“මට තියෙන්නේ දවසින් දවස අලුත්වෙන ජීවිතයක්” | සිළුමිණ

“මට තියෙන්නේ දවසින් දවස අලුත්වෙන ජීවිතයක්”

කාලෙන් කාලෙට කලා ලෝකයේ දිෙලන නිවෙන තරු අතර නිහඬව ඉතා සෙමින් නමුත් ස්ථාවරව දිලෙන තරුවක් වන වොල්ගා කල්පනී පුංචි තිරයෙහි කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියකි. කලෙකදී ජීවිතයේ සිදු වූ වෙනස්කම් සහ අලුත් කලා නිර්මාණ හේතුවෙන් පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක්වූ චරිතයක් වන ඇය ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද වුව ද උපේක්ෂා සහගත දැක්මකින් දිවිගෙවන්නට උත්සාහ කරන බව පවසයි. මේ ඇයගේ ජීවිතයේ අලුත්ම තොරතුරු පිළිබඳ කළ කතාබහකි.

 

වොල්ගා, කොහොමද මේ කාලය ගත වෙන්නේ?

මේ දවස්වල සුමුදු වෙල්ලාල ගමගේ ගේ සහ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ අලුත්ම ටෙලි නාට්‍ය දෙකකට සූදානම් වෙනවා. ඒ දෙන්නම ඉතාම දක්ෂ සහ මම ඉතා ප්‍රිය කරන අධ්‍යක්ෂවරු දෙදෙනෙක්. එයින් ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ටෙලි නාට්‍යය නුදුරේදීම විකාශනය වීමේ සූදානමක් තිබෙනවා. එහි කොටස් කීපයක් මේ වන විටත් රූගත කර අවසන්.

 

මොනවගෙ චරිත ඔස්සේද වොල්ගා ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන්නේ?

හැමදාමත් වගේ මොකක්දෝ වාසනාවකට මට නිතරම ලැබෙන්නේ යමක් කළ හැකි බොහෝ විට එකිනෙකට වෙනස් විශාල පරාසයක කටයුතු කළ හැකි චරිත. මේ ටෙලි නාට්‍ය දෙකේ චරිත දෙකම ටිකක් බටහිර පන්නයට නැඹුරුයි. නමුත් ඒ චරිත දෙක කිසිසේත්ම එකිනෙකට සමාන නැහැ. ඒ වගේම ටෙලිනාට්‍ය දෙකත් හාත්පසින්ම වෙනස් කතා තේමා රැගත් ප්‍රේක්ෂකයාට ආදරයෙන් වැලඳ ගත හැකි ආකාරයේ නිර්මාණ.

 

පෞද්ගලික ජීවිතෙත් නුදුරේදීම අලුත් වෙනසක් වේවිද ?

මට තියෙන්නේ කොහොමත් දවසින් දවස අලුත් වන ජීවිතයක්. හැම අලුත් දවසක් ම අලුත් වෙනසක් එක්ක නැවුම් විදිහට ගත කරන්න මම උත්සාහ කරනවා. ජීවිතයේ අලුත් වෙනස්කම් කියලා මහ ලොකු වෙනසක් නම් සිදු වෙන්නේ නැහැ. පුරුදු විදිහටම අලුත් වෙමින් මේ යන විදියට ම ජීවිතය ගලාගෙන යයි.

 

ආදරය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකද?

මගේ ජීවිතේ හැමදාමත් ආදරණීයයි. ජීවිතේ කිසිම දවසක ආදරණීය බවේ වෙනසක් වුණේ නැහැ. ඉපදුණු දා පටන් මේ වන තෙක්ම ආදරය කියන දේ අඩුවක් නැතුව බොහොම අවංකවම ලැබුණු කෙනෙක් මම. අදත් කිසිම අඩුවක් නැතුව බොහොම පරිපූර්ණව මගේ ජීවිතයට ආදරය ලැබෙනවා.

 

වොල්ගා නැවත විවාහ වේවිද?

තවම මම ඒකට සූදානමක් නැහැ. මම නිතරම දෙවියන් බුදුන් අදහමින් ඒ විශ්වාසය අනුව කටයුතු කරන කෙනෙක්. මට නැවත වතාවක් විවාහ වෙන්න දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙන දවසක දෛවයෙන් ඒ අවසරය ලැබුණොත් මම විවාහ වෙයි.

 

බිඳුණු බැඳීම් සමඟ නැවත ගනුදෙනු කරන්න, රංගනයේ යෙදෙන්න වුණොත්?

ඔහු මටත් තවත් එක් සාමාන්‍ය රංගන ශිල්පියෙක් පමණයි. සනත් ගුණතිලක, සරත් කරුණාරත්න, ධනුක දිල්ශාන්, බිමල් ජයකොඩි, මේ වන විට අප අතර නැති දසුන් නිශාන්, වැනි මම ඉතාම ප්‍රිය කරන විශේෂ රංගන ශිල්පීන් කිහිප දෙනෙක් හැරුණු විට අනිත් සියලු දෙනාම මට සාමාන්‍ය රංගන ශිල්පීන් පමණයි. ඒ නිසා හර්ෂණ සමඟ නිර්මාණයකට රංගනයෙන් දායකවීම මට ගැටලුවක් නෙවෙයි. ජීවිතේ කිසිම අවස්ථාවක කිසි කෙනෙක් සමඟ මගේ අමනාපකම් නැහැ. ඒ නිසා මට ඕනෑම දෙයක් සාමාන්‍ය ලෙස බාර ගන්න පුළුවන්.

 

පහු ගිය කාලේ වොල්ගා ව්‍යාපාරිකාවක් වෙලත් හිටියා නේද?

කොහොමත් පුංචි කාලේ ඉඳලම කලාවට වඩා ව්‍යාපාර පැත්තට මගේ තිබුණු නැඹුරුව වැඩියි. පසුගිය කාලේ කරමින් සිටි ව්‍යාපාරයෙන් මම ඉවත් වුණා. අලුත් ව්‍යාපාරයක් අරඹන්න සිටිද්දී කොරෝනා වසංගතය ආවා. ඉතින් ඒ සැලසුම කල් ගියා. ව්‍යාපාර පැත්තෙන් මගේ විශේෂ කැමැත්තක් තියෙන අංශයක් තියෙනවා දැන් ඒ අලුත්ම දේ කරන්න සූදානමින් ඉන්නේ. නමුත් ඒ සියල්ල ලබන අවුරුද්දට කල් දාන්න සිදු වුණා.

ඡායාරූපය - ඉරේෂ් ජයංග ඩයස්

හැඬගැන්වීම - අරුණි අබේවික්‍රම

[email protected]

Comments