ZOOM වීඩියෝවෙන් කරළියට ආ අපූරු සේයා රූ | සිළුමිණ

ZOOM වීඩියෝවෙන් කරළියට ආ අපූරු සේයා රූ

අපූර්ව නිර්මාණයක් වෙන්නේ එක තත්පරයක ඉපදෙන ක්ෂණික සිතුවිල්ලක්. එවැනි සිතුවිලි දහස් ගණනක් බිහි වුණත් ඒ සිතුවිල්ලක් ඔස්සේ පිය මැනීමෙන් අපූර්ව නිර්මාණයක් බිහි කිරිමේ දක්ෂතාව නිර්මාණකරුවකුගේ කැපවීම මත තීරණය වෙනවා. ඒ කැපවීමට දක්ෂතාවට බාහිර සාධක අදාළ වෙන්නේම නැති තරම්. කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න නිවෙස් තුළටම වී හිටපු පහුගිය කාලේ එදිනෙදා රාජකාරී නිර්මාණ කටයුතු මග හැරෙන විට තමන්ගේ නිර්මාණ කාර්යයන්ට බාධාවක් කර නොගත් නිර්මාණාත්මක ඡායාරූප ශිල්පිනියක වන රැෆෙලා ප්‍රනාන්දුට අපූර්ව අදහසක් පහළව තිබුණා.

කොරෝනා කාලයේ බොහෝ රාජකාරී කටයුතු සාකච්ඡා එහෙම නිවෙස්වල සිටම සිදුවුණේ ZOOM වීඩීයෝ ඇමතුම් ඔස්සේ. රැෆෙලා ද තම අපූර්ව නිර්මාණකාර්යට තෝරා ගත්තේ මේ තාක්ෂණයයි. ඇයට ඒ අදහස පහළව තිබුණේ ලොක්ඩවුන් සමයේ විවිධ රටවල සිදු වූ නිර්මාණ කටයුතු දෙස බලා හිදීමෙන්. ZOOM වීඩීයෝ ඇමතුමක් ඔස්සේ කළ මෙම අපූරු ඡායාරූපගත කිරීමට ඇය හා එක් වුණේ ශනුද්‍රි ප්‍රියසාද්. රැෆෙලාගේ ක්ෂණික සිතුවිල්ලට ප්‍රතිචාර දැක්වූ ශනුද්‍රි රැෆෙලා හා කතාබහ කිරීමෙන් සියලු ඇඳුම් පැලදුම්, හැඩ ගැන්වීම් නිවෙසේ සිටම සුදානම් කරගන්නවා. අනතුරුව රැෆෙලා තම නිවෙසේ රැදෙමින්ම ZOOM විඩියෝ ඇමතුම ඔස්සේ මේ සුන්දර ජායාරූප කිහිපය සිය කාචයට හසු කරගෙන තිබුණා. එවැනි සංකල්පයකට අනුව මෙරටදී කළ ප්‍රථම ජායාරූප පෙළට මුළුමනින්ම ගත වී තිබුණේ පැයක පමණ පුංචි කාලයක් වුවත් නොසිතු විදියට අපූර්ව ප්‍රතිචාර ලැබුණු බව රැෆෙලා රසඳුන හා කතා බහට එක්වෙමින් පැවැසුවා.

Comments