දෙතැනක සිටියත් සහෝදර බැඳීමක ගැඹුර කියන අයියයි නංගියි.. | සිළුමිණ

දෙතැනක සිටියත් සහෝදර බැඳීමක ගැඹුර කියන අයියයි නංගියි..

 

සහෝදර බැඳීම කියන්නෙ සම් මස් ලේ නහර විනිවිදින තියුණු බැඳීමක්. ඒ වගේ සහෝදර බැඳීම් සහිතව ජීවත්වෙද්දි කවදාත් හුදකලාවක් තනිකමක් දැනෙන්නෙ නෑ... තමන් වෙනුවෙන් තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය ලෝකෙ කොතැනක හරි ජීවත් වෙනවා කියන හැඟීම් මාත්‍රය ගේන්නෙ ලොකු හයියක්...

එවැනි සහෝදර ප්‍රේමයක මිහිර ගැන කියන්න අද අප සමඟින් දොඩමළු වුණේ මෙරට ප්‍රවීණ ගායක යුවළක් වන එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනි පිරිස්ගේ ආදරණීය පුතු චන්දීප ජයකොඩි සහ දියණිය ශාරන්‍යා ජයකොඩි. චන්දීප අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකාවට ඇවිත් සිටියත් ශාරන්‍යා තවම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඒ සියලු වැඩ කටයුතු අතරේ චන්දීප පළමුවෙන්ම මතකය අවදි කළා.

" නංගි මට වඩා අවුරුදු හතක් බාලයි. සුදු පාට පුංචි දරුවෙක් මුලින්ම ගෙදරට ගේනවා මට මතකයි. මට ලොකු තේරුමක් නැති නිසා කවුද මේ එන්නේ කියලා බලන් හිටියා. දවසක් දෙකක් මෙයා ගෙදර ඉන්නකොට තේරුණා යන්න නෙවේ ඇවිත් ඉන්නේ ඉන්නම තමා කියලා. පොඩ්ඩක් ඇවිදින්න පටන් ගනිද්දී නංගි සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. ඒත් එයා හරිම පුංචියි. බෝලයක් දැම්මත් ගණන් ගන්නෙවත් නැහැ. පුංචි කාලේ උපන් දිනෙකට ලස්සන ගවුමක් ඇඳලා සපත්තු දාලා පුංචි කිරිල්ලියෙක් වගේ පෝනිටේල් එකක් දාලා හිටියත් මට මතකයි.

එක පාරක් අපි දෙන්නා සාලේ සෙල්ලම් කරද්දි නංගි අතින් වීදුරු වාස් එකක් බිඳුණා. මම තරහා මුණක් හදන් බය කරන්න යද්දිම එයා කොස්සක් අරගෙන මගේ පිටට ගැහුවා. එතකොට එයාට අවුරුදු හයක් විතර ඇති. මට එහෙම ගහලා නංගි තමයි අඬාගෙන ගිහින් තාත්තට කිව්වේ. බැණුම් ඇහුවේ මම. එයා තාත්තාගේ මැණිකනේ. තාත්තා පුදුම ආදරයක් තියෙන්නේ. සමහර වෙලාවට මම සැර කරල නංගිට පොඩි තට්ටුවක් දැම්මත් තාත්තා කැමති නැහැ. පුංචි කාලේ එයා කරන දඟ වැඩවලට බැනුම් අහන්නෙ මම.

නංගි ටික ටික ලොකු වෙද්දී එයා ගැන ලොකු වගකීමක් මට දැනුණා. ඉතින් ඉස්කෝලේ ගිහින් ගෙදර ආව ගමන් නංගි මොකද කරන්නේ කියලයි මම හොයලා බලන්නේ. ඉස්කෝලේ ඉන්න කාලේ මම ප්‍රිෆෙක්ට් ඩියුටි යන ගමන් නංගිගේ පන්තියට ඔළුව දාලා කතා කරනවා. ගෙදරදී පාඩම් වැඩ බලෙන්ම කියා දෙනවා. ජිම් එකට ගියත් ක්‍රිකට් ගහන්න ගියත් නංගිව අරගෙන යන්න තමයි මට ඕනි. එයා ඉතින් සමහර වෙලාවට ඒවට අකැමැතියි. නංගී හරිම ස්වාධීන දක්ෂ පරිණත ළමයෙක්. එයා කරන දේ උපරිමයෙන්ම කරනවා. ඒ ගැන මට හරි ආඩම්බරයි.

ඒ හැම දෙයක් දිහාම මම ඇහැ ගහගෙන ඉන්නවා. මොකද නංගිගේ හිත ටිකක් හරි රිදුනොත් මට දුකයි. මට ප්‍රශ්න ආවොත් මං එක්ක ඉන්නේ මගේ හිත හදන්නේ නංගි. නංගිගේ හිත රිදුනාම නම් හදන්න හරි අමාරුයි. ඒ වෙලාවට එයා නිදාගන්නවා. මම ගිහින් ඔළුව අතගානවටත් කැමති නැහැ. මම ඉතින් සමහර වෙලාවට අහනවා අපි එළියට ගිහින් මොනා හරි කාලා එමුද කියලා. ඒ වෙලාවට මුණ නිකම් තරුවක් වගේ එළිය වැටෙනවා. ඇත්තටම නංගී නැති තැන හරිම පාළුයි. දවසක එයා මට නිතරම දකින්න පුළුවන් දුරකින් ඉන්නවා නම් මම කැමතියි. ජීවිතේ හැම මොහොතකම එයා මම ළඟින් ඉන්න බවත් මම දන්නවා. මමත් ගෙදරින් වැඩිපුරම ආදරේ නංගීට තමයි. මට එයාව හරියට ආරක්ෂා කරගන්න ඕනි. “

චන්දීප ඒ අසීමිත සහෝදර ප්‍රේමය ගැන කියද්දි ශාරන්‍යාත් කතාවට එකතු වූණා.

“ අපි අතර තිබුණු වයස් පරතරය එක්ක පොඩි කාලේ ටිකක් විතර දුරස්. අපි සමීප වෙන්න පටන් ගන්නේ අවුරුදු දහසයක් වගේ වෙනකොට. අයියා පොඩි කාලේ දඟයි. මට මුලින්ම මතක අපි දෙන්නාගේ පොඩි පොඩි රණ්ඩු තමයි. මම අම්මට හරි තාත්තට හරි කියලා එයා බැණුම් අහද්දී මට ඉතින් සමහර වෙලාවට දුකයි. එක පාරක් ඉස්කෝලේ වීදුරු දොරක් කඩලා අම්මලා ඒකට ගෙව්වත් එක්ක.

ඉස්සර මම කෑමක් ගෙදර අරන් ඇවිත් ෆ්‍රිජ් එකේ දැම්මාම පහුවදාට ඒක නැහැ. පස්සේ මම අයියා නංගි කියලා කෑමවලට ලේබල් ගැහුවා. ගෙදර ඉන්නකොට අයියා හැමදාම රෑට නූඩ්ල්ස් හදනවා. අතට අහු වෙන සීමාවේ තියෙන ඕන කුළුබඩුවක්, සො‍ෙස්ජස් මස් හැම එකම දාලා එයා ඒක කොත්තුවක් කරනවා. රසයි. ඒත් ඇහැට හරි අමාරු නිසා මං කොහොම මඟහැරියත් බලෙන්ම ඇවිත් දෙනවා ඒක රහ බලන්න.

මට මතකයි මගේ යාළුවන්ට ඉස්කෝලේ යන කාලේ ෆෝන්, ෆේස්බුක් එකවුන්ට් එහෙම තිබුණා. ඒත් මට අවුරුදු දහසයක් විතර වෙනකල් අයියා මට ෆෝන් ගන්න දුන්නේ නැහැ. එයා තමයි පොඩි කාලේ ඉඳන් මට ගොඩක් නීති දැම්මේ. ඒ කාලේ ඒවට අකමැති වුණත් දැන් තේරෙනවා ඒ නීතිවල හොඳ ප්‍රතිඵල.

අයියා නිතරම මාව ගොඩක් ආරක්ෂා කරනවා. මමත් එහෙමයි. අයියා මගේ ජීවිතේ හිටියේ නැත්තම් මම මෙච්චර තැනකට එන එකක් නැහැ. අයියා මගෙත් එක්ක මෙහෙ හිටියා නම් කියන හැඟීම ඒ පාළුව ගොඩක් දැනෙනවා. කවදාහරි අයියා එයා කැමති දෙයක් කරලා කොහේ හරි තැනක සතුටින් ඉන්නවා දකින්න මම ආසයි. “

ඔවුන්ගේ ඒ අපූර්ව සහෝදර බැඳීම ගැඹුර ඒ හඬෙත් ගැබ් වෙලා තිබුණා. එවන් සංසාරික සහෝදර බැදීම් හිමිවීමම කොයිතරම් නම් වාසනාවක් දැයි හිතුණා.

 

[email protected]

Comments