නිවී ගොස් ඇත්තේ එබඳු නැණ පහනකි | සිළුමිණ

නිවී ගොස් ඇත්තේ එබඳු නැණ පහනකි

සරත්චන්ද්‍ර ජයකොඩි

“අට මසක් පුරා පැවති ඉඩෝරය හමාර කරමින් මෝසම් වැසි සමය ඇරඹුණු සේය. සිවුපාවෝ ද පක්ෂිහු ද ජනයා ද ගලා හැලෙන වැසි දිය දහර නිසා සැනසුමක් ලදහ. මගේ සංඛ්‍යාලේඛන අනුව නියඟය නිසා මේ ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ ගණන 126 කි. මුළු දිස්ත්‍රික්කයේම ගවයන්ගේ සංඛ්‍යාව ගතහොත් දහස් ගණනක් විය හැකිය. එහෙත් ඊළඟ දෙසතිය පුරා වැසි පොදක් ගිලිහුනේ නැත. නැවත ද උෂ්ණත්වය ඉහළ නැංගේ ය. අගලක් පමණ මෝදු වූ මල් පොහොට්ටු මලානිකව අතුරුදහන් වන්නට වන. ඉක්බිති දින කිහිපයක් පැවතියේ ශාන්ත වාතාවරණයකි. සැතපුම් 90 ක පමණ වේගයෙන් හමන “කච්චන් මාරුතය” කෙළවර දුටු සේය. හාත්පස කුතුහලය දනවන නිහැඬියාවක් වැලඳ ගති. දැරිය නොහැකි වූ උණුසුම එළෙසින්ම යළිදු පැවතිණි. සුළඟ නිශ්චල විය.”

එක්දාස් නවසිය අසුව දශකය ආරම්භ වුයේ 60 -70 දශකයන්හි පෙරළිකාර මතවාද සමඟ හැදී වැඩුණු එමෙන්ම නව ලෝක දැනුමත් සමඟ මුහුකුරා යමින් සිටි බුද්ධිමතුන්ගේ දායකත්වයෙනි. අවාසනාවකට මෙන් ඒ දශකය අවසන් වුයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ඝාතකයන්ගේ භීෂණයේ රාත්‍රියක් විලසිනි. නක්සලයිට් යැයි හංවඩු ගසමින් තරුණ කොටස් නින්දනීය ලෙසින් මරා දැමුණු කාල වකවානුක් හැටියට ය. 80 දශකයේ තරුණයන් වන අපගේ තරුණ විය ගෙවී ගියේ එවන් විද්වතුන්ගේ ඇසුරත් අර කීව භීෂණයත් අතරිනි. කෙසේ වුව ඒ සමය පොහොසත් එමෙන්ම විද්වත් දෘෂ්ටිවාදයක් සහිත පුවත්පත් හා ග්‍රන්ථ සාහිත්‍යයක් ඇති කිරීමට ඒ විද්වත්හු කටයුතු කළහ.

සරත්චන්ද්‍ර ජයකොඩි යනු ද ඒ විද්වත් ප්‍රජාවගේම නියෝජනයකි. අප අතින් ඉහතින් උපුටා දැක්වුණේ විසිවන සියවස මුල් සමයේ මෙරට විසු ඩග්ලස් රැෆල් නම් ඉංග්‍රීසි ජාතිකයා අප රටේ දකුණු ලක වනගත පරිසරයක නේවාසිකව තමන් විඳි අත්දැකීම් අළලා ලියු “ඉන් රුහුණු ජංගල්” නම් කෘතියේ සිංහල පරිවර්තනයෙන් කොටසකි. එය “රුහුණු වන සැරිය” නමින් සරත්චන්ද්‍ර ජයකොඩි විසින් මුලින්ම ප්‍රධාන පෙළේ පුවත් පතකට කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. එකල පුවත්පත් එවැනි හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් එහාට ගිය පුවත්පත් විෂයයික සාහිත්‍යමය ප්‍රවේශයක් කරා යොමු කළේ එවැනි උගතුන් ය.

“එදින දරුණු ගිගුරුම් කුණාටු හා විදුලි කෙටීම් නොකඩවාම ඇති විය. මම යහනෙන් නැගී වැස්සේ සුන්දරත්වය නැරඹීමටත්, නැවුම් පොළොවෙන් නැගෙන සුගන්ධය ආඝ්‍රාණය කිරීමටත් පැමිණියෙමි. ජල ධාරා පොළොව මත හාත්පස ගලා යනු දිස් විය. කුරුල්ලෝ සියුම් මිහිරි නාද නැගූහ. වඳුරෝ පුරුදු හඬින් අඳුරේම සොම්නස පළ කළෝය. මේ ශ්‍රේෂ්ඨ අවස්ථාව රාත්‍රී ඇඳුමින් යුතුව පිළිගනිමින් නැවත නිදි යහනට පිවිසියෙමි. වේලාව අලුයම 3 ට පමණ ය. එදින රෑ ඉමක් කොනක් නැතිව වැස්සේ ය.”

මෙවැනි කියවීමක් භූගෝල විද්‍යාව මෙන්ම පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් උගන්නා සිසුන්ට පසුබිම් දැනුමක් නොම සපයන්නේ ද යන්න අධ්‍යාපනයක් ඇති අධ්‍යාපන බලධාරීන් කල්පනා කරන්නේ නම් මැනවි. තවද සාම්ප්‍රදායික නිර්දිෂ්ට කෘති පෙළම “පාරුකාරයාගේ උම්බලකඩය මෙන්” යළි යළිත් නිර්දේශ කරමින් භාෂා සාහිත්‍ය අධ්‍යයනය මෙලොවින් තුරන් නොකිරීමට කටයුතු කරන්නේ නම් මැනවි.

මෙරට පාසැල් සිසුන්ට වනගත අත්දැකීම් මෙන්ම කුරුල්ලන් කෑ ගසන හඬ පටිගත කොට අසන්නට සැලැස්වීමෙන් ඔවුන් වඩා පොහොසත් පුරවැසියන් බවට පත් කිරීමේ හැකියාව ගැන ද මෙහිලා පෙන්වා දීමට ඩග්ලස් රැෆල් වැනි විදේශිකයන් කටයුතු කොට තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමේ ඉඩ කඩක් පවතින බව ද ඒත් සමඟම පෙන්වා දෙනු ලැබ තිබේ. එවැනි නිර්මාණාත්මක නිර්දේශ වැනි කෘති සිය ද්වී භාෂා උගත්කමෙන් පරිවර්තනය කළ සරත්චන්ද්‍ර ජයකොඩි මෙන්ම එවැනි විරල විද්වත් ලේඛකයින් ගැන වීමංසනාත්මක හැදෑරීමක් අද නම් අවශ්‍යම ය.

“ලංකාවේ දෙමළිච්චන් සැම විටම සත් දෙනෙකුගෙන් යුත් රංචුවක් හැටියට හැසිරෙන බව ප්‍රකට කරුණකි. කවුරුත් ඒ බව දනිති. “සොහොයුරියන් සත් දෙනාගෙ රෑන” යනුවෙන් එය හැඳින්වේ. ඔවුහු සැමවිටම රෑනේ යථෝක්ත සංඛ්‍යාව එලෙසින්ම තබා ගැනීමට උත්සාහ දරති. එහෙත් ඔබ මේ කුරුලු රංචුවෙහි හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරුවෙහි ද? දිනපතා ඔවුන් මෙසේ රංචු ගැසී නාද නගන්නේ එකම වේලාවකට ය. එනම් පෙරවරු එකොළහේ සිට දොළහ වන තුරු ය.”

සරත්චන්ද්‍ර ජයකොඩි වැන්නවුන් එකල විදෙස් කෘති සිංහල බසට නැගුවේ ජාතික මට්ටමින් යුතුකමක්, අධ්‍යාපනික කාර්යභාරයක් ලෙසින් ද එය සලකා ය. ඒ අනුව එය කොහෙත්ම හුදෙක් වෙළඳ පොළ ඩැහැ ගැනීමේ සිල්ලර අවශ්‍යතා මත සිදු වූවක් නොවීය යනුවෙන් ද දත යුතුය. එවැනි නිර්ලජ්ජිත අරමුණු එකල සිටි සාහිත්‍යකරුවන්ට තිබුණේ නැති තරම්ය. එනිසාම ඔවුහු සැබෑ ලෙසින්ම ජාතියේ බුද්ධි වර්ධනය වෙනුවෙන් කටයුතු කළ වුන් වුහ. එසේ හෙයින් කාල සීමාවකින් තොරව අදටත් ඔවුන්ගේ කෘති ජාතික මට්ටමේ බුද්ධි වර්ධනයකට සුදුසු වන්නේ ය. තවද සිය දේශයේ සමාජ සංස්කෘතියේ වෙනස්වීම් හැදෑරීමට ද සුදුසු වන්නේ ය.

“කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් දෙවොල තුළ දකින්නට නොලැබුණි. මේ අති පාරිශුද්ධ දේවාලය තුළ ඇත්තේ ස්වර්ණමය මංජුසාවක බහාලු රන් පෙත්තකට සම වස්තුවක් හා යන්ත්‍රයක් පමණි. මේ යන්ත්‍රයෙහි දිව්‍යමය ශක්තිය ගැබ්කර ඇතැයි පැවසේ. දුටු ගැමුණු රජුගේ ජයග්‍රහණය හේතු කොටගෙන ඇරඹුණු ඇසළ පෙරහරෙහි පටන් වාර්ෂිකව පවත්වන පෙරහරෙහි මේ මංජුසාව කතරගම දේවාලයෙහි පටන් වල්ලි මාතා කෝවිල දක්වා රැගෙන ගියේය.

රාත්‍රියෙහි කෙරෙන මේ උපහාරයෙන් ඉක්බිති අලුයම කාලයෙහි යථෝක්ත ස්වර්ණමය මංජුසාව නැවත කතරගම දේවාලය කරා ගෙනයනු ලැබේ. අන් සියලු බලවේගයන් අබිබවා රුහුණු පුරවරයෙහි හාත්පස බල පවත්නේ කතරගම දෙවියන්ගේ බල මහිමයයි. ආඥා චක්‍රයයි. ඩී.ඩී.ටී. නිසා මැලේරියා වසංගත නිහඬ වන තුරු රෝගයන්ගෙන් ද දරුණු ව්‍යසනයන්ගෙන් ද රුහුණේ ගම්වැසියන්ගේ එකම විමුක්තිදායකයා වුයේ කතරගම දෙවිඳුන් ය. උග්‍ර නියඟය පවත්නා වූ ජුලි අගෝස්තු මාසයන්හි පැවැත්වෙන කතරගම පූජෝත්සවය සඳහා දහස් සංඛ්‍යාත ජනයා මේ පූජනීය භූමිය කරා පැමිණෙති. වන්දනාමාන කරති. පෙරහර ඔප්පු සිද්ධ කරති.”

“1948 නිදහස ලබන තෙක් ලංකාවේ අගමැති සහ කැබිනට් ඇමතිවරුන් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය පතා පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ළාබාල රාජ්‍යයක අභ්‍යුදය හා රටේ ප්‍රගතියට අදාළ යෝජනා ක්‍රමයන්හි සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමේ අපේක්ෂා පෙරදැරිව ය. බෞද්ධ හා හින්දු යන දෙපක්ෂයෙහිම නායකයෝ එසේ පැමිණියහ.”

සරත්චන්ද්‍ර ජයකොඩි සහිත්‍යකරුවෙකු වශයෙන් ගත් කල එකල පැවැති ප්‍රගතිශීලි මතවාදයන් සමඟ පැවතුණේ ඔවුන් සිය උරුමයෙන් ලද දේශ වාත්සල්‍යයේ ප්‍රගතිශීලිත්වය ද අත් නොහරින පසුබිමක ය. එසේ හෙයින් ඔවුන් හුදෙක් සීමාන්තික ඉගැන්වීම් හෝ කියැවීම් තුළ අතරමං වූ නරුමවාදීන් නොවීය. මේ ලිපිය මෙසේ ලියවුණේ ද ඒ නිසාම ය. මතු පරපුරට එවැනි මග පෙන්වීමක් ඇවැසි නිසා ය.

Comments