ලොවම දිනා තාරුණ්‍යයට බලාපොරොත්තු දෙන මහාචාර්ය තරුණයා... | සිළුමිණ

ලොවම දිනා තාරුණ්‍යයට බලාපොරොත්තු දෙන මහාචාර්ය තරුණයා...

මහාචාර්යවරයකු කී පමණින්ම අපගේ සිතට පිවිසෙනුයේ මැදිවියේ පසුවන පැසුණු හිසකෙස් සහිත පුද්ගල ස්වරූපයකි. ඇතැම් විටෙක මුහුණ පුරා වැවුණු රැවුලකින් ද එම තනතුරෙහි තේජස ඔප් නංවාලයි. එහෙත් අපගේ කතා නායකයා එසේ නොවේ. හෙතෙම කෙළිලොල් පෙනුමැති තාරුණ්‍යයේ පසුවන්නකි. එනිසාම මීට වසර තුනකට පෙර ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලැබූ තුන්වැනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානයට ද (TWAS - The World Academy of Science) Young scientist award – 2017) හිමිකම් කීවේය. හෙතෙම ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ළා බාලතම මහාචාර්යවරයා ද වේ. ඔහු රංගික උමේෂ් හල්වතුර ය.

වර්තමානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයකු මෙන්ම නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරන 42 හැවිරිදි මේ තරුණ මහාචාර්යවරයා, නව නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රායෝගිකව ජාත්‍යන්තර විද්වතුන් හා එක්ව නව තාක්ෂණය සම්බන්ධව විවිධ පර්යේෂණවල නිරතවෙමින් ද, සාමුහික නිර්මාණකරණයේ නිරතවෙමින් ද සිය වෘත්තීය ජීවිතයේ නිම් වළලු පුළුල් කරගනිමින් සිටියි.

වර්තමානය වනවිට නව නිර්මාණකරණයෙන් ඔහු විසින් අත්කරගනු ලැබූ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය 12කි. සොබාදහමට ලැදි ඔහුගේ වෘත්තිය වපසරිය ඉන් ඔබ්බට විහිදී යන්නකි. තමා උගත් දෑ ඇසුරෙන් ගෝලබාලයන් රැසක් බිහි කරලමින් රටට වැඩදායක පුරවැසියකු ලෙස ඉතා ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියමින් සිටී. ඒ සියල්ල ඔහු එක් රැයකින් අත්කර ගත් සාර්ථකත්වයක් නොවේ. ඒ සඳහා අපමණ කැපකිරීම් හා අධිෂ්ඨානශීලීත්වයක් ඔහුට තිබිණි. එවැනි කැපවීමක් වත්මන් තාරුණ්‍ය තුළ ඉතා විරලය. එය ඔහුගේ ද කනස්සල්ලට හේතුවී තිබේ.‘වත්මන් තාරුණ්‍යය ස්වාධීන නෑ. තනිව නැගී සිටීමක් කොහෙත්ම දකින්නට නෑ. වහල් මානසිකත්වය, අනුන් මත යැපීම, පරිසරයෙන් ඈත් ව ජීවත්වීම වැනි කරුණු ගණනාවකින් නිසා වර්තමානයේ තරුණ පරපුරෙහි ජීවිත අසාර්ථක බවක් පෙන්නුම් කරනවා.‘රසඳුන සමඟ දොඩමලු වෙමින් මහාචාර්යවරයා එසේ හඬ අවදි කළේය.

වසර 1978 නිදහස් දිනයේ කළුතර උපන් මේ විශිෂ්ට තරුණ මහාචාර්යවරයාගේ ළමාවිය ගෙවී ගියේ අපමණ දුෂ්කරතා මධ්‍යයේය. කළුතර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය හල්වතුර දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා වූ අතර, පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර විෂයයෙහිද කැපී පෙනුණු සිසුවකු විය. ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නායකත්වය දැරීමෙන් ද මැනවින් පන්නරය ලැබුවේය. ඒ සියල්ල අතර ක්‍රීඩාවෙන් ද දස්කම් පෑවේය. සිය බාල සොයුරු හමුදා නිලධාරියකු ලෙස ජීවිතය ගොඩනගා ගනිද්දී ඔහුට තිබුණේ ඉංජිනේරුවකු වීමේ නොතිත් ආසාවකි. බාස්කට් බෝල්, පාපන්දු, කායවර්ධන හා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සිය විදුහලට අපමණ ජයග්‍රහණය ගෙන දුන් හෙතෙම ගණිත අංශයෙන් ඉහළින්ම උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමෙන් පසුව ද ක්‍රීඩා කටයුතු අත් නොහැරියේය. අවසානයේ දී ඔහු සිවිල් ඉංජිනේරුවකු ලෙස පළමු පෙළ සාමාර්ථයකින් ගෞරව උපාධියක් අත්කර ගත්තේය.

‘තම හැකියාව, තම අභ්‍යන්තරයේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට වර්තමාන තරුණ පරපුර අසමත්වෙලා. තම අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය ඉස්මතු කරගැනීම වෙනුවට බාහිර සමාජයේ අවශ්‍යතා අනුව හැඩගැසීමටයි වත්මන් තරුණ පරපුර පෙලඹී සිටින්නේ. එනිසාම ඔවුන්ගේ ජීවිත අසාර්ථක වෙලා. ‘මහාචාර්යවරයා එසේ කීවේය.

‘වත්මන් අධ්‍යාපන ක්‍රමයත් ඊට බලපාන හේතුවක්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ අඩංගුවී ඇත්තේ විෂය නිර්දේශය ආවරණය කිරීමක් පමණයි. ප්‍රායෝගික දැනුමක් ලැබීමත්, ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් වෙනුවට පිළිතුරුවලට ප්‍රශ්න සෙවීමේ ක්‍රමයක් තමයි දැන් තිබෙන්නේ. ‘ඔහු පැවැසීය.

‘පරිසරයට, රටට, පාසලට, තමන්ගේ පවුලට, ගමට ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න පුරුදු විය යුතුයි. අපි කවුද කියන එක හඳුනා ගත යුතුයි. ඊර්ෂ්‍යාව, තරගකාරීත්වය විතරයි මේ අධ්‍යාපන ක්‍රමය තුළ පවා තිබෙන්නේ.‘‘ජීවිත විඳින්නේ නෑ විඳවනවා පමණයි. තමන්ට තමන් ගැන වටිනාකමක් ඇති කරගැනීමත්. තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය හඳුනා නොගැනීමත් නිසා තරුණ පරපුර මංමුළා වෙලා කියලයි මට හිතෙන්නේ.‘මහාචාර්යවරයා වැඩි දුරටත් එසේ කීවේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි වෛද්‍ය චරිතා පෝරුතොට සමඟ 2004 වසරේදි අතිනත ගත් මහාචාර්යවරයා දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. පෞද්ගලික ජීවිතයේ සියලු වගකීම් නොපිරිහෙළා ඉටු කරන අතරතුරම, සමාජයට වැඩදායක යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම ඔහුගේ බලාපොරොත්තුවයි. නව සංකල්ප තුළින් ශ්‍රී ලංකාවට අපමණ කීර්තියක් හා ගෞරවයක් ගෙන දෙමින් සිය ඉලක්ක වෙත ජයග්‍රාහීව ගමන් කරමින් සිටින මහාචාර්ය උමේෂ් හල්වතුර වත්මන් තාරුණ්‍යයට කදිම නිදසුනකි. ජීවිතය සාර්ථක කරගැනීමේ අතිශය වැදගත් සාධක ගණනාවකින්ම පිරිපුන් හෙතෙම අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමෙන් තාරුණ්‍යය මැනවින් වර්ණවත් කරගත් අතරම, සිය ජීවිතයේ සාර්ථකත්වය තුළින් ඔහු වත්මන් තාරුණ්‍යයට කදිම නිදසුනක් ද පෙන්වා දී තිබේ.

 

Comments