‘මාස්ක්’ නිසා මුහුණට එන ‘මාක්ස්’ | සිළුමිණ

‘මාස්ක්’ නිසා මුහුණට එන ‘මාක්ස්’

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන COVID-19 වයිරසය මේ වන විට ලෝකයේ ම ජන ජීවිතය විශාල වෙනසකට ලක්කරනු ලැබුවා. වසංගතය පාලනය කිරීමට අනුගමනය කරන සෞඛ්‍ය පිළිවෙත් අතර මුව ආවරණ පැලඳීම දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා. නමුත් දීර්ඝ කාලයක් දිනපතා මුව ආවරණ පැලඳීම නිසා දැනටමත් ඔබේ සමේ අසාත්මිකතා හෝ වෙනත් චර්ම ගැටලු හටගෙන තිබෙනවා විය හැකියි.

මෙම තත්ත්වය තවදුරටත් මුළුමනින් ම අවසන් වී නැති නිසා ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැලඳීමෙන් වැළකී සිටින්න අපට හැකියාවක් නැහැ. එම නිසා සමට සුවපහසු වන ආකාරයට සහ අසාත්මිකතාවලින් ආරක්ෂා වන ආකාරයට මුව ආවරණ භාවිත කරන්නේ කෙසේද යන්න දැනුම්වත් කිරීම වැදගත් යැයි අප අදහස් කළා.

මුව ආවරණ නිසා සමෙහි කුෂ්ඨ, කුරුලෑ, වියළි බව, සමේ දැවිල්ල, අපහසුව මෙන්ම Rosacea නම් චර්ම රෝගී තත්ත්වය ද ඇතිවිය හැකියි. මාස්ක් එක සමට තදින් ඇලී තිබීම, නැවත නැවත භාවිත කළ හැකි මුව ආවරණ නිසි ලෙස පිරිසුදු නොකිරීම හෝ මුව ආවරණය පිරිසුදු කිරීමට භාවිත කරන ඇතැම් ඩිටර්ජන්ට් වර්ග නිසා ද එවැනි ආසාත්මිකතා ඇතිවිය හැකියි.

පොලියෙස්ටර් හෝ නයිලෝන් වැනි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ සමහර මුව ආවරණ නිසා ඇතිවන උණුසුම් බවෙන් වැඩිපුර දහඩිය දැමීම සිදුවනවා. මාස්ක් එක ඇතුළේ සිරවී ඇති හුස්ම හා මුහුණේ නිපදවන සීබම් සමඟ දහඩිය මිශ්‍ර වීම හරහා මුහුණ කුරුලෑ හට ගැනීමේ වැඩි හැකියාවක් තිබෙන ස්ථානයක් බවට පත්වන්නේ ද නිරායාසයෙන්. ඔබට තිබෙන්නේ සංවේදී සමක් නම්, ඔබ කුමන පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත්තත් මේ සඳහා සුදුසුකම්ලත් චර්ම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

මේ කාලයේදී මුව ආවරණ පැලඳීම අනිවාර්ය බැවින් ඔබේ සමෙහි තෙතමන රඳවා ගැනීමට මතක තබා ගන්න. ඔබේ සමට ගැළපෙන ක්‍රීම් හෝ සීරම් මුහුණේ ආලේප කරනවා නම් සම තෙතමනයකින් හා මෘදු බවකින් පවත්වා ගන්න පුළුවන්. ඔබේ මුහුණේ සම තෙල් සහිත නම් නොඇලෙන සුලුங මොයිස්චර්රයිසර් එකක් භාවිත කරන්න. එහෙම නැත්නම් සමට සැහැල්ලුවක් ලබා දෙන, සමට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි anti-pollution moisturizer එකක් සහ සීරම් එකක් භාවිත කරන්න. ඔබේ සමේ කුෂ්ඨ රෝගයක් තිබෙනවා නම් මුහුණේ එම ස්ථානවලට zinc oxide ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. මුව ආවරණ දිගු වේලාවක් පැලඳ සිටීම නිසා ඇතැම් විට කන් පිටුපස ප්‍රදේශය, නාසයේ අවට සහ නිකට පහළින් රතු පැහැගැන්වීම සිදුවිය හැකියි. ඊට හේතුව මාස්ක් එකේ පටි ඉතා තද වීම හෝ මාස්ක් සේදීමට භාවිත කරන ද්‍රව්‍ය හෝ ඩිටර්ජන්ට් නිසා විය හැකිය. එම නිසා මුව ආවරණය පැලඳීමට පෙර හා ඉවත් කිරීමෙන් පසු ඔබේ මුහුණ පිරිසුදු කිරීමට අමතක නොකරන්න. මුව ආවරණ පලඳින විට මේකප් කිරීමෙන් හැකි තරම් වළකින්න. එයින් ඔබේ මුහුණේ සමට ඇතිවිය හැකි ගැටලු බොහොමයක් අවම කරගත හැකියි.

මෘදු හා හුස්ම ගැනීම පහසු මුව ආවරණ පමණක් තෝරා ගන්න. කපු රෙදිවලින් නිෂ්පාදනය කළ මුහුණු ආවරණ වඩාත් සුදුසුයි.

 

Comments