‘සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීම අපේ මන්ත්‍රීවරුන්ගේ එකම අරමුණයි’ | සිළුමිණ

‘සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීම අපේ මන්ත්‍රීවරුන්ගේ එකම අරමුණයි’

මෙවර මැති­ව­ර­ණයේ දී පැරණි දේශ­පා­ල­න­ඥ­යන් පර­දවා අලුත් අය පාර්ලි­මේ­න්තු­වට පත් කර තිබෙ­නවා. මේ ගැන මොන­වද හිතන්නේ?

ඇත්ත­ටම සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­නය වෙනස් කරන්න ජන­තාව තුළ ලොකු උන­න්දු­වක් තිබුණා.ඒ සඳහා ජන­තා­වට අව­ස්ථාව ලැබුණේ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ­පි­ළි­වෙල නිසයි. මොකද එතුමා විය­ත්මඟ සංවි­ධා­නය හරහා උගත් තරුණ කණ්ඩා­ය­මක් දේශ­පා­ල­න­යට හඳුන්වා දුන්නා. ඒ පිරිස අපේ ජන­තාව ආද­රෙන් පිළි­ගත්තා. ඒ නිසයි සම­හර දිස්ත්‍රි­ක්ක­වල පැරණි ප්‍රබ­ල­යන් පෙරලා ගෙන මේ අලුත් පිරිස වැඩි මනාප ලබා ගෙන තිබෙන්නේ. රට ගැන අලු­තින් හිතන්න ජව­යක් ඇතිව වැඩ කරන්න නිර්මා­ණා­ත්ම­කව වැඩ කරන්න මේ තරුණ මන්ත්‍රී­ව­රුන්ට පුළු­වන්. අපේ පැරණි දේශ­පා­ල­න­ඥ­යන් අලුත් කණ්ඩා­ය­මට හොඳ මඟ පෙන්වී­මක් කළොත් රට සීග්‍ර­යෙන් ගොඩ නඟන්න පුළු­වන් වෙයි.

ඔබේ ජය­ග්‍ර­හ­ණය ගැන ඔබ සතු­ටින්ද?

ඇත්ත­ටම ඔව්. මොකද අපේ පළා­තට මන්ත්‍රී­ව­ර­යෙක් හිටියේ නෑ. දැන් මම ඉන්නවා. මට පුළු­වන් මේ ප්‍රදේ­ශයේ ජන­තාව සමඟ ඔවුන් ගේ ප්‍රශ්න විසදා ගන්න උදව් කරන්න. මමත් අලු­තින්ම තමයි පාර්ලි­මේ­න්තු­වට පත් වුණේ. ඒ නිසා අපිට අලු­තින් හිතල අලුත් දෙයක් ජන­තාව හා රට වෙනු­වෙන් කරන්න පුළු­වන් කියල මම හිත­නවා.

අලුත් මුහුණු පාර්ලි­මේ­න්තු­වට ගියා කියල රටේත් ජන­තා­ව­ගේත් ප්‍රශ්න සම්පූ­ර්ණ­යෙන්ම විස­ඳන්න පුළු­වන්ද?

නෑ එහෙම කරන්න බෑ. අ පිට පැව­රුණ වග­කීම අපි ඉටු කරන ආකා­රය අනුව තමයි රටේත් ජන­තා­ව­ගෙත් ප්‍රශ්න විස­දන්න පුළු­වන් වෙන්නෙ. අනෙක මොන දේ කර­න්නත් අපි හැම­දෙ­නාම එක­තු­වෙලා රටේ ආර්ථි­කය ගොඩ නඟන්න ඕන. ඒ සඳහා අපි හැමෝ­ටම වග­කී­මක් තිබෙ­නවා. පළමු වට­යේදී රටේ ජන­තා­වත් හවුල් කර ගෙන ආර්ථික සංව­ර්ධ­නය සදහා අපි කැප වෙන්න ඕනෑ.

කවුරු හරි තමන් ගේ ගෙවත්තේ පැල­යක් හිට­ව­නවා නම් ඒකත් රටේ ආර්ථික සංව­ර්ධ­න­යට බල­පා­නවා. එහෙම හිතල මුළු රටම එකම වැඩ බිමක් සේ රටේ ආර්ථි­කය ගොඩ නඟන්න තම තමන් ඉන්න තැන්වල ඉඳ­ගෙන හැකි අයු­රින් දායක වෙන්න ඕන.

අලුත් ආණ්ඩු­වට තුනෙන් දෙකේ බල­යක් තිබෙන එක අන­ර්ථ­කාරි වෙන්න පුළු­වන් කියල මත­යක් තිබෙ­නවා. ඔබ මොන­වද ඒ ගැන කියන්නේ?

ජනා­ධි­පති⁣ ගෝඨා­භය රාජ­පක්ෂ හා අග­මැති මහින්ද රාජ­පක්ෂ සමඟ අපි මෙවර මැති­ව­ර­ණයේ දී තුනෙන් දෙකේ බල­යක් ඉල්ලුවේ අන­ර්ථ­කාරී 19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඉවත් කර­න්නයි. ජන­තාව අපේ ඉල්ලී­මට තමයි මේ ප්‍රති­චාර දක්වා තිබෙන්නේ. ජන­තාව දන්නවා රාජ­ප­ක්ෂ­වරු කව­දා­වත් බලය යොදා ගෙන ජන­තා­වට අන­ර්ථ­යක් කරන්නේ නෑ කියල. ඔබට මත­කද එදා ජේ.ආර්.ජය­ව­ර්ධන හයෙන් පහක බල­යක් ලබා ගෙන රටට කරපු විනා­ශය.අද­ටත් අපිට ඒ විනා­ශය නවත්වා ගන්න බැරි­වෙලා තියෙ­නවා.එවැනි රටට අහි­ත­කර ජන­තා­වට හානි­කර කිසි දෙයක් අපේ ආණ්ඩුව කරන්නේ නැ කියල අපිට විශ්වා­සයි.

අලුත් අමා­ත්‍යංශ සංයු­තිය පිළි­බ­ඳව ඔබ මොන­වද හිතන්නේ?

ඇත්ත­ටම කාලෙ­කට පස්සේ අපේ ඇමති මණ්ඩ­ල­යට ශ්‍රී ලාංකේය පද­න­මක් දැම්මා කිය­ලයි මට නම් හිතෙන්නේ. දේශිය නිෂ්පා­දන කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර අපේ නව අමාත්‍ය මණ්ඩ­ලය පත් කරල තියෙ­නවා. ඒ හැම දෙනා­ටම ඉලක්ක ගත වැඩ පිළි­වෙ­ළ­කුත් ලබා දීල තිබෙ­නවා. ඒ අනුව මේ ඇමැති මණ්ඩ­ලය කට­යුතු කළොත් අපිට අපේ රට කෙටි කාල­යක් තුල ලෝකයේ නමක් දිනා ගත් රටක් බවට පත් කරන්න පුළු­වන්. ජනා­ධි­පති දුන්නු ඉල­ක්කය සපුරා ගන්න නොහැකි වුණොත් ඒ තන­තුරු ආපසු ගන්න පසු­බට වෙන්නෙ නෑ කිය­ලත් ජනා­ධි­පති කියල තියෙ­නවා. ඒ නිසා ඉස්සර වාගේ ඇම­ති­කම් අර ගෙන රට සවාරි යන්න ලැබෙන්නෙ නෑ.

ගෝඨා­භය රාජ­පක්ෂ ජන­පති ඇතුලු රාජ­ප­ක්ෂ­වරු පස්දෙ­නෙක් අමාත්‍ය තන­තුරු දර­නවා. ඒ ගැනත් විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබ මොන­වද මේ ගැන කියන්නේ?

ඔබ කියන විදි­යට රාජ­ප­ක්ෂ­වරු තන­තුරු දරන්නේ ගෙදර නිදා ගෙන ඉදලා නින්දෙන් නැගි­ටලා ඇවිත් නොවෙයි නේ. මෙරටේ පැවැති තිස් අවු­රුදු යුද්ධය නිම කර රටට සාමය උදා­කර දුන් මහින්ද රාජ­පක්ෂ හා ගෝඨා­භය රාජ­පක්ෂ ⁣ලෝක ඉති­හා­ස­යට එක්ව ඇති වීරයෝ. ඔවුන් දැන් මෙරටේ රජ පවු­ලක්. හැබැයි ඒ රජ­කම උරු­ම­යට ලැබුණ එකක නොවෙයි; මේ රටට ආද­රය කරන නිසා ජන­තාව දුන්නු රජ­ක­මක්. 2015 දී ජන­තාව නොමඟ යවලා මහින්ද රාජ­පක්ෂ ගෙදර යවපු අය; පාර්ලි­මේ­න්තුවේ පස්සට දාල රාජ­පක්ෂ පවුල පාර්ලි­මේ­න්තුවේ ඉස්ස­ර­හට ගන්න ශක්තිය දුන්නේ ජන­තාව. ඒ නිසා ජනතා බල­යට චෝදනා කරන්න බෑ. ජනතා කැමත්ත තියෙන තාක්කල් රාජ­පක්ෂ පවුල මේ රටේ නායකකම් කරන එක නව­ත්වන්න කාට­වත් බෑ.

Comments