ඉහළ ඌවේ සුදු­ ලූනූ වගාව | සිළුමිණ

ඉහළ ඌවේ සුදු­ ලූනූ වගාව

කෝවිඩ් 19 වයි­ර­සය සාමාන්‍ය ජන ජීවි­ත­යට එල්ල කළ ප්‍රබල බල­පෑ­මත් සම­ඟම විෂ­බී­ජ­නා­ශක ගුණ සහිත ශාක­මය ආහාර පිළි­බ­ඳව වෙන­දාට වඩා වැඩි කතා­බ­හක් මේ වන­විට සමා­ජය තුළ පවතී. ඒ අතර ආහාර රස­කා­ර­ක­යක් ලෙස එදි­නෙදා භාවිත කළ සුදු­ ලූනූ මුල් තැනක් ගනී. නිවසේ අත්‍ය­වශ්‍ය ආහාර රස­කා­ර­ක­යක් ලෙස භාවිත කළ ද දේශීය සුදු ලූනූ අව­ශ්‍ය­තාව මුළු­ම­ණින්ම පාහේ සප­යනු ලබන්නේ ආන­ය­නික සුදු ලූනූ වලිනි. චීනය, ඉන්දි­යාව, පකි­ස්ථා­නය හා කෝස්ටා­රි­කාව යන රට­ව­ලින් 2019 වස­රේදී ලංකා­වට ආන­ය­නය කර ඇති සුදු ලූනූ ප්‍රමා­ණය මෙට්රික් ටොන් 3,200 ට  ආසන්න වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 63,000.00 පමණ වේ.

 ලංකාවේ සුදු ලූනූ වගාව ව්‍යාප්ත කළ හැකි­නම් මෙම විදේශ විනි­ම­යෙන් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් රටේ රඳ­වා­ගත හැකි­වනු ඇත. ලංකාවේ සුදු ලූනූ වගාව සිදු කළ හැකිද, එසේ­නම් එය වගා ­ක­රන ප්‍රදේශ මොන­වාද, සුදු ලූනූ බීජ ලබා ගත හැකි ස්ථාන කව­රේද වැනි ප්‍රශ්න ගණ­නා­ව­කට පිළි­තුරු සොය­මින් සිටින පිරිස විශා­ලය. 

 සුදු ලූනූ පුළුල් දේශ­ගු­ණික පරා­ස­යක වගා කළ හැකි බෝග­යක් වුවද, ඉහළ උෂ්ණ­ත්වය හෝ අධික ශීතල හා වැඩි වර්ෂා­ප­තන තත්ව නොගැ­ළපේ. මඳ ශීත දේශ­ගු­ණය හා ඉතා ‍හොඳින් ජලය ලැබීම වගා‍වේ ආරම්ක අව­ධි­යේදී අත්‍ය­වශ්‍ය වුවද බල්බ ‍මෝරණ විට උණු­සුම් වියළි තත්ව­යන් පැව­තිය යුතුය. වගාවේ වර්ධන අව­ධි­යේදී 13°C-24°C උෂ්ණ­ත්ව­යක් ද බල්බ ඇති­වන විට 15°C-25°C උෂ්ණත්ව පරා­ස­යක් ද තිබීම වැද­ගත් වේ. පැය 10 1/2 – 16 පමණ වන දිවා කාල­යක් පැව­තීම බෝග‍යේ වර්ධ­න­යට හිත­ක­රය. පී එච් අගය 5.5 සිට 7 දක්වා වූ ‍හොඳින් ජලය බැස­යන කාබ­ණික ද්‍රව්‍ය වැඩි පසක් වගාව සඳහා යොදා­ගත යුතුය. 

සිටු­වීම සඳහා  සුදු ලූනූ බල්බ භාවිත කරණු ලැබේ. රතුලූනූ වගා­වේදී මෙන්ම අස්වැන්න නෙළී­මෙන් පසු ලබා­ගන්නා බල්බ වියළා මාස 3-4 ගබ­ඩා­කි­රී­මෙන් පසු ඒවායේ බල්බිකා වෙන්කොට සිටු­වනු ලැබේ. හොඳින් කාබ­නික පොහොර යොදා සක­ස්ක­රණු ලබන පාත්ති වල පේළි අතර සෙ.මී. 30 හා පැළ අතර සෙ.මී. 15 පමණ පර­ත­රය ඇතිව බල්බිකා සිටු­විය යුතුය. වර්ෂාව නොමැති කාල­ව­ලදී නිර­තු­රු­වම ජල සම්පා­ද­නය සිදු­කළ යුතු හෙයින් ජල සැප­යුම ස්ථාව­රව තබා­ගැ­නීම වගාව සඳහා බෙහෙ­වින් වැද­ගත් වේ. වසුන් යෙදී­මෙන් ජල සංර­ක්ෂ­ණය හොඳින් සිදු­වන නිසා එය සුදුලූනූ ශාකයේ වර්ධ­නය සඳහා හිත­ක­රය. සිටුවා මාස 4- 41/2 දි අස්වැන්න ලබා­ගත හැකිය. පත්‍ර විය­ළීම ආරම්භ වන­විට පත්‍ර සම­ඟම බල්බ ගලවා පවනේ වියළා ගබඩා කරනු ලැබේ. උවේ සුදු ලූනූ වගා­ක­රු­වන් බොහො­ම­යක් වගා­වට මාස 21/2 පමණ වන­විට කොළ කපා අලෙ­වි­ කි­රී­මෙන් අති­රේක ආදා­ය­මක් ලබති. 

ඉහත සඳ­හන් පරි­සර සාධක පව­තින ප්‍රදේ­ශ­වල සුදු ලූනූ වගාව කළ හැකි වුවද ‍දේශීයව වගාව පව­තින්නේ ‍උඩරට අත­ර­මැදි කලා­ප­යට අය­ත්වන උච්ච­ත්වය අඩි 2500-4000 අතර පරා­සයේ පව­තින බදුල්ල දිස්ත්‍රික්ක‍යේ ඌව පර­ණ­ගම, කැප්පෙ­ටි­පොල, පේර­වැල්ල, කන්දෙ­පු­හු­ල්පොල, බෝග­හ­කු­ඹුර ප්‍ර‍දේශ­වල හා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ රාගල, වලප‍නේ, සහ හඟු­ර­න්කෙත යන ප්‍රදේ­ශ­ව­ලය.  

ශ්‍රී ලංකාව තුළ සුදු ලූනූ වගාව පිළි­බ­ඳව පර්යේ­ෂණ සිදුවී ඇත්තේ 1970-1980 දශක වල බණ්ඩා­ර­වෙල ප්‍රාදේ­ශීය කෘෂි­කර්ම පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කේන්ද්‍ර කර­ග­නි­මිනි. ඉන්දු­නී­සි­යාව (Lumbu Putih, Lumbu Hijau, Bawan Hitam), කැලි‍ෆෝ­නි­යාව (California early, California late), චීනය, ආජ­න්ටි­නාව වැනි රට­ව­ලින් ගෙන්වූ ප්‍ර‍භේද පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නයේ හා ගොවි ක්ෂේත්‍ර වල අත්හදා බලා ඇත. මෙම ප්‍රභේද සම­හ­රක් ප්‍රදේ­ශයේ පරි­සර තත්ත්ව යට‍තේ අස්වැන්න ලබාදී ඇත. ‍මෙම ප්‍ර‍භේද වල අස්වැන්න දේශී­යව වගා­ක­රන ප්‍ර‍භේදය හා සංස­න්ද­නා­ත්ම­කව සාර්ථක වුවද දිගු කාල­යක් ගබඩා කොට තබා­ගැ­නීම අප­හසු වී ඇත. මේ වන­විට සුදු ලූනූ වගාවේ යෙදෙන ගොවීන් වගා­ක­රන්නේ කැප්පෙ­ටි­පොල ප්‍රභේ­ද­යයි.  කැප්පෙ­ටි­පොල ප්‍රභේ­දයේ සම්භ­වය පිළි­බ­ඳව නිශ්චිත තොර­තුරු ‍නොමැති වුවද වසර ගණ­නා­වක් පුරා මෙම ප්‍රභේ­දය ප්‍රදේ­ශයේ වගා­කළ බවට තොර­තුරු ඇත. පැරණි ‍ගොවීන් මෙම ප්‍රභේ­දය හැඳි­න්වීම සඳහා “බංගලි සුදු ලූනූ” යන නම භාවිත කරන ‍හෙයින් මෙය බංග්ලා­දේ­ශ­යෙන් හඳුන්වා දුන් ප්‍රභේ­ද­ය­කැයි අනු­මාන කළ හැකිය.

බදුල්ල දිස්ත්‍රි­ක්කයේ කැප්පෙ­ටි­පොල, පේර­වැල්ල, කන්දෙ­පු­හු­ල්පොල, බෝග­හ­කු­ඹුර ඌව පර­ණ­ගම වැනි ප්‍රදේ­ශ­වල කුඩා පරි­මාණ වගා දක්නට ලැ‍බේ. වගා වප­ස­රිය හා අස්වැන්න පිළි­බ­ඳව නිශ්චිත දත්ත ‍නොමැති වුවද මෙම ප්‍රදේ­ශ­වල වගා­ක­රන සමස්ත ඉඩම් ප්‍රමා­ණය දල වශ­යෙන් ‍හෙක්ටාර 10 පමණ ‍වෙතැයි උප­ක­ල්ප­නය කළ හැකිය. බොහෝ ගොවීන් පර්චස් 5-10 පමණ කුඩා වගා ලෙස ‍මේවා පව­ත්වා­ගෙන යති. වස‍රේ ජන­වාරි සිට මැයි දක්වා කාල‍යේ වගාව ආරම්භ කරන අතර සිටුවා මාස 04 දී පමණ අස්වැන්න නෙළා­ගත හැකිය. වගා­වට මාස තුන ඉක්මවා යන­විට සුදුලූනූ කොළ කපා අලෙවි කිරී­මට සම­හර ගොවීන් පෙලඹී සිටින්නේ එයින් අම­තර ආදා­ය­මක් ලබා­ගත හැකි බැවිනි. පර්චස් 05 ක පමණ වගා­ව­කින් දළ වශ­යෙන් කිලෝ­ග්‍රෑම් 100 පමණ අස්වැ­න්නක් ලබා­ගන්නා ‍ගොවීන් සිටි­යද මෙම අස්වැන්න ගොවි­යා­ගෙන් ගොවි­යාට ඉතා විශාල ලෙස විච­ල­නය වේ. ‍වර්තමාන අස්වැන්න හෙක්ටා­ර­යට ටොන් 4-6 පමණ වන අතර ‍බණ්ඩාර­වෙල පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නයේ සිදු­කර ඇති පර්යේ­ෂණ වලට අනුව දේශී­යව සුදුලූනූ වල විභව අස්වැන්න වූ හෙක්ටා­ර­යට ටොන් 12-20 හා සස­ඳන විට මෙය අවම අග­යකි.

බෝග­හ­කු­ඹුර කෘෂි­කර්ම උප­දේ­ශක කොට්ඨා­සයේ ගොවීන් ප්‍රකාශ කරන පරිදි වසර 30-40 ට පෙර තර­මක් විශාල පරි­මා­ණයේ වගා මෙම ප්‍රදේ­ශයේ පැව­ති­යද වෙනත් විකල්ප බෝග සුල­බ­වී­මත් සම­ඟම වගා වප­ස­රිය සීමා­ස­හිත වී ඇත. මේ වන­විට සුදු ලූනූ වගා­ක­රන බොහෝ ගොවීන් පාර­ම්ප­රි­කව වගාවේ යෙදෙන අය වන අතර වසර ගණ­නා­වක් පුරා තම­න්ගේම වගා­ව­ලින් ලබා­ගන්නා බීජ ලූනූ නව වගා සඳහා භාවිත කරති. දේශීය සුදු ලූනූ අස්වැන්න අඩු­වීම කෙරෙහි මෙම කරු­ණද හේතු­වෙ­තැයි අනු­මාන කළ හැකිය.  

සිලෝන් බිස්කට් ආය­ත­නය හා ආයු­ර්වේද ‍දෙපාර්ත­මේ­න්තුව ප්‍රධාන ගැනු­ම්ක­රු­වන් ලෙස කට­යුතු කරන අතර අස්වැන්න මිලදී ගන්නා අතර සම­හර ගොවීන් සුදු ලූනූ වගාව සිදු­ක­රන්නේ තම පෞද්ග­ලික පරි­භෝ­ජ­නය සඳහා මිස අලෙවි කිරිමේ අර­මු­ණින් නොවේ. කි‍ලෝග්‍රෑ­ම­යක් සඳහා රු300.00 පමණ මුද­ලක් ලැබෙන අතර සම­හර අවස්ථා වලදී අලෙවි ගැටලු ඇති­වන බව ගොවීහු ප්‍රකාශ කරති. 

වගාව සඳහා අවශ්‍ය පරි­සර සාධක මත සලකා බලන විට බදුල්ල දිස්ත්‍රි­ක්කයේ හා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ‍මෙම වගාව ‍හොඳින් සිදු කළ හැකි බව පැහැ­දි­ලිය. අර්තා­පල්, එළ­වළු සහ වී වගාව සඳහා යොදා­ගන්නා ඉඩම් යම් ප්‍රමා­ණ­යක් ‍මෙම වගාව සඳහා භාවිත කළ හැකිය.  වගාව පිළි­බ­ඳව පර්යේ­ෂණ කට­යුතු සිදුවී ඇත්තේ 70-80 දශක වල හෙයින් හා අත්හදා බලා ඇති ප්‍රභේද පැරණි ඒවා වන හෙයින් අළු­තින් ප්‍රභේද ගෙන්වා අත්හදා බැලීම හෝ දේශීය ප්‍රභේ­ද­යෙන් තෝරා ගන්නා හොඳ බීජ වගා­කි­රී­මට ගොවීන් දිරි­මත් කළ යුතුය. මේ වන­විට ගොවීන් වගාව සඳහා භාවිත කරන්නේ සාම්ප්‍ර­දා­යික වගා­ක්‍රම වන හෙයින් ලබා­ගත හැකි අස්වැන්න අඩුය. එහෙ­යින් අස්වැන්න වැඩි කළ හැකි නව තාක්ෂ­ණික පැකේ­ජ­යක් නිර්මා­ණය කිරී­මද වගාව ලාභ­දායී තත්ව­යට පත්කි­රීම සඳහා අත්‍ය­වශ්‍ය වේ.   

තොර­තුරු ලබා­දීම සම්බ­න්ධ­යෙන් විශේෂ ස්තුතිය රෝහණ රාම­නා­යක මහ­තාට  හිමි වේ.

Comments