ලොව සමාජ දේශ­පා­ලන පෙර­ළි­ව­ලට මුල් වූ ප්‍රංශ මහා විප්ල­වය | සිළුමිණ

ලොව සමාජ දේශ­පා­ලන පෙර­ළි­ව­ලට මුල් වූ ප්‍රංශ මහා විප්ල­වය

ලෝක ඉති­හා­සය යනු ශ්‍රේෂ්ඨ විප්ල­ව­ව­ලින් පිරි ඉති­හා­ස­යකි. දරුණු ආඥා­දා­ය­ක­යන්ගේ කුරිරු පීඩ­න­යෙන් ගැල­වීම පිණිස දියත් වූ ඒ සෑම විප්ල­ව­යක දී ම බොහෝ ප්‍රග­ති­ශී­ලීහු තම ජීවිත පූජා කළහ. එම අස­හාය ජීවිත පූජා­ව­න්ගෙන් අලෝ­ක­වත් වූයේ එම විප්ලව දියත් වූ රට­වල පීඩිත ජන­තා­වගේ ජීවිත පම­ණක් නොවේ. එම විප්ල­වීය ජය­ග්‍ර­හ­ණ­ව­ලින් ආශ්වා­දය ලැබූ බොහෝ රට­වල පීඩිත ජන­තා­වගේ ජීවිත ද එම­ගින් ආලෝ­ක­වත් වූයේය.

ක්‍රි.ව. 1789 සිට 1799 දක්වා වසර 10ක් පුරා පැවති ප්‍රංශ විප්ල­වය ද එවැනි සමාජ හා දේශ­පා­ලන පෙර­ළි­යක් ඇති­කළ ශ්‍රේෂ්ඨ විප්ල­ව­යකි. එහි ආර­ම්භක වසර තුන තුළ දී  එරට වැඩ­ව­සම් ක්‍රමය, රදළ පංතියේ ආධි­ප­ත්‍යය හා ක්‍රිස්ති­යානි පල්ලියේ වර­ප්‍ර­සාද ඇතුළු බොහෝ සම්ප්‍ර­දා­යන් බුද්ධි විචා­ර­මය යුගයේ අද­හ­ස්ව­ලින් මෙන් ම, වාමාං­ශික අද­හස් ඇති දේශ­පා­ලන කණ්ඩා­යම් අතින් මහත් වෙන­ස­කට භාජ­නය    විය.

වර්ෂ 1756 සිට 1763 දක්වා පැවති අධි­රා­ජ්‍ය­වාදී යුද්ධ නිසා ප්‍රංශ භාණ්ඩා­ගා­රයේ මුදල් හිස් වෙන්නට පටන් ගත්තේ ය. රජු සහ රජුට පාක්ෂික අමා­ත්‍ය­වරු හිස්වන භාණ්ඩා­ගා­රය පුර­ව­න්නට අධි­ක­රණ සහ පරි­පා­ලන තන­තුරු රද­ළ­යන්ට විකි­ණී­මට පටන් ගත්හ.  ඒ නිසා, රටේ අල්ලස හා දූෂ­ණය වැඩි විය.  එසේ මුදල් ගෙවා තන­තුරු ලබා­ගත්  රදළ  පවුල් හාර­ද­හ­සක් පමණ වූයේය.

ධන­යට හිමි­කම් කියූ­වත්, බුද්ධි විචා­ර­මය යුගයේ අද­හ­ස්ව­ලින් පෝෂ­ණය  වූ රද­ළ­යන් මෙන්ම, පල්ලි­ය­ටත්, ආණ්ඩු­ව­ටත් බදු ගෙවී­මෙන් බදු  බරෙන් පීඩි­තව සිටි එරට මධ්‍යම පාංති­ක­යන්  සහ ගම්වැ­සි­යන්  විප්ල­වයේ හවු­ල්කා­රයෝ වූහ. ඔවුන් සටන් වැදුණේ බදු එකතු කිරීමේ අයි­තිය හිමි රදළ පංති­යට, රාජා­ණ්ඩු­වට හා පල්ලි­යට එරෙ­හිව ය.

වර්ෂ 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ පැතිර ගිය භීෂණ පාලන සමයේ නාය­ක­ත්වය දැරුවේ ප්‍රංශ විප්ල­වයේ පුරෝ­ගා­මි­යෙකු වූ මැක්සි­මි­ලි­යන් රොබෙ­ස්පි­යෙර් නමැත්තා ය. ජනතා විරෝ­ධීන් යනු­වෙන් හඳු­න්වන ලද  16,000ක්, 40,000 ක් අතර ජන­තා­වක් මේ සමයේ දී  මර­ණ­යට පත්කොට තිබේ. ප්‍රංශ යුද ඉති­හා­සයේ පැවති යුද්ධ­ව­ලින් කැපී පෙනුණු හමුදා නාය­ක­යෙක් වූයේ නැපෝ­ලි­යන් බොන­පාට් ය. ප්‍රංශ දේශ සීමා­වන් තුළ  කැඩී බිඳී ගොස් තිබුණු නීතිය නැව­තත් ස්ථාපිත කිරීම  සඳහා  ජන­තාව විසින් ඔහු එරට අධි­රා­ජයා වශ­යෙන් පත්කර ගන්නා ලදී.

වර්ෂ 1774 වන­විට  යුරෝ­පයේ ජන­ග­හ­ණ­යෙන් වැඩි ම,  සමෘ­ද්ධි­මත් ම රාජ්‍යය වූයේ ප්‍රංශ­යයි. එහි ජන­ග­හ­ණය මිලි­යන 25 ක් පමණ වූ අතර,  අග­නු­වර වූ පැරි­සිය යුරෝ­පයේ විශා­ල­තම නග­රය විය. පැරී­සියේ පම­ණක්   650,000 ක ජන­ග­හ­ණ­යක් වාසය කළෝය. මුළු ප්‍රංශයේ මහ­ජ­න­තාව පූජ­ක­යන්, රද­ළ­යන් සහ සාමාන්‍ය ජන­තාව ලෙස පංති තුන­කට අයත් වූහ.  තෙවැනි පංතිය වූ සාමාන්‍ය ජනයා තර­මක ආර්ථික වර්ධ­න­යක් අත්ක­ර­ගෙන සිටි­යද,  ඊට සරි­ලන දේශ­පා­ලන බල­යක්  හා සමා­ජ­යීය වැද­ග­ත්ක­මක්  ඔවු­නට නොති­බිණි. ඉහළ තන­තුරු දරන පූජ්‍ය පක්ෂය අයත් වූයේ, ධන­වත් රදළ පන්ති­ය­ටය. ආග­මික සංස්ථාවේ දුප්ප­තුන් වූයේ, ඉහළ තන­තුරු නැති බහු­තර පූජ­ක­ව­රුන් හා පල්ලි භාර­ක­රු­වන්ය. එකී  දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආග­මික නාය­ක­යන්ට එරෙ­හිව සම­තැන් ඉල්ලා විප්ල­වයේ දී විප්ල­ව­කා­රීන් හා එකතු වූහ.

ආර්ථි­ක­යෙන් ශක්ති­මත්, උගත්  සාහිත්‍ය කල්ලි මුණ­ගැ­සෙන අව­න්හල් පැරි­සියේ ගහණ විය. ප්‍රංශයේ දාර්ශ­නික හා සාහිත්‍ය හමු පැවැ­ත්වූයේ ඒවා­යෙ­හිය. රදළ නොවූ එහෙත් ධන­වත් හා උගත් පිරිස් “නිද­හස, සමා­නා­ත්ම­තා­වය හා සහෝ­ද­ර­ත්වය” ඉල්ලා සිටියේ,  තමන්ට ඉහ­ළින් වූ අය හා සමා­න­වී­මට මිස තමන්ට පහ­ළින් වූ අයට තමන් හා සමා­න­ව­න්නට ඉඩ­කඩ සලසා දීමට නොවේ.

රටේ සදා­චාර වර්ධ­න­යට පල්ලි­වල සහාය අපේක්ෂා කළ එරට පාල­කයෝ දිගින් දිග­ටම  ජන­තා­වගේ බදු මුද­ලින් පල්ලිය නඩත්තු කළෝය. මේ හේතු­වෙන් ආග­මික භක්ති­යන් 200,000 ක් පමණ රට හැර ගිය හ. ඒ, ප්‍රංශය හැර­ගිය පළමු සංක්‍ර­ම­ණික කණ්ඩා­ය­මය.  ප්‍රංශයේ දහ­සය වැනි ලුවී රජ රටක් පාල­නය කරන  අපේ­ක්ෂා­වෙන් සිටි කෙනෙකු නොවේ.  වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වූයේ, 1765 දී සිදු වූ සිය පියාගේ හදිසි  අභා­ව­යත්,  1774 දී සිදු වූ තම සීයාගේ අභා­ව­යත් නිසා ය.

ඔහු ජන­තාව විසින් තෝරා­පත් කර­ගනු ලබන ප්‍රාදේ­ශීය සභා­වන් පිහි­ටුවා රජ­යත්, ජන­තා­වත් අතර පැවති ගැටලු විස­ඳ­න්නට උත්සා­හ­යක් ගත්තේය. තමන් යටතේ සිටි වහ­ලුන් නිද­හස් කළේය. එහෙත්,  රද­ළ­යන්ට හා පූජ්‍ය පක්ෂ­යට වහල් සේව­ක­යන් තබා­ග­න්නට හැකිව තිබූ  අයි­තිය අහිමි නොක­ළේය. සාක්කි­ක­රු­වන්ට හා අප­රා­ධ­ක­රු­වන්ට වද­හිංසා කිරීම තහ­නම් කළේ ය. දුප්ප­තුන්ට 3% පොලි­යට ණය ලබා ගැනී­මට හැකි ස්ථාන ආරම්භ කළේ ය.

මේ අතර, බොහෝ රදළ පිරිස් වෝල්ටෙ­යාර් වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගත්හ. වෝල්ටෙ­යාර් යනු ආගම හා රජය වෙන්කළ යුතු යැයි කී දාර්ශ­නි­ක­යෙකි. සිය­ල්ල­න්ගේම නිද­හස් අයි­තීන් සුරැ­කිය යුතු යැයිද, කැමති ආග­මක් අද­හ­න්නට ඉඩක් තිබිය යුතු යැයිද,  අද­හස් ප්‍රකා­ශ­න­යට අව­ස­රය තිබිය යුතු යැයිද ප්‍රකාශ කළ විද්ව­තෙකි.

1789 ගිම්හා­නයේ දී ප්‍රංශ­යට උදා­වූයේ, නීති­යක් නැති භීෂණ සම­යකි.  ආහාර මංකො­ල්ල­ක­රු­වන් නිසා අධික ලෙස බියට පත්ව සිටි  එරට වැසියෝ  අවි ආයුධ අතට ගත්හ. මාස හයක් තුළ තුවක්කු 400,000 ක් පුර­වැ­සි­යන් සතු විණි. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුර­වැ­සියෝ,  බදු එකතු කර­න්නන්, වැඩ­ව­සම් රද­ළ­යන් ඇතුළු ඒකා­ධි­කා­රීන් යැයි තමන් සිතූ   සිය­ල්ලන්ට ම පහර දෙන්න­ටත්, කඩ සාප්පු  හා ගෙවල් ගිනි තබ­න්න­ටත් පටන් ගත් හ.

ප්‍රංශ විප්ල­වයේ පළමු අදි­යර වන්නේ රද­ළ­යන් දහ­සය වැනි ලුවී රජුට බදු ගෙවීම පැහැර හැරී­මය. එහි දෙවැනි අදි­යර යනු රජුගේ බල­තල සීමා කර­න්නට 1789 ජූනි 20 වැනි දා 'ටෙනිස් පිටියේ ගිවි­සුම' ප්‍රකා­ශ­යට පත්කර සම්මත කර­ගැ­නී­මය. එදින රැස් වූ තෙවැනි තලයේ සාමා­ජි­ක­යන් 577 දෙනා­ගෙන් 576 ක් ඊට අත්සන් තැබූ අතර, ඊට අත්සන් නොතැබූ එකම පුද්ග­ලයා වූයේ ජෝශප් මාටින්-ඩවුච් නැමැ­ත්තාය.

බැස්ටී­ලය යනු පැරී­සියේ රාජා­ඥාව යටතේ දේශ­පා­ලන විරු­ද්ධ­වා­දීන්  හා අප­රා­ධ­ක­රු­වන් සිර­ගත කළ කුප්‍ර­කට  සිර­ක­ඳ­වු­රය. බැස්ටි­ලය තුළ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැන­ග­න්නට ලැබී­මෙන් පසු ජන­තාව විසින් පිහි­ටුවා ගන්නා ලද ජාතික ආර­ක්ෂක හමු­දාව ඒවා අයිති කර­ග­න්නට සැල­සුම් කළේය. ඇම­රියා කැහිලා  නම් විප්ල­ව­වා­දියා ප්‍රමුඛ පිරි­සක් ඊට පෙර  'ඉන්වා­ල­යිඩ්ස්'  හෝට­ල­යට කඩා පැන එහි තිබූ මස්කට් තුවක්කු 29,000ක්, 32,000 ක් අතර ප්‍රමා­ණ­යක් එකතු කර­ගෙන සිටිය හ. ඔවුන්ගේ අභි­ප්‍රාය වූයේ බැස්ටි­ලයේ ගබඩා කර තිබුණු කිලෝ­ග්‍රෑම් 13,600 ක් පමණ වූ  වෙඩි­බෙ­හෙත් තොග­යක් පැහැර ගැනීම ය.

1789 ජූලි 14 වැනිදා උදෑ­සන බැස්ටී­ල­යට මෙම  විප්ල­ව­ක­රු­වන් කඩා වදිද්දී එහි සිටියේ සිර­ක­රු­වන් හත්දෙ­නෙකු පමණි. 16 වැනි ලුවී රජු  අනිත් සියල්ලෝ ම නිද­හස් කර යවා තිබිණි. බැස්ටී­ලය කඩා වැටෙද්දී දහ­සය වැනි ලුවී රජුගේ බාල සහෝ­ද­රයා සිය භාර්යා­වත්, අනි­යම් බිරි­ඳත් රැගෙන රටින් පිටවූ අතර, තවත් බොහෝ  රද­ළයෝ  ඔහු අනු­ග­ම­නය කළෝය. එය ප්‍රංශ විප්ල­වයේ තෙවැනි අදි­යර සේ සැලකේ.

1789 අගෝස්තු 27 දා එළි­දුටු  මිනිස් හා පුර­වැසි අයි­තීන් පිළි­බඳ ප්‍රකා­ශ­න­යට චන්දය ප්‍රකාශ කර­න්නට සහ නිල­ත­ල­ව­ලට පත්ව­න්නට අව­සර ලැබුණේ කොට­ස­කට පමණි.  නළු­වන්ට, පොතෙ­ස්තන්ත්‍ර හා යුදෙව් ආග­මි­ක­යන්ට සිවිල් අයි­තීන් අහිමි විය. නැව­තත් දරුණු පාන් හිඟ­යක් ප්‍රංශය පුරා පැතිර ගියේ මේ අත­රය. ප්‍රංශ කාන්තාවෝ පාරට බැස්සෝය. උරණ වූ පැරිස් වැසියෝ රජ මාලි­ගයේ මුර සෙබ­ළුන්ගේ හිස් ගසා දමා ඒවා උල්වල ගසා­ගෙන ගියෝය.

1790 දී ස්ථාපිත කර­ගත් 'විප්ල­වීය ව්‍යව­ස්ථා­වෙන්'  රජුගේ බලය අවම කළ ද,  උප­තින් හිමි­වන ඔටුන්න ඔවුන් අහෝසි කළේ නැත. බංකො­ළොත් වූ භාණ්ඩා­ගා­රය පුර­ව­න්නට පල්ලිය වෙත හැරුණු ඔවුහු, ෆ්‍රෑන්ක් බිලි­යන තුනක් වටිනා පල්ලියේ බූද­ලය රාජ සන්තක කළ හ. 1793 දී රටේ අභ්‍ය­න්තර පොලී­සිය පාල­නය වූයේ මහ­ජන ආර­ක්ෂක කමි­ටු­වක් මගිනි. මැක්ස­මි­ලි­යන් රොබෙ­ස්පි­යෙර් එහි සාමා­ජි­ක­යෙක් වී ය. ඔහුගේ පිළි­වෙත වූයේ භීෂ­ණය යි. විප්ල­වීය ආණ්ඩු­ව­කට භීෂ­ණය අත්‍ය­වශ්‍ය බවත්, එය ප්‍රශං­ස­නීය හා මග හැරිය නොහැකි දෙයක් බවත් කියා සිටි රොබෙ­ස්පි­යර්, සද්ගු­ණ­වත් ජන­ර­ජ­යක් බිහි­කි­රීම සඳහා සියලු වැර­දි­ක­රු­වන්ගේ හිස් ගසා දැමීම අනු­මත කළේ ය. 

ආඥා­දා­ය­ක­ත්ව­යෙන් ඉව­ත්ව­න්නට උත්සාහ දර­මින් ප්‍රබුද්ධ වොල්ටෙ­යාර්ගේ අද­හ­ස්ව­ලට සවන් දෙන්නට පට­න්ගෙන සිටි අවු­රුදු 20  දී ඔටුනු පැළඳි දහ­සය වැනි ලුවී රජුගේ හිස අවු­රුදු 38 දී ගිල­ටි­න­යෙන් අහිමි කළ විප්ල­ව­වා­දීහු ඊට ටික දින­කට පසු මාරි ඇන්ටො­නෙට් රැජින ද ගිල­ටි­න­යට යැවූහ. අන­තු­රුව ඔවුහු සියලු  ප්‍රභූන් මරා දැමී­මට පටන් ගත්තෝය.

ඒ වක­වා­නුව  භීෂ­ණ­යෙන් රට පාල­නය වූ සම­යකි. අස­ම්පූර්ණ හා අසා­ධා­රණ නඩු තීන්දු මගින් මර­ණීය දඬු­වම් 25,000 ක් පමණ සිදු විය. මහ­ජන ආර­ක්ෂක කමි­ටු­වල බලය අවම කළ මැක්සි­මි­ලි­යන් රොබෙ­ස්පි­යර් එරට ආඥා­දා­ය­කයා විය. ඉන්ප­සුව ඔහුගේ අද­හස් පිළි­නො­ගන්නා හැම කෙනෙ­කු­ගේම හිස් ගසා දැමුණි. 1793 සැප්තැ­ම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා  ප්‍රංශයේ පැව­තියේ භීෂණ පාල­න­යකි. ඒම කාලය තුළ පැරි­සියේ 2,639 ක් ඇතු­ළුව මුළු ප්‍රංශයේ ම 16,594 ක් මිනිස් ජීවිත ගිල­ටි­න­යෙන් ඝාත­නය කර තිබේ. සියලු  ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් හෙළි­ද­රව් වූයේ රද­ළ­යන් වෙත තිබූ අප්‍ර­සා­දය සහ විරෝ­ධ­යයි.

ඇමෙ­රි­කන් නිද­හස් අර­ග­ල­යට සහාය දුන් ගිල්බට් ඩු මෝටි­යේර් නොහොත්, ලාෆා­යෙට් වැනි රද­ළ­යන් ද ප්‍රංශ නිද­හස් අර­ග­ල­යට දායක වූහ. එවැනි පුද්ග­ල­යන් ද ගිල­ටි­න­යට හා සිර­බා­ර­යට ගැනෙද්දී ලාෆා­යෙට් ඔස්ට්‍රි­යා­වට පැන ගියේය. මහ­ජන ආරක්ෂා කමි­ටු­වට ඉහ­ළින් ගිය මැක්සි­මි­ලි­යන් රොබෙ­ස්පි­යර් නව  නීති පන­තක් සම්මත කර ගත්තේය. එම පනත මගින් කිසි­යම් පුර­වැ­සි­යෙක් විප්ල­ව­යට විරෝධී යැයි සිතූ පම­ණින් වැඩි නඩු විභා­ග­ය­කින් තොරව මර­ණ­යට පත් කළ හැකි විය. ඒ නිසා ජනතා ආණ්ඩු­වෙන් මර­ණ­යට පත් වූ අය දෙගු­ණ­ය­කින් වැඩි විය. පසු කලෙක රොබෙ­ස්පි­යර් ද ජන­ර­ජ­යට එරෙහි වූ කුම­න්ත්‍ර­ණ­ක­රු­වෙකු ලෙසින් 1794 ජූලි 28 වැනිදා නඩු විභා­ග­යක් නොමැ­ති­වම ගිල­ටි­න­යට නියම වී ය. 

ප්‍රාදේ­ශීය වෙන­ස්කම් සහිත බල­ස­ම්පන්න මධ්‍යම ආණ්ඩු­වක් පිහි­ටුවා ගැනී­ම­ටත්, ප්‍රංශ වැඩ­ව­සම් ක්‍රමය නැති­වීම හා සමාජ සමා­නා­ත්ම­තාව ඇති­වී­ම­ටත් ප්‍රංශ විප්ල­වය හේතු පාදක විය. පැරණි අසා­ධා­රණ බදු ක්‍රමය නැති වී සෑම අය­කුම තම ආදා­ය­මට අනුව බද්දක් ගෙවන ලදී. රද­ළ­යින් හා පූජ­ක­යන් සතුවූ ඉඩම් සාමාන්‍ය ජන­තා­වට ලැබීම නිසා සුළු ඉඩම් හිමි මධ්‍යම පාන්තික ගොවි පන්ති­යක් බිහි­වීම ද ප්‍රංශ විප්ල­වයේ ප්‍රති­ඵ­ල­යක් විය. උපත මත නොව තම ධනය හා හැකි­යාව මත තත්ත්වය තීර­ණය වන සමාජ ක්‍රම­යක් කරා ප්‍රංශය යොමු විණි.

විප්ල­ව­යට පසු ප්‍රංශයේ ධන­වාදී ආර්ථික ක්‍රම­යක් ඇති­වීම නිසා කාර්මික හා න්‍යාය ක්‍රම සංව­ර්ධ­නය වී කර්මාන්ත, වෙළ­ඳාම, බැංකු ක්‍රම­වල දියු­ණු­වක් ද ඇති වී යහ­පත් මුදල් තත්ව­යක් ද ඇති විය. තව ද, 'සහෝ­ද­ර­ත්වය' යන විප්ල­වීය සටන් පාඨ­යට අනුව ජාති­යක් වශ­යෙන් නැගී සිටී­මට ද ප්‍රංශයේ කීර්තිය නංවා­ලී­මට ද විප්ල­වය හේතු විය.

ප්‍රංශ විප්ල­වයේ තේමාව වූ 'නිද­හස සහ සමා­නා­ත්ම­තා­වය' යන සටන් පාඨ­යට අනුව නූතන ලිබ­රල් හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන ලක්ෂණ පෝෂ­ණය වූ බව කිව හැකිය. යුරෝ­පයේ මෙන්ම ආසි­යා­වේද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පිළි­වෙත් අනු­ග­ම­නය කිරී­මට පටන් ගත්තේ ප්‍රංශ විප්ල­ව­යෙන් පසු­වය. ප්‍රංශ විප්ල­ව­යෙන් ඉස්මතු වූ ඉතා වැද­ගත් අද­හස වන්නේ ජනතා ස්වාධි­ප­ත්‍ය­යය. එනම්, දේව වරම හෝ උපත අනුව නොව, ජන­තා­වට තමන් කැමති පාල­ක­යකු තෝරා­ගැ­නීමේ අයි­තිය මහ­ජ­න­තා­වට ලැබී­මය. ප්‍රංශ විප්ල­වය යුරෝ­පය පුරා ඇති­වුණු බුද්ධි ප්‍රබෝ­ධයේ ප්‍රති­ඵ­ල­යක් මෙන්ම, රජුන්ගේ අත්ත­නෝ­ම­තික හා අදූ­ර­දර්ශී පාල­නය නිසා පීඩා විඳි පොදු ජන­තාව විසින් සම්පුර්ණ පාලන ක්‍රම­යම වෙනස් කර තමන් කැමති පාලන රටා­වක් සකසා ගැනී­මට වසර දහ­යක් පුරා කළ විප්ල­ව­යක් ලෙසද ප්‍රච­ලිත ය.

Comments