තේ බෑග් එකෙනුත් ලස්සන වෙන්න පුළුවන් | සිළුමිණ

තේ බෑග් එකෙනුත් ලස්සන වෙන්න පුළුවන්

රසවත් තේ කෝප්පයක් කියන්නේම විඩාව නිවන ප්‍රබෝධවත් පානයක්. තේ එකක් හදාගන්න පාවිච්චි කළ තේ බෑගයකින් (Tea Bag)තේ පානයක රස විඳිනවාට අමතරව තවත් ප්‍රයෝජන රැසක් ලබාගත හැකියි. ඒ රූපලාවණ්‍ය සත්කාරක මෙන්ම නිවසේ එදිනෙදා අවශ්‍යතාවලටත් තේ බෑග් යොදා ගන්න පුළුවන්.

හිරු කිරණට දිගු වෙලාවක් නිරාවරණය වීමෙන් පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තේ බෑග් උපකාර කරගත හැකියි. මඳ උණුසුම් ජලයට තේ බෑගයක් දමා එය තුළට මඳ වේලාවක් දෙපා දමාගෙන සිටීමෙන් පාදවල ඇති දුගඳ නැතිවනවා සේම සමේ රෝගද සුව කරගත හැකියි. නෑමේදී වූවත් එම ජලයට තේ බෑග් කිහිපයක් දමා ගත හැකි නම් එයින් මුළු සිරුරම සමේ රෝගවලින් ආරක්ෂා කර නැවුම්ව තබා ගැනීමට පවා හැකියි. නිදිවැරීම නිසා ඔබේ ඇස් ඉදිමී, ඇස් වටා අඳුරු පැහැ වීම වෙහෙසකර ස්වභාවයක් ගැනීම නිතර සිදුවන්නක්. එවැනි අවස්ථාවකදී භාවිත කරන ලද තේ බෑග් දෙකක් පියාගත් දෑස් මත තබන්න. ඉක්මනින් සහනයක් සැලසේවි. දත් කැක්කුමටත් ඉවතලන තේ බෑග් එකක් මඳ වේලාවක් කට තුළ තබා ගැනීමේන් ඒ වේදනාව අඩු වන බව ඔබ නොදැන සිටින්නත් ඇති.

දවස පුරා පැලඳ සිටීම නිසා ඔබේ සපත්තුවලට ද, අල්මාරියේ තිබෙන ඇඳුම්වලට ද නැවුම් සුවඳක් රඳවා ගැනීම සඳහා භාවිත කරන ලද තේ බෑග් දෙකක් සපත්තු තුළට ද, අල්මාරියේ දොරවලද එල්ලා තබන්න. තුවාල, සීරීම්, ආසාදන මෙන්ම මදුරුවන් වැනි සතුන් දෂ්ට කරනු ලැබූ ස්ථානවල භාවිත කරන ලද තේ බෑග් ඇතිල්ලීමෙන් පහසුවෙන් එම අපහසුතා දුරු කර ගැනීමට හැකියාව ලැබේ. මියන් මකුළුවන් වැනි සතුන්ගේන් වන කරදරවලින් මිදෙන්න ක්‍රමයක් ලෙසද තේ කොළ භාවිත කරන්නත් පුළුවන්. මියන් මකුළුවන් ගැවසෙන ස්ථානවල වියළි තේ තැබීමෙන් ඒ කරදරයෙන් මිදෙන්න පුළුවන්.

සමේ පිළිස්සුම් තුවාලයක් ඇති වූ විට ශීතකරණයේ ගබඩා කර තබා ගත් තේ බෑග් දෙකක් ගෙන එම ස්ථානයේ තැබීමෙන් ඉක්මන් සහනය සලසා ගත හැකියි. ඊට හේතුව තේ කුඩුවල ඇති කහට මඟින් සම මත ඇති පිළිස්සුම් වේදනා සමනය කරනු ලැබීමයි.

ඉවුම් පිහුම් කටයුතුවලදී දෑත්වලින් දුගඳක් හමනවා නම් භාවිත කළ ‍තේ බෑගයක් ගෙන එය ජලයට අල්ලා දෑත්වලින් හොඳින් මිරිකන්න. ඒ සඳහා මඳ උණුසුම් ජලය භාවිත කරන්නේ නම් වඩාත් සුදුසුයි. මින්පසු භාවිත කරන තේ බෑග් තේ පිළියෙල කිරීමෙන් පසු ඉවත නොදමා ශීතකරණයේ ගබඩා කර හෝ වියළීමෙන් අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගත හැකිය.

Comments