“ජීවිතේ දුක වගේම සතුටත් අපි දෙන්නට හොඳට පුරුදුයි” | සිළුමිණ

“ජීවිතේ දුක වගේම සතුටත් අපි දෙන්නට හොඳට පුරුදුයි”

“මමඉපදුණේ මට කියලා වැලි කැටයක දෙයක් නැතිව. තාත්තට රස්සාවක් නැහැ. දරුවො පස් දෙනෙක්ට කන්න දෙන්න අම්මා ගොඩක් මහන්සි වුණා. ගෙදර කඩයප්පන් හැදුවා. හතරෙ පන්තියෙන් පස්සෙ මමත් ඉගෙනීම අතෑරලා දැල් අදින්න වැල්ලට ගියා. හවසට මාළු කූරියෙක් අරගෙන ගෙදර එනවා. අම්මා කඩයප්පන් හදන එක නතර කරලා උදේට රත්ගම ගෙදර ඉඳන් හැතැප්ප 6ක් පයින් ගාල්ල මාකට් එකට ඇවිත් වෙළෙන්දො අයින් කරන එළවළු කූඩයක් පුරවගෙන ගෙදර එනවා. ඒ එළවළු සුද්ද කරලා හවසට අම්මයි මමයි ගෙයක් ගෙයක් ගාණේ ගිහින් විකුණනවා. අදටත් මට කුණු තක්කාලිවල සුවඳ දැනෙද්දි ඒ අතීතේ මතක් වෙනවා.

මට මොකක්හරි වෘත්තියක් පුරුදු කරන්න අම්මට ඕන වුණා. මාව අම්බළන්ගොඩ මහින්ද ප්‍රෙස් එකට යැව්වා අකුරු ඇමිණීම පුරුදු වෙන්න. ටික කාලයක් ඒක කරලා ආයේ මම ගමට ගිහින් මාස 6ක් විතර වැල්ලෙ රස්සාවට ගියා. මාළු අල්ලන්න තියෙන්නේ මාස 6යි. ඉතුරු මාස 6 මඩකලපුවේ. මමත් ලොරියක නැඟලා හොරෙන්ම මඩකලපු ගියා. මට තිබුණේ ඔරුව වටේ දැල ඇදලා මුර කරන්න. නිදාගන්නෙ වැල්ලෙ. උදේ නැඟිටිද්දි සර්පයො ගිය පාරවල් හැමතැනම. කන්න ලැබුණේ හැමදාම ලොකු බත් පිඟානකුයි මාළු හොඳි ටිකකුයි විතරයි. ඒ ජීවිතේ එපා වෙලා මට ආපහු ගෙදර එන්න ඕන වුණා.

ඒ වුණාට බස් එකේ එන්න සල්ලි නැහැ. වාඩියේ උයන්න හිටියා අපේ ගමේ මාමා කෙනෙක්. එයා එක්ක එකතුවෙලා පොල් කඩලා විකුණලා බස් එකට සල්ලි හොයාගෙන කොළඹ ආවා. අම්මා මං නැති දුකින් අඬ අඬා ඉන්නවා කියල ආරංචි වෙලා මම ආයේ ගමේ ගියා. ඒ වෙද්දි අම්මා පොළේ එළවළු විකුණනවා. පස්සේ අපි දෙන්නත් එක්කම කොළඹ ඇවිත් එළවළු අරගෙන ගිහින් වෙළඳාම් කරන්න පටන්ගත්තා. ඒ අතරේ කොළඹ ප්‍රභූවරයෙක් අම්මාගෙන් මාව ඉල්ලගෙන ගියා ඉස්කෝල යවනවා කියලා. ඒත් ගියාට පස්සේ මට වුණේ ඒ ළමයින්ගේ ආවතේව කරන්නයි කඩේ යන්නයි. මට එහෙ එපාවෙලා තාත්තට පෝස්කාඩ් එකක් දැම්මා මාව එක්ක යන්න කියලා. ආපහු ගෙදර ආවට පස්සේ හාමුදුරු කෙනෙක් මාව එක්ක ගියා මහණ කරන්න. ඒකත් හරි ගියේ නෑ. අන්තිමට මම ආයෙත් කොළඹ ආවා. කාලයක් පිටකොටුවේ එක එක රස්සා කරලා ඒ සේරම එපාවෙලා ආයෙමත් ගමේ ගියා.”

ඒ, මතක ශ්‍රී ලංකා සූපවේදයේ සිංහල ලකුණ වූ ජ්‍යේෂ්ඨ සූපවේදී පබ්ලිස් සිල්වාගේය. මෙවර කැදැල්ලේ කතාව සරසන්නේ පබ්ලිස්- විමලා යුවළයි.

“කසාද බඳිනකොට මට අවුරුදු විස්සයි. හාමිනේට දහ අටයි. එයත් අපේ ගෙවල් කිට්ටුවයි හිටියෙ. කසාද බැන්දට පස්සේ තමයි තේරුණේ නෝනට කන්න අඳින්න දෙන්නත් ඕන නේද කියලා. ඒ වෙද්දිත් මට හරිහමන් රස්සාවක් නැහැ. බැඳලා අවුරුද්දකට කිට්ටු වෙද්දි ගල්කිස්ස මහ හෝටලේ වැඩ කරපු නෝනගේ අයියා මාර්ගයෙන් රස්සාවක් හොයාගෙන එහෙට ආවා. රස්සාව ලැබුණෙ හෝටලේ කුස්සියට ගල් අඟුරු අඳින්න. මාසික වැටුප රුපියල් 40යි. සර්විස් චාජ් එක මාසෙට ශත 35යි. ඒ අතරේ කුස්සියෙ වැඩත් ටික ටික පුරුදු වුණා. කාලයක් වැඩ කරගෙන ඉන්නකොට දෙවැනි බාස්උන්නැහේ තනතුරේ පුරප්පාඩුවක් ආවා. ඒ කාලේ ‍චෙෆ් නෙවෙයි බාස්උන්නැහේ කිව්වේ. ඡන්දෙන් මාව ඒ තනතුරට තේරුණා. ”

එදා ගල්කිස්ස මහ හෝටලයේ දෙවැනි බාස්උන්නැහේ වූ ඔහු පසුව එහි විධායක සූපවේදියා විය. දැන් ඔහු එහි සූපශාස්ත්‍ර සබඳතා සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයාය. දේශීය සූපශාස්ත්‍රය ලෝකයට හඳුන්වා දෙමින් ඒ පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති, තවමත් ඒ කටයුතුවල නියැළී සිටින සූපවේදී පබ්ලිස් පොත් 21ක කතුවරයෙකි. තවත් පොත් දෙකක් ලියමින් සිටී. නියපොත්තක ප්‍රමාණයේ කුඩාම ආහාර වට්ටෝරු පොත සම්පාදනය කරමින් ඔහු වාර්තාවක් ද තැබුවේය. සූපවේදී පබ්ලිස් සිල්වාගේ ආහාර සූපවංශය කෘතිය කිලෝ දෙකහමාරක් බරය. ඔහු ගැන ලියන්නට බොහෝ දේ ඇතද මේ සටහන ඊට නොසෑහේ.

“මම ජීවිතේම කැප කළේ රස්සාව වෙනුවෙන්. ඒ කාලේ මම මාස ගණන් ගමේ යන්නෙ නෑ. විමලා මාසෙකට දෙකකට සැරයක් හෝටලේට එනවා සල්ලි ගෙනියන්න. ඒක දැකලා සභාපතිතුමා යූ.කේ. ඇක්මන් මහත්මයා මට අත්තිඩියෙන් ගෙයක් අරන් දුන්නා දරු පවුල කොළඹට ගෙන්නගන්න කියලා. මාස්පතා පඩියෙන් කැපෙන විදිහට මට ඒකට ගෙවන්න වුණේ ගේ වටිනාකම විතරයි. මම ඒ ගෙදර පදිංචි වුණාට පස්සේ සභාපතිතුමා කිව්වා මට ඩ්‍රයිවින් ඉගෙන ගන්න කියලා. දවසක් මම හෝටලේට යනකොට මුළු හෝටලේ ම සුදුකොඩි දාලා.

සභාපතිතුමා අන්ත්‍රාවෙලා. එතුමා වියෝවීමේ වේදනාව අදටත් මට දැනෙනවා. මම හෝටලේ දියුණුව වෙනුවෙන් මගේ උපරිම ශක්තියෙන් කැපවුණා වගේම එතුමා මට මගේ ජීවිතය ඉහළට ඔසවා තබන්න දීපු සහයෝගය මම ගෞරවයෙන් සිහිකරනවා. එතුමාගේ අභාවයෙන් ටික කාලයකට පස්සේ මට හෝටලයෙන් කාර් එකක් ලැබුණා. එතුමාගේ පුත් වත්මන් සභාපති සනත් උක්වත්ත මහත්මයා පියාගේ වගකීම ඉටු කළේ ඒ විදිහටයි.

අපි දැන් ජීවත්වන මේ නිවසත් ගෙවීමේ පදනම මත හෝටලයෙන් අරන් දුන්නෙ. ගල්කිස්ස මහ හෝටලය කියන්නේ මගෙ මහගෙදර. මම රස්සාව වෙනුවෙන්ම කැපවෙද්දි හාමිනේ තමයි දරුවන්ගේ හැම බරක්ම දැරුවේ. එකපාරක් දරුවෙක් ලැබෙන්න හිටපු හාමිනේ හොස්පිට්ල් නතර කළා කියලා ටෙලිග්‍රෑම් එකක් ඇවිත් මම හොස්පිට්ල් එකට යනකොට එයාට සිහිය නෑ. මම ගෙනිච්ච නවකතා පොත් දෙකක්. ඒ පොතක් ඇතුළට සල්ලි ටික දාලා හාමිනේගෙ කොට්ටෙ යටින් තියලා මම ආපහු කොළඹ ආවා. ගෙදර ගියේ දරුවා ලැබුණට පස්සෙයි. ඒ හැමදේම ඉවසගෙන හාමිනේ මෙච්චර කල් මා එක්ක හිටපු එකත් ලොකු දෙයක්.”

ඔහුගේ දෙනෙත් දිලිහෙන්නේ ඒ ආදරය වෙනුවෙනි.

“මහත්තයාට රස්සාවෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. එයා ඒ විදිහට මහන්සි වෙන්නෙත් මමයි දරුවො වෙනුවෙනුයි බව දන්න නිසා මමත් ඔහුට ගෙදර බරක් දුන්නෙ නැහැ. මහත්තයා කවදාවත් මට දෙන සල්ලිවලට මොකද කළේ කියලා ප්‍රශ්න කරලා නැහැ. ඒ වගේම එයා මහන්සිවෙලා හොයන එක රුපියලක්වත් මම නිකරුණේ වියදම් කළේ නැහැ. අපි විවාහවෙලා දැන් අවුරුදු 64ක්. අපි කවදාවත් රණ්ඩු වෙලා නෑ කිව්වොත් ඒක අමූලික බොරුවක්. පවුල් ජීවිතේ ඇතුළේ රණ්ඩුත් ඉඳහිට හරි තියෙන්න ඕන. හැබැයි ඉවසීම, දරාගැනීම කියන දේ මං ළඟ ඕනෑවටත් වැඩියෙන් තිබුණා. දුක කියන දේ වගේම සතුට කියන දේත් අපි දෙන්නම හොඳට විඳලා තියෙනවා. ලැබුණු කිසි දෙයක් ලේසියෙන් ලැබණ දේවල් නෙවෙයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. ගමේ හිටපු මම මහත්තයා එක්ක මේ වෙද්දි ලෝකෙ පුරා රටවල් 16කට විතර ගිහින් තියෙනවා. මහත්තයා ඊටත් වඩා රටවල්වලට ගිහින් තියෙනවා. ප්ලෙන් එකෙන්, නැව්වලින්, සබ්මැරින්වලින් සංචාර කරලා තියෙනවා. මම හිතන්නේ ඒ දේවල් ලබන්න අපේ වාසනාවකුත් තියෙන්න ඇති. ”

විමලා රාජකරුණා මහත්මිය ආදරය වදන්වලට පෙරලමින් කීවාය. පබ්ලිස්-විමලා යුවළට පුතුන් දෙදෙනෙක් දියණියන් තිදෙනකු සමඟ දරුවන් පස්දෙනෙකි. මුනුපුරු මිනිබිරියන් 11කි. තුන් මුනුපුරු මිනිබිරියන් 7කි. වැඩිමහල් පුතු ද සූපවේදියකු වන අතර ඔහුගේ පුතු ද සූපවේදියකු ලෙස එංගලන්තයේ සේවය කරයි. පබ්ලිස් සිල්වා මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය පදවි දෙකකින් පිදුම් ලබන්නේ දේශීය සූපශාස්ත්‍රයට කළ සේවය වෙනුවෙනි.

“මම ගිය බලගතුම විශ්වවිද්‍යාලය කොළඹ කොටුවේ හරස් වීදී. ජීවිතේ ගැන රටේ ලෝකේ ගැන මම ඒ විශ්වවිද්‍යාලයෙන් උගත් දේ අප්‍රමාණයි.” ආචාර්ය පබ්ලිස් සිල්වා කියන්නේ අව්‍යාජ සිනහවෙනි. 84 වියේ පසුවන ඔහු දිනපතා අලුයම 2ට අවදි වේ. බුද්ධ පූජාව සූදානම් කර බුදුන් පුදට මල් නෙළා අවැසි සියල්ල සූදානම් කර තැබීමෙන් පසු තමාට සහ බිරිය වෙනුවෙන් තේ සාදයි. අලුයම 4.30ට ස්නානය කොට 5ට බුදුන් වැඳ එතැන් සිට රූපවාහිනිය නරඹා උදෑසන 6.30 වන විට හෝටලයට පිටත්ව යෑම ඔහුගේ දින චර්යාවයි.

“මම උදේට කන්නේ පලතුරු විතරයි. දවල් කෑම ගැන සැලකීමක් නැති වුණත් මම දැන් දවල් කෑමට ගෙදර එනවා. හවස 7ට කලින් මම රෑ කෑම ගන්නවා. පැය 5-6ක් අනිවාර්යෙන් නිදාගන්නවා. උණුවතුර බොනවා. අවේලාවේ කන්නෙ නැහැ. ඒ සේරටමත් වැඩිය මගෙ හිත පිරිසුදුයි. කාලයක් මම එකතු කරන්න මහන්සි වුණා. නමුත් දැන් හිත කැමති දෙන්නයි. පහුගිය දවස්වල ගෙදර තිබුණ පෞරාණික බඩුවලින් ගොඩක් කෞතුකාගාරයට දුන්නා. මගෙ ළඟ තියෙන විශාල පොත් එකතුවත් මහජන සතු කිරීමයි මගේ ආශාව.”

සාජහාන් රජු ටජ්මහල ඉදි කළේ මුම්ටාස් දේවිය පිළිබඳ ප්‍රේමය ලොවට කියන්නටය. ආචාර්ය පබ්ලිස් සිල්වා බිරිය පිළිබඳ ආදර ගෞරවය ප්‍රකාශ කරන්නේ රත්නපුර, මහා පන්නිල බුදුගල්ලෙන චන්ද්‍රරාම විහාරස්ථානයේ විහාර ගෙය පිහිටි ගල්ලෙන තුළ පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් ලෙස අඩි 14.5ක දිගකින් යුතු ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කොට එය සිය බිරිය වෙනුවෙන් සසුනට පූජා කරමිනි. ඒ ගැන කියද්දී පවා විමලා මහත්මියගේ දෙනෙත් අග තුටු කඳුළකි.

“ඒ පුණ්‍යකර්මය සඳහා ගොඩක් අය මුදලින් දායක වෙන්න හැදුවා. නමුත් මට ඕන වුණේ කාගෙන්වත් සතයක්වත් නොගෙන මගේම මහන්සියෙන් ඉපැයූ මුදලින් ඇය වෙනුවෙන් ඒ දේ කරන්නයි. හාමිනේ ජීවිතේ පුරා මම වෙනුවෙන් විඳපු දුකට, ඉවසීමට, කැපකිරීමට මම උත්තමාචාර පුදකළේ එහෙමයි. ඇය වෙනුවෙන් වෙහෙරෙක් හදන බලාපොරොත්තුවකුත් මගෙ හිතේ තියෙනවා“

ඔහු එහෙම කියද්දී ඒ ආදරය ගැන තවත් කුමක් ලියන්නද? සසර පුරා පතා එන ආදර කතා මේවා නොවේදැයි සිතුණේ ඒ ආදරණීය කැදැල්ලෙන් නික්ම එද්දීය.

 

[email protected]

Comments