විදේශිකයන් දුටු ලක්දිව පුරාණ වාරි කර්මාන්තය | සිළුමිණ

විදේශිකයන් දුටු ලක්දිව පුරාණ වාරි කර්මාන්තය

අතීතයේ දී මෙරට ආර්ථිකය, සංස්කෘතිය හා බැඳුණු ප්‍රධාන සාධකයකි වාරි තාක්ෂණය. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය කේන්ද්‍ර කොට ගෙන පුරාණ ගම් ස්ථාපිත වූ අතර ජලය මුල්කර ගත් ශිෂ්ටාචාරයන් ගොඩ නැගුණු බව වංශකතාහි සඳහන් වේ. මෙරට භූමි ප්‍රමාණයෙන් සියයයට හැත්තෑවක් වැනි පෙදෙසක් වියළි කලාපට අයත්ය. කෘෂි කර්මාන්තය සඳහා සුදුසු පසක් මෙම භුමියේ පැවතීම හේතුවෙන් ඊට සරිලන වාරි මාර්ග පද්ධතියක් බිහි විය.

ශ්‍රී ලංකාව දේශගුණික වශයෙන් සැලකීමේ දී තෙත් හා වියළි ලෙස කලාප දෙකක් හඳුනාගත හැකිය. වියළි කලාපය එක පසෙකින් වෙරළ සීමාවෙන් මායිම් වන අතර ගොඩබිම් පෙදෙසින් දැදුරු ඔය හා වලවේ ගඟත්, රට අභ්‍යන්තරයෙන් මාතලේ කඳුවැටියත් සීමාවන් ලෙස දැක්වේ. වියළි කලාපය සමස්තයක් ලෙස ගත් කළ තැනිතලා භුමි භාගයක ලක්ෂණ දරයි. ඒ අතර රිටිගල, මිහින්තලය, සිතුල්පව්ව, සීගිරිය, දිඹුලාගල, යාපහුව, වාකිරිගල වැනි කඳු පන්ති ද සුළු වශයෙන් දකින්නට හැකිය.

වංශ කතාවල සඳහන් වන පරිදි ක්‍රි.පූ. 6 දි ආර්යයන් මෙරට වයඹ දිග හා ගිනිකොණ දිග ශුෂ්ක පෙදෙස්වල තම ජනාවාස පිහිටුවා ගත් බවට සාධක ලැබේ. වී ගොවිතැන ප්‍රධාන කෘෂිකර්මාන්තය වූ බැවින් ජල අව්‍යශතාව සපුරා ගැනීම සඳහා තම ජනාවාස, පහසුවෙන් ජලය ලබාගත හැකි ස්ථානවල ගොඩ නැංවීය. එසේ පිහිටුවා ගත් මුල් ගම් ලෙස අරවිආරු නදිය අසබඩ තම්බපණ්ණිය, මල්වතු ඔය අසල අනුරාධග්‍රාමය, කලා ඔය අසල උරුවෙල, මහවැලි ගඟ අසබඩ විජිතපුරය, කනදරා ඔය අසබඩ උපතිස්ස ග්‍රාමය, ගල්ඔය අසල දීඝවාපිය හා කිරිඳඔය අසල මහාග්‍රාමය යනාදිය සඳහන්ය. මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය ප්‍රධාන වශයෙන්ම සීමා වූයේ වියළි කලාපයට අයත් ප්‍රදේශවලටය.

ජනාවාස පුළුල් වීමත් සමඟ ස්වභාවිකව මෝසම් සුළං කාලයේ දී ලැබෙන වැසි ජලය ප්‍රමාණවත් නොවූ බැවින් වියළි කලාපය තුළ සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. ආරම්භක අවස්ථාවේ දී කුඩා වැව් ඉදි වූ අතර ගම්වැව් ලෙස ඒවා හැඳින්විය. ගම්වැව් වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබුණු නිසා එය සාමාන්‍ය ලක්ෂණයක් විය. මෙම ගම්වැව් වල ආරම්භකයා ලෙස අනුරාධ ඇමති නම් දරන අතර මහාවංශයට අනුව කුඩා වැව් තැනීම බොහෝවිට අධීක්ෂණය කරනු ලැබූයේ උප රජුය. මෙරට වාරි කර්මාන්තය ගංගා නදී පද්ධතීන් තුනක ක්‍රියාත්මක වූ බව සඳහන් වේ. එනම් මල්වතු, කලා ඔය නදී පද්ධතිය, අඹන් ගඟ, මහවැලි නදී පද්ධතිය හා වලවේ කිරිඳි ඔය නදී පද්ධතියයි. ශ්‍රී ලංකාවේ පළමු වැව ලෙස පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද අනුරාධපුර ශුද්ධ පූජා භූමියට අයත් මහමෙව්නා උයනේ පිහිටි අභය වැව හෙවත් බසවක්කුලම වැව හැඳින්වේ. එමෙන්ම අභය වැවේ මැටි ගෙන ථුපාරාම ස්තූපය ගොඩ නැඟූ බව ද වංශකතාහි සඳහන්ය.

ක්‍රි.ව.පළමුවන සියවස වන විට කුඩා ස්වභාවික ගංගාවල් හරස් කොට ජලය ඇල මාර්ග ඔස්සේ කුඹුරු වලට රැගෙන යාම සිදු වූ අතර සෙල්ලිපි වල ගංගා හරස් කිරීම සඳහා භාවිත කරන ලද වචන වූයේ අවරණ, අමුණ යන්නය. ඇල මාර්ග සඳහා අඩි, අඩය, අළි, අඩ යන්න ද වැව හැඳින්වීමට වැව්, වපි යන්න ද යොදා ඇත. බොහෝ දුරට එකල මෙම ගම් වැව් අයිතිකරුවන් වූයේ සාමාන්‍ය ජනයාය. රජය මෙම වැව් වලට අයිතියක් නොදැරීය. සෙල්ලිපි වල වපිහමික හෙවත් වව්හිමක යන නම් වලින් වැවේ අයිතිකරු යන්න අර්ථ දක්වා ඇත. එ් අයිතිකරුවන් අතර කාන්තාවන් ද සිටීම සුවිශේෂිය. කෙසේ වෙතත් ජනගහනයේ වැඩි වීමත් සමඟ ගම්වැව් ප්‍රමාණවත් නොවූ බැවින් මහවැව් තැනීම අවශ්‍ය විය. වසභ රජු එහි ආරම්භකයා විය.

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි මල්වතු ඔය මෝදර ගං ආරු හා කලා ඔයෙන් ලැබෙන ජලයත්, වැසි ජලයත් ඔවුන් කෘෂිකර්මය සඳහා මුලින්ම යොදාගන්නට ඇතැයි යන්න මහාචාර්ය එච්. ටී. බස්නායක සිය පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය නම් කෘතියේ දක්වා ඇත. එහි දැක්වෙන පරිදි මල්වතු ඔයෙන් සතරැස් සැතපුම් 1500 කට පමණ ප්‍රදේශයකට ජලපහසුකම් ලබාගත හැකිය. අනුරාධපුරය ඔස්සේ ගලා යන මේ නදිය ආරුවිආරු නමින් උතුරු පෙදෙසට ගමන් කොට මන්නාරම් බොක්කෙන් මුහුදට ගලා බසී යැයි සඳහන්ය. ක්‍රි.පූ. පළමුවැනි සියවසේ දී වාරි ශිෂ්ටාචාරයේ පොදු ලක්ෂණයක් වූයේ ගමක් පාසා වැවක් ඉදි වීමය.

වියළි කලාපයේ ජීවත් වූ මිනිසා තම ගැටලු විසඳා ගැනීම පිණිස භූමියේ පිහිටීම, ගංගා හා ජලමාර්ග ගලා යෑමේ රටාව, පසේ ස්වභාවය, සූර්ය තාපයට අනුව සිදුවන වාෂ්පීකරණය හා ජලාප්‍රවාහණ ක්‍රම පිළිබඳව ශිල්පීය ඥානයක් දියුණු කරගත් බව මහාචාර්ය එච්.ටී. බස්නායකගේ අදහසයි. අතීත මිනිසා ප්‍රථමව සිදුකරනු ලැබූයේ උස්කඳුවැටි වලින් පහළ රැළිබිම් හරහා දිවෙන යම් පහත් කඳුවැටියක කපොල්ලක් තුළින් ගලාබසින ගංගා ඇලදොළ ආදියේ දියපාරවල් ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ජලය රැස්කොට ජලාශයක් බවට පත්කොට ඊට වැව යනුවෙන් අර්ථ දැක්වීමයි. වැවට වඩා පහතින් වෙල්යාය පිහිටි නිසා ඇල මාර්ග ඔස්සේ ජලය බෙදා හැරීමට හැකිවිය. පැරණි වාරි ශිල්පීන් විසින් ජල දහරාවක් දගර ගැසෙමින් වක්කලමක ස්වරූපය ගත්විට එහි වේගය අඩුවන බැව් අවබෝධ කර ගැනීම හේතුවෙන් ඒ හරහා බාධකයක් ඉදිකොට ඉන් ඉහළට එසවෙන ජලය ඇල මාර්ගයක් ඔස්සේ පහත් නිම්නයකට හෝ තැනිතලාවකට ගලායාමට සලස්වා ඇත.

මහාචාර්ය එච්.ටී. බස්නායක දක්වන පරිදි වැවක් නිර්මාණය කිරීමේ තාක්ෂණ ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් පසුව ඊළඟට පැන නඟින ගැටලුව වනුයේ වැවක රැස්කොට ගන්නා ජලය කුඹුරුවලට බෙදා හැරීම සඳහා ක්‍රමවත් ක්‍රියා මාර්ගයක් සකස් කර ගැනීමයි. ඒ සඳහා පැරණි වාරි ශිල්පීන් ඇල මාර්ග පද්ධතියක් ක්‍රමවත්ව ගොඩනගා ඇති බවත්ය. මෙම ඇල මාර්ග පද්ධතිය ඒවායේ කාර්යයන් හා ප්‍රමාණයන් අනුව කොටස් තුනකට වර්ග කොට ඇත. ගඟක හෝ ඔයක් හරහා අමුණක් බැඳ ඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යෑම සඳහා තනනු ලබන ඇලමාර්ග වැවේ ජලය කුඹුරුවලට බෙදාහැරීමේ ඇලමාර්ග බෙදාහරින ඇලමාර්ගයකින් ලියදිවලට ජලය ලබා ගැනීමේ අතුරු ඇලමාර්ග ක්‍රි.ව. පළමුවන සියවසේදී වාරි ශිල්පීන් වැවකට ජලය ලබා ගැනීම සඳහා ගඟක් හරස් කොට අමුණක් බැඳීමේ තාක්ෂණය දැන සිටි බව සඳහන්ය. ගම්වැව් නමින් හඳුන්වන කුඩා වැව් ක්‍රි.ව. පළමුවන සියවස දක්වා ජල පහසුකම් ලබා ගැනීම සඳහා උපයෝගි කොට ගෙන ඇත. මෙම කුඩා වැව් වලට වැස්ස මඟින් හෝ කුඩා දියපාරවල් මගින් ජලය ලබා ගන්නට ඇතැයි යන්න මතයකි. මහා වංශයේ දැක්වෙන පරිදි ක්‍රි.ව. පළමු සියවසේ දි විශාල පරිමාණයේ ඇලක් නිර්මාණය කරන ලද්දේ වසභ රජු විසිනි. මෙම ඇල, හඳුනාගෙන තිබෙන්නේ ඇලහැර මාර්ගය ලෙසිනි. ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරන්නේ ඇලහැර ඇල ආරම්භ වන්නේ ඇලහැරින් නොව තවත් සැතපුම් 15 ක් පමණ දුරින් පිහිටි අඹන්ගඟේ ශාඛාවක් වූ කළු ගඟ හරහා අමුණක් බැඳිමෙන් යන්නය. මෙම ඇලහැර තුළින් පැරණි වාරිමාර්ග තාක්ෂණ ශිල්පීන්ගේ සුවිශේෂි හැකියාවන් පිළිබඳව මැනවින් විද්‍යාමාන වේ.

වන්නි හත්පත්තුවේ ගල්ලෙන විහාරයෙන් හමු වූ සෙල්ලිපියක ‘ආවරණ‘ මගින් වාරිමාර්ග සැපයූ බව සඳහන්ය. ‘ආවරණ‘ යන්නෙහි අර්ථය අමුණය. ඇතැම් විට මේ අමුණ තනන්නට ඇත්තේ ගිරිබාව ඇල හරස්කොට වන්නට ඇතැයි යන්න මහාචාර්ය එච්.ටී. බස්නායකගෙ අදහසයි. ඔහු පෙන්වා දෙන්නේ ක්‍රි. ව. පළමුවන සියවස වනවිට වාරිමාර්ග පිළිබඳව ක්‍රම දෙකක් ක්‍රියාත්මක වූ බවයි. එනම්,

කුඩා ජල මාර්ගවල හා ගංඟාවල ජලය වෙනතකට යොමු කරවීමට යෝග්‍ය තැන්වල දැවයෙන් හෝ මැටියෙන් තාවකාලික අමුණු තනා ඇලමාර්ග ඔස්සේ අවශ්‍ය කුඹුරු යායවලට ජලය ගෙන යෑම, කුඩා ගම්වැව් තනා ඒ ගම්වැව්වල පහළ ප්‍රදේශයට ජලය සපයාදීම

වංශ කතාවේ දැක්වෙන පරිදි විශාල වාරිමාර්ග ක්‍රම තැනීම රජයේ ප්‍රතිපත්තියක් බවට පත් වූ බැවින් ඒ අනුව වාරි මාර්ග ක්‍රම හතරක් යටතේ දක්වා ඇත. එනම් මණ්ඩවාපි, අම්බදුග්ග, භයෝලුප්පල වැව් හා අන්තර ගංගා යන්නය. නිකොලොස් අදහස් කරන්නේ මෙහි අන්තර් ගංඟා යනු මහවැලි ගඟටත් මාදුරු ඔයටත් අතර ප්‍රදේශය බවය. හොරිවිල අසලින් හමු වූ සෙල්ලිපියක දැක්වෙන්නේ මෙවැනි ඇල මාර්ගයක් මහාදාඨික මහානාග රජුගේ කාලයේ ද තිබුණු බවය.

ක්‍රි.ව. හතරවන සියවස වන විට වාරි තාක්ෂණය ද දියුණු තත්ත්වයකට පත්ව තිබූ බවට කදිම සාක්ෂියකි, මහසෙන් රජු කල මහවැලි ගඟ හරහා අමුණු බැඳ ජලය ලබාගෙන මින්නේරි වැව නිර්මාණය කිරීම. ප්‍රථම වරට බිසෝ කොටුවක් පරීක්ෂා කොට ඒ පිළිබඳව තොරතුරු සටහන් කොට ඇත්තේ ජෝන් ඩේවි බවත් ඔහු මින්නේරිය වැව බලන්නට ගොස් එහි ප්‍රධාන සොරොව්වක පිට පැත්ත රූ සටහන් කරගත් බව සඳහන්ය. ඒ අවස්ථාව වන විට ඝන කැලයෙන් මෙම ස්ථානය වැසී ගොස් තිබූ බැවින් සොරොව්වේ ඇතුළු පැත්ත ලකුණු කර ගැනීමට ඔහුට නොහැකි විය. වංශකතාවේ බිසෝ කොටුව යනුවෙන් හැඳින් වූ සොරොව්ව දැක්වෙන්නේ ‘පණළි‘ නමින්ය.

මහාවංශයට අනුව පොළොන්නරු ප්‍රදේශයේ මානව ජනාවාසයක් පිළිබඳ පැරණිතම සඳහන් වන්නේ ක්‍රි.පු. හයේ දි විජය හා ඔහුගේ අනුගාමිකයන්ගේ ලංකාගමනය. එහිදි ඇතැමෙක් මහවැලි නදිය සමීපයෙහි විජිත පුරයෙහි ජනාවාස පිහිටුවාගත් බව සඳහන්ය.

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රෙය් වැව් බැම්ම සැතපමු 8.5 ක් දිගින් හා අඩි 40 ක් උසින් යුක්ත වන අතර ජලාශය අක්කර 5350 ක ප්‍රදේශයක් වසා සිටින බව සඳහන්ය. පරාක්‍රමබාහු රජු විසින් මෙම දැවැන්ත ජලාශය ඉදිකරවනු ලැබූයේ පැරණි වැව් දෙකක් වන තෝපාවැව හා දුමුටුලු වැවෙහි ජලය උපයෝගි කොටගෙනය.

මෙරට පැරණි ජල ශිෂ්ටාචාරයට හේතු වූ වාරිකර්මාන්තය පිළිබඳ පළමු වරට අධ්‍යයනය කිරීම සිදු වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඔවුන් දැඩි සේ ලංකාවේ වාරිකර්මාන්තය සෙවීමට පෙළඹුණු අතර වියළි කලාපයේ පැවති වැව් හා වාරිමාර්ග පද්ධතිය පිළිබඳව මවිතයට පත්ව ඇත. බදුල්ල දිසාවේ උප ඒජන්තව සිටි බේලි 1815 දි නිකුත් කළ වාර්තාවේ වැව් කර්මාන්තය පිළිබඳ මෙසේ සටහනක් යොදා ඇත.

“පෙර කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩා වූ රටක මෙතරම් පැරණි වූ ද විශාල වූ ද සංඛ්‍යාවෙන් වැඩි වු ද වැව් අමුණු තවත් ඇතැයි සිතිය නොහේ‘යන්නය.

ශ්‍රී ලංකාවේ පෞරාණික වාරිමාර්ග පිළිබඳව ආර්.එල්. බ්‍රෝහියර් විසින් ඉංග්‍රීසියෙන් රචිත Ancient Irrigation Works in Ceylon කෘතියේ එල්. පියසේන පරිවර්තනය කළ ලක්දිව පුරාතන වාරිමාර්ග ග්‍රන්ථයෙ සඳහන් විදේශිකයන්ගේ පාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

හෙන්රි පාකර් තම සටහනේ දක්වන්නේ “මා නියුක්තව සිටි කටයුතුවල මාර්ගයෙන් ලංකාවේ පුරාණ වැව් අමුණු කර්මාන්තය ගැන ඉතා හොඳින් මට දැනගන්නට ලැබුණේය. පෙර කළ වැව් අමුණු සෑදූ මනුෂ්‍යයන්ගේ කර්මාන්තවල සූක්ෂ්මභාවයටත් ඒ සියල්ල සෑදීමේ දී දක්වන ලද දක්ෂතාවටත් හිමි විය යුතු ගෞරවය හා ප්‍රශංසාව නොසඟවා සැමවිටම මම ප්‍රකාශ කළෙමි. අවුරුදු තිහකට පමණ පෙර මගේ මේ පදවිය ඉසුලූ මමිතුරු සී. වුඩ්වර්ඩ් යුද නිලධාරිතුමාත් වැව් අමුණු ගැන සොයා බැලීමට මට අවවාද කරමින් මතු කී විලස ම ප්‍රකාශ කළේය‘

එමර්සන් ටෙනන්ට් ලංකාවේ වාරි කාර්මාන්තය ගැන තම අදහස් දැක් වූයේ මෙසේය.

‘වතුර ලබා ගැනීම සඳහා බොහෝ වෙහෙස මහන්සි දරා පැරණි සිංහලයෝ තමන්ට තිබුණු කුඩා ආයුධ සහ උපකරණවලින් ගංගාවල් හරහා යෝධ කණ්ඩි සෑදුවෝය. අමුණුවල කැපූ ගල්වලට මතුපිටින් පිඩලි ගැසීම ඔවුන්ට පුරුදුව තිබුණේය. ගල් සියල්ලම ඒ තැන්වල නොසෙල් වී තිබීමට මේ පිඩලි ගැසීම හේතුවිය. ලක්දිව ආණ්ඩුකාර පදවිය දැරූ සර් හෙන්රි වෝඩ් ප්‍රකාශ කරන ලද්දේ කුඹුරුවලට වතුර ගෙනයන ඇල වැවෙන් පිටවන තැනක් ඇසට නොපෙනේ. නමුත් අවුරුද්ද මුළුල්ලේම නොසිඳි පවතින ඒ ඇලෙහි වතුර වැව් අඩිය යටම පිහිටා තිබෙන සොරොව්වක් මගින් ප්‍රමාණකර තිබෙන බව නිසැකය. අභිනව ඉංජිනේරුවන්ට මේ සොරොව්වේ ක්‍රියා කිරීමේ පිළිවෙළ විස්තර කළ නොහැකි වූවත් පැරණින් එයින් අදහස් කළ ප්‍රයෝජනය ලැබූ බව සිතන්නට ඉඩ තිබේ.‘

අසාර වූ භූමි භාගයන් මැදින් ගලා බසින ස්වභාවික ගංගාවල ජලය තම උවමනාකම් සියල්ලම පිරිමසා ගැනීමෙහි යෙදවීමට ක්‍රිස්තුවර්ෂයටත් පෙර දී ලක්දිව වාසය කළ මනුෂ්‍යයෝ දැන සිටියෝ යැයි යන්න ප්‍රකාශයක් මෙරට වාරි කර්මාන්තය සම්බන්ධව ගොඩනැඟී තිබේ.

Comments