මේ කඳුළු නුඹ වෙනු­වෙන් නෙවේ | සිළුමිණ

මේ කඳුළු නුඹ වෙනු­වෙන් නෙවේ

ආගම් දහම් වලින් අපේක්ෂා කෙරෙ­නුයේ මිනිස් සිත් නිවා සන්සුන් කිරී­මයි. තතු එසේ වුවද මානව ශිෂ්ඨා­චා­රයේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට පසක් වන කරු­ණක් වනුයේ ආගම් දහම් දඩ­මීමා කර­ගෙන යුද ගැටුම් හා ජීවිත විනා­ශ­යන් රැසක් අප ජීවත් වන මහි­කත මත සිදුවී ඇති බවකි. පසු­ගිය වස­රේද එවැනි ඛේද­වා­චක කිහි­ප­ය­කින් ලොවම කම්පා විණි. අභා­ග්‍ය­ය­කට මෙන් ඉන් එකක් හට ගත්තේ දහම් දිව­යින නම් විරු­දා­ව­ලිය දරන අපේ පුංචි ලංකා­වේය. ආග­මික උන්මා­ද­යෙන් මුස­පත් වූ අන­ත්වාදි කල්ලි­යක් විසින් ඒ මහා අප­රා­ධය සිදු කරන ලද බව දැන් පැහැ­දි­ලිය.  

කිසි­යම් උම­තු­ව­කින් වියරු වැටුණු තනි මිනි­ස­කුට වුව කළ හැකි විනා­ශය අති මහත්ය. 2019 අවු­රුද්දේ නව­සී­ල­න්තයේ සිදු වූ ක්‍රයිස්ට් චර්ච් සමූහ ඝාත­නය ඊට කදිම නිද­සු­නකි. එකම වසරේ අස­න්නට ලැබුණු ලංකාවේ පාස්කු ප්‍රහා­රය හා නව­සී­ල­න්තයේ ක්‍රයිස්ට් චර්ච් ශෝකා­න්ත­ර­යන් අතර එකි­නෙ­කට ප්‍රති­වි­රෝධි වූ අපූරු සහ­ස­ම්බ­න්ධ­යක්ද තිබේ. එනම් ලංකාවේ ප්‍රහා­රය මරා­ගෙන මැරෙන මුස්ලිම් අන්ත­වා­දීන් විසින් එල්ල කෙරුණු එකක් වන විට නව­සී­ලන්ත ප්‍රහා­රය මුස්ලිම් බැති­ම­තුන් ඉලක්ක කර­ගෙන වෙනත් දහ­මක අන්ත­වා­දි­යකු විසින් කරනු ලැබූ වෙඩි හර­ඹ­යක් වීමයි.  

මේ වේදා­කාරී සිදු­වීම් දෙකෙන්ම පෙන්නුම් කර­නුයේ කවර වර්ගයේ හෝ අන්ත­වා­ද­ය­කින් වුව මානව සමා­ජයේ ඉදිරි ගම­නට සිදු කර­නුයේ මහත් හානි­යක් බවය. මෙවැනි අප­රා­ධ­ක­රු­වන්ට උප­රිම දඬු­වම් දියු යුතු බවට විවා­ද­යක් නැත. එසේ වුවද ඉපැ­රණි නීති ග්‍රන්ථ­වල කියැ­වෙන ආකා­රයේ ඇසට-ඇසක්, දතට-දතක් වැනි දඬු­වම් අදට ගැළ­පේද යන්නත් විමසා බැලිය යුතුය. මන්ද­යත් මේ අප­රා­ධ­ව­ලට මුල්වන තරුණ ජනයා බෙහෝ විට වැරදි දර්ශ­න­යන්ට වස­ඟවී නොමග ගිය­වුන් නිසා­වෙනි.  

ක්‍රයිස්ට් චර්ච් පුද බිමේදී බැති­ම­තුන් 51 දෙන­කුට වෙඩි­තබා අමු අමුවේ මරා දැමූ වෙඩි­ක්ක­රු­වාට දඬු­වම් නියමු වූ අව­ස්ථාවේ නව­සී­ලන්ත අධි­ක­ර­ණ­යට එක්රැස් වූ වින්දි­ත­යන්ගේ නෑ හිත­ව­තුන් දැක්වූ ප්‍රති­චාර අපට කදිම පාඩ­මක් කියා දෙයි. ඔවුන් 21 හැවි­රිද ඕස්ට්‍රේ­ලි­යානු ජාතික තරුණ ඝාත­කයා වන බ්‍රෙන්ටන් දෙස බැලුවේ වෛරය හෝ පළි­ගැ­නීම පිරුණු ඇස් වලින් නොවේ. නව­සී­ල­න්තය මරණ දණ්ඩ­නය ක්‍රියා­ත්මක නොක­රන රටක් නිසා දිවි ඇති තෙක් සිර­ගත වීමේ උප­රිම දඬු­ව­ම­කට තරු­ණයා යටත් කෙරිණ. එසේම නව­සි­ලන්ත ඉති­හා­සයේ ත්‍රස්ත­වාදී ක්‍රියා­ව­කට පුද්ග­ල­යකු වර­ද­කරු වූ ප්‍රථම අව­ස්ථා­වද මෙයයි.  

එසේ වී නමුත් අධි­ක­රණ ශාලාව කඳු­ළින් නහ­ව­මින් සිටි ජනයා මේ සියලු සුවි­ශේ­ෂතා පසෙක ලා ප්‍රකෘති මන­සින් අප­රා­ධ­ක­රුවා දෙස බැලී­මට දැරූ උත්සා­හය මානව ඉති­හා­සයේ වැද­ගත් සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කළේය. ඔවුන්ගේ අත්වල රැඳුණේ මිය­ගි­ය­වුන්ගේ ඡායා­රූප හා විවිධ සෝ වැකි ලියූ පුව­රුය. ඔවුන්ගේ මුවින් නික්මුණේ ශුද්­ධවු කුරා­ණයේ යාතිකා පාඨය.  

ප්‍රහා­ර­ය­ටට ලක් වූ හමියා කුයාන් නම් එක්දරු පියා අව­සන් සුසුම් හෙළුවේ දින 48කට පසු­වය. ඔහුගේ බිරිඳ සොකා­රියා මු`ඵ අධි­ක­රණ ශාලා­වම සෝ සුසු­මින් පුර­ව­මින් අප­රා­ධ­ක­රුට පැවසූ වදන් ජාත්‍ය­න්තර මාධ්‍යයේ දැඩි අව­ධා­න­යට ලක් විය.  

“නුඹේ හිතක් පපු­වක් නැති වෙඩි උණ්ඩ වලට ගොදුරු වුණ අහිං­ස­ක­යන් අතර මගෙ සැමි­යත් හිටිය. ඔහු සඳ­හ­ටම ඇස් පියා ගත්තේ උඹ ඒ මහා අප­රා­ධය කළාට දවස් 48කට පස්සෙ...එයා තමා මට හිටපු ආර­ක්ෂ­කයා... මගේ හොඳම මිත්‍රයා... අපේ පුංචි පුතා අහ­නවා අම්මේ ඒ මිනිහා මගේ බාබව මැරුවෙ ඇයි කියලා...මං මොන­වද එයාට කියන්නෙ...පුතේ ඔයාගෙ මොන්ටි­සෝ­රි­යෙත් ඉන්නව නේද අනිත් අයත් එක්ක එකතු වෙලා සෙල්ලන් කරන්ඩ දන්නෙ නැති නිසා ඔය­ගො­ල්ලන්ට ගහන ළමයි...ඒ මනු­ස්ස­යත් අන්න ඒ වගේ කෙනෙක් කිය­ලයි මම දරු­වට කරුණු පැහැ­දිලි කරල දුන්නෙ...”  

සොකා­රි­යාගේ ඒ දුක්ගැ­න­වි­ල්ලෙන් පම­ණක් එහි රැස්ව සිටි­ය­වුන්ගේ හැඟීම් නතර වූයේ නැත. සෝ සුසුම් හා කඳුළු බිඳු හෙළී­මෙන් මිනී­ම­රු­වාගේ සිත සසල කළ නොහැකි බව ඔවුහූ තේරුම් ගෙන සිටි­යහ. සැබ­වින්ම බ්‍රෙන්ටන් ටැරන්ට් තිගැ­ස්සුණේ අව­සා­නයේ, ඔහුගේ වය­සේම වගේ සිටි තරු­ණි­යක වන සාරා ත්වාසම්ගේ මුවට නැඟි මේ වදන් වලිනි.  

“අබ්දෙ­ල්ෆාටා ත්වාසම්..ඒ මගේ ආද­ර­ණිය පිය­තුමා...ඔහු තාර­කා­වක් වගේ බැබ­ළෙ­මින් හිටපු මිනි­හෙක්...” එක්ව­රම කඩා වැටුණු කඳුළු පොකරුු පාල­නය කර­ගැ­නී­මට ඇයට නොහැකි විය. කඳුළු පිසදා ගත් ඇය යළිත් කතා කළාය.  

“හිත­න්නෙපා නුඹ දිනුව කියල.. මේ කඳුළු නුඹ වෙනු­වෙන් නොවන බව හොඳට මතක තියා ගනින්.. අපි නෙවෙයි දැන් නුඹයි වින්දි­තයා...”

Comments