමඟ කටයුතු කළ සියලුම සංගීත ශිල්පීන්ට සහ මෙයට දායක වූ සැමට. ඒ හැමගේම දායකත්වය කැපවීම නිසයි අපට සොඳුරු ගංගාධාරයේ ගීතය සාර්ථක නිර්මාණයක් ලෙස ශ්‍රාවකයා අතරට ගේන්න පුළුවන් වුණේ. අරුණ එසේ පවසන විට අමරසිරි ගායනවේදියා ද නව නිර්මාණය ගැන කතා කළේ බොහෝ සතුටිනි.

වෛද්‍ය නිලංග සමඟ උමාරා අපේ නිවෙසට ආවා. මම ඊට පෙර ඇගේ ගායනා අසා තිබෙනවා. ඇය දක්ෂයි. වෛද්‍ය ප්‍රභාකුමාර මීට පෙර ලියු ගීත කිහිපයක්ම මා ගායනා කර තිබෙනවා. මේ පද පෙළ දැක්කාම මා එයට කැමති වුණා. අරුණ දක්ෂයෙක්. අරුණගේ සංගීතය බොහෝම අගෙයි. මේ ගීතයේ එක් තැනක වයලීන වාදනයක් තියෙන්නේ. නමුත් එතැනට සුදුසු වියෝලා පාට් එකක්. මම කාලෙකට පස්සේ වියෝලාව වාදනය කළා. හැමෝගෙම දායකත්වය ඇතිව සාර්ථක කලා කෘතියක් කරන්න ලැබුණා කියන සතුට තියෙනවා. ඔහු පැවැසුවේ නිහතමානිවය.

Comments