තවත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අවසන් විය. දේශපාලන පක්ෂ ගත් කළ පොදු දේශපාලන පක්ෂවලට අමතරව ජාතිය පදනම් කරගත් ජාතියේ අනන්‍යතාවය මත ගොඩනැගු දේශපාලන පක්ෂද මෙවර මැතිවරණයට තරග කළ අතර දෙමළ ජනතා නියෝජනයන් ලෙස දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් ජාතියේ නියෝජනයක් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසයත්, සමහර දිස්ත්‍රික්කවලට තනිවම තරග කළ. සෙසු දිස්ත්‍රික්කවලට තරග කළේ ප්‍රධාන දේශපාලන ධාරාව හා එක්වය. එහෙත් වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ නියෝජනයන් වූ වෘත්තීය සමිති ව්‍යාපාරය මත පදනම්ව දේශපාලනය කරන සියලු පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ හා එක්වම තරග කරනු ලැබීය.
මෙසේ තරග කිරීමෙන් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පාර්ලිමේන්තුට තේරී පත්විය. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් එහි මහ ලේකම් ජීවන් තොණ්ඩමන් හා මරුදපාණ්ඩි රමේෂ්වරන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්ද, කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම්, එහි නියෝජ්‍ය ලේකම් මයිල්වාගනම් උදයකුමාර් හා කඳුරට ජනතා පෙරමුණ නායක වී.රාධාක්‍රිෂ්ණන්, යන තිදෙනා සමගි ජන බලවේගයෙන් ද වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පස්දෙනෙකු ද, වඩිවේල් සුරේස් හා කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් අරවින්ද කුමාර් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් මනෝ ගනේෂන් ද සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මෙම මන්ත්‍රීවරුන් 9 දෙනාගෙන් ජීවන් තොණ්ඩමන් හා මරුදපාණ්ඩි රමේෂ්වරන් හැර සෙසු මන්ත්‍රීවරුන් හත් දෙනාම පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අය වෙති. එයින් වැඩි පිරිසක් ඇමතිකම් දැරුවන් වෙති. ඔවුන්ගෙන් ජනතාවට අත් වූ සෙතක් ඇත්ද යන්න සිතන්නට මේ ජනතාවට කාලයක් තිබුණේ ද නැත. මේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න එදා මෙන් අදත් එලෙසම පවති. එහෙත් මැති ඇමතිකම් දැරූ දේශපාලඥයන් නම් දුකින් මිදී සැපවත් ජීවිතයක් ගත කළ බව සැබෑවකි. අද සාමාන්‍ය කම්කරුවකු රුපියල් 1500 ක දෛනික වැටුපක් ලබති. එහෙත් වතු කම්කරුවන් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා සටන් කරන්නේ අද ඊයෙක සිට නොවේය. අප පසුගිය රජයේ දුටුවේ කම්කරුවන්ගේ කඳුළත් වැවිලි සමාගම්වලට විකුණා හම්බකරගත් දේශපාලඥයන් පමණි.
තේ කර්මාන්තය මෙරටට හඳුන්වා දී වසර 150 කට අධික කාලයක් ගතවී ඇතත් තේ කර්මාන්තයේ විකාශනය වෙනස් වී නැත. එදා කම්කරුවන් වෙනුවෙන් විදේශිකයන් ඉදිකරන ලද ලයිම් කාමර අදටත් එලෙසින්ම පවතී. ඔවුන්ගේ ජීවන රටාවේද වෙනසක් දක්නට නැත. මේ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා යැයි කියමින් වතුකරයේ වෘත්තීය සමිති ගණනාවක් ඇතත්, ඒ සියලු වෘත්තීය සමිති කම්කරුවන්ගේ දායක මුදල්වලින් යැපෙමින් ඒ ජනතාවගේ ඡන්දයෙන් සුරසැප විඳින්නන් මිස මේ ජනයාව ජීවත් කරවන්නන් නොව. එනිසාම මේ කම්කරු ජනතාව ගතකරන දුක්බර ජීවිතයට නිමක් නැත.
වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති ජනතාව මෙරට දේශපාලඥයන්ට මුල්වරට ඡන්දය දෙන්නේ 1948 දී ය. මෙතෙක් පැවැති මැතිවරණවල දී වතු ජනතාවගේ වැඩි සහයක් හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ජනතාවට හිරිහැර වැඩි ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවූයේ ද එක්සත් ජාතික පක්ෂ පාලනයන් තුළය.
වසර දෙසීයයකට පමණ පෙර දකුණු ඉන්දියාවේ සිට ඉංග්‍රීසින් විසින් තේ වතුවල සේවය සඳහා මෙරටට කුලී කම්කරුවන් ලෙස ගෙන්වූ දෙමළ ජනතාවට මුලින්ම මෙරට ඡන්ද අයිතිය හිමි වූයේ 1931 දී ය. ඒ එවකට ගෙන ආ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඒ අනුව 1939 වනවිට ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් 225000 කට ඡන්ද බලය ලැබී තිබිණි. එසේ වුවද ඊට එල්ල වූ විරෝධතාව සැලකිල්ලට ගෙන කරන ලද සංශෝධනයන්ට අනුව 1943 දී එම ඡන්ද සංඛ්‍යාව 1,68,000 දක්වා අඩු කෙරිණි.
1947 පැවැති පළමු මහ මැතිවරණයේ දී ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ට ඉතිහාසයේ පළමු වතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබුණු අවස්ථාවෙන් පැහැදිලි වෙනසක් පෙනෙන්ට තිබිණි. එදා වතු දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන හස්තකය වූයේ ලංකා ඉන්දියානු කොංග්රසයයි. එම පක්ෂය තරග නොකළ ආසනවල පදිංචිව සිටි වතු ජනතාව ඡන්දය භාවිත කිරීමට විකල්පයක් ලෙස තෝරාගෙන තිබුණේ වාමාංශික ව්‍යාපාරයන්ය. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක ඩී.ඇස්.සේනානායක මහතා අපේක්ෂා කළ ජයග්‍රහණය හිමිකරගැනීමට නොහැකි වූයේ ඉන්දීය සම්භවයක් ඇති වතු දෙමළ ජනයාගේ එවැනි ඡන්ද භාවිතයත් එම මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් හත් දෙනාගේ සහය තමන්ට නොලැබීමත් නිසාය.
එදා ඩී.ඇස්. ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ක්‍රියාදාමයට පළිගැනීමක් ලෙස ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහිමි කරන පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තේය.
එක්සත් ජාතික පක්ෂය හැමවිටම තමන්ට වාසිදායක ලෙස ඉන්දීය වතු කම්කරුවන් යොදා ගත් බව පැහැදිලිය. එජාපය විසින්ම අහිමි කළ ඉන්දීය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය එජාපයේ වාසිය වෙනුවෙන් වසර 40 කට පසු එනම් 1988දී නැවත ලබාදීමට උත්සුක වූයේ එදා ජනාධිපතිවරණයේ දී ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ඡන්ද තීරණාත්මක බලයක් ගෙන තිබුණු නිසාය. ඒ නිසාම ඊට මැදිහත් වූයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක රණසිංහ ප්‍රේමදාසය. ඔහුගේ වෑයම සාර්ථක විය. ඔහු ජනාධිපති ධුරයට පත්විය. එහි දී ඡන්ද අයිතිය ලැබු වතුකරයේ දෙමළ ජනතාව අවස්ථා කිහිපයක දී ම මෙරට ආණ්ඩු පිහිටුවීමේ තීරක බලය අතට ගෙන තිබුණි.
නුවරඑළිය දිස්ත්‍රික්කය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණ හතකට මුහුණ දී තිබුණු අතර එයින් මැතිවරණ පහක්ම ජයග්‍රහණය ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. පොදුජන පෙරමුණට ජය ලබාගත හැකි වූයේ 2000 හා 2010 මැතිවරණවල දී පමණි. 1989 එජාපය ආසන 4, ශ්‍රීලනිප ආසන 2, 1994 දී එජාපය 5, පොදු පෙරමුණ 2, ස්වාධීන 1, 2000 දී - පොදු පෙරමුණ 4, එජාපය 3, 2001දී - එජාපය 5, පොදු පෙරමුණ 2, 2004 දී - එජාපෙ 4, එජනිස 2, ක.ජ.පෙ. 1, 2010 දී එජනිස 5, එජාපෙ 2, 2015 දී - එජාපෙ 5, එජනිස 3
උඩරට වතු කම්කරුවන් වෙනුවෙන් මුලින්ම වෘත්තීය සමිතියක් ආරම්භ වන්නේ 1940 දී පමණ කේ. නඩේෂයියර්ගේ නායකත්වයෙනි. ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා එක්වන්නේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරගැනීමේ සටනටය.1940 ජනවාරි මස 01 වැනිදා ලෝකයම නව වසර සමරමින් සිටිය දී මහනුවර හේවාහැට මුල්ලේයා වතුයායේ කම්කරුවන් ශත 16 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 6 ක් බ්‍රිතාන්‍ය පාලකයන්ට ඉදිරිපත් කරමින් වැඩවර්ජනයක් කර අයිතීන් ලබාගෙන 15 වැනිදා සේවයට වාර්තා කරන්නේය. එදිනම වතු පාලකයන්ගේ ඉල්ලීමට අනුව ආයුධ සන්නද්ධව වතුයායට ඇතුල් වන පොලිසිය කම්කරුවන්ට අමානුෂික ලෙස පහර දෙනවිට එය දුටු තේ කර්මාන්ත ශාලාවේ වැඩකරමින් සිටි ගෝවින්දන් නැමැති කම්කරුවා ලීයක් අතැතිව දිව එනවිට සුරවීර නැමැති පොලිස් නිලධාරියා ජීප් රථය තුළ දී ම කරනු ලබන වෙඩිතැබීමෙන් ගෝවින්දන් එතැනම මිය යන්නේය. ඔහුගේ අවසන් කටයුතු වාමාංශික දේශපාලන නායකයන් ඇතුළු දහස් ගණනක ජනකායකගේ සහභාගිත්වයෙන් සිදු විය.
මෙම සිදුවීමට වග කිවයුතු එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික පොලිස්පති බෙන්ස් ට ඉල්ලා අස්වන්නැයි බලකරමින් වතුකරය පුරා විරෝධතා ක්‍රියාත්මක විය. රාජපක්ෂවරු අතින් තමන්ගේ සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි වතු කම්කරුවන් තුළ අද විශ්වාසයක් ගොඩනැඟී ඇත. මේ ප්‍රතිඵල රටාව මෙවර මහ මැතිවරණයේ දී වෙනස් වූයේ සියලු ඉතිහාසයන් කනපිට හරවමිනි.