ජීවිත විවරණයක යෙදෙන නිර්මාණවලට තවමත් මේ රටේ ඉඩක් තියෙනවා... | සිළුමිණ

ජීවිත විවරණයක යෙදෙන නිර්මාණවලට තවමත් මේ රටේ ඉඩක් තියෙනවා...

සංසාරණ්‍ය අසබඩ" ටෙලි නාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වනවා. එය වෙනස්ම ආරක නැවුම් අත්දැකීමක් .මෙම නිර්මාණයේ නිෂ්පාදකවරිය ඈන් මේරී ඩන්ස්පෝඩ් සමඟ නිර්මාණයේ පසුබිම පිළිබඳ අද අපි කතා බහ කළේ ඒ නිසයි.

"සංසාරණ්‍ය අසබඩ" ටෙලි නාට්‍ය නිර්මාණය වන්නේ මගේ දෙවෙනි නිෂ්පාදනය විදිහට. මා නිෂ්පාදනය කළ පළමු ටෙලි නාට්‍යය "ප්‍රාණ" ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වූණේ සංජය නිර්මාල්. එය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණා. අලුත් නිර්මාණයක් පිළිබඳ මගේ අදහසක් තිබුණා. මම හොඳ පිටපතක් සොයමින් ඉන්න අතරතුර ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහත්මා සතුව මේ තිර පිටපත තිබෙන බව මට දැනගන්න ලැබුණා. පසුව මං ඒ මහත්මයාව මුණ ගැහුණා. එහිදි තමයි මුලින් දැක්කේ සාහිත්‍ය සූරි සයිමන් නවගත්තේගම අතින්ම ලියූ මේ තිර පිටපත. මේ නවකතාව පිළිබඳ මූලික අදහසක් මට තිබුණා. ඒ නවකතාව කලින් මා කියවා තිබුණු නිසා. එය අභියෝගාත්මක තේමාවක්. අධක්ෂවරයා වන සංජයත් සමග කතාබහ කරලා හොඳ නිර්මාණයක් කරන අදහසින් තමයි මේ තිර නාටකය ටෙලි නාට්‍යයකට නිර්මාණය වීමේ පසුබිම ගොඩනැඟෙන්නේ.

වර්තමානයේ බිහිවෙන බොහෝ නිර්මාණ පිළිබඳ නිර්මාණකරුවන් පවා පෙනී නොසිටින පසුබිමක, නවකතාවක් පදනම් වූ තම දෙවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ ඇගේ වගකීම පිළිබඳත් ඇයට තිබුණේ මෙහෙම අදහසක්.

මං පුංචි කාලේ ඉඳලා පොත පත කියවන්න කැමැති කෙනෙක්. මගේ පාසල වුණේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය. උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝර ගත්තත්, ඉඩ ලැබෙන වෙලාවට හොඳ නිර්මාණ රසවිඳින පසුබිමක් තිබුණා.

මට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් ජනතාව අතරට ගෙන යන්න. ස්වාධීන රූපවාහිනියෙන් මෙන්ම අන්තර්ජාලයෙන් මේ ටෙලි නාට්‍යය බොහෝ පිරිසක් නරඹනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජීවිතය පිළිබඳ කිසියම් විවරණයක යෙදෙන නිර්මාණාත්මක අදහස්වලට මේ සමාජයේ ඉඩකඩක් තියෙනවා කියලා මම කවදත් විශ්වාස කරනවා. ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම වර්තමානයේ අභියෝගයක්. කාන්තාවක් ලෙස ඇය එයට මුහුණ දෙනවා. ඒ වගකීම පිළිබඳ ඇය අප සමඟ කතාබහ කළා.

“මා ව්‍යවසායිකාවක්, නිමි ඇඳුම් ව්‍යාපාරිකාවක් විදිහට අත්දැකීමක් ලැබු කෙනෙක්. අපේ සමාජය පිළිබඳ වගකීමකින් බලන එකත් අපේ යුතුකමක්. අද සමාජය වඩාත් සංකීර්ණයි. සමහර ගැටලුවලට නිදහස් පරිසරය ගහකොළ ඇළ දොල ගංගා මොන තරම් සහනයක්ද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. සංසාරණ්‍ය අසබඩ නිර්මාණය වන්නේ අපේ ජීවිත එක්ක බැඳුණු මහා වනයත් එක්ක. ඒ ගිරිදුර්ග ජීවිත තුළත් අපි අත්දකිනවා. එතනදි නිර්මාණාත්මක පරිශ්‍රමයක් දරන්න අනිවාර්යෙන්ම සිදුවුණා. මේ පිටපත විශ්වාසනීයව ප්‍රතිනිර්මාණය කරන අධ්‍යක්ෂකවරයා හා අනෙකුත් නිර්මාණකරුවන්ගේ ශිල්පීය දායකත්වය අමතක කරන්න බැහැ. ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා පැත්තෙන් බැලුවත් අලුත් තාක්ෂණයත් එක්ක ලෝකයේ බිහිවෙන විශිෂ්ට නිර්මාණ නරඹන පිරිසක්. ඒ නිසා ටෙලි නාට්‍යයක් නරඹන්න අද ඔවුන් කිසියම් තෝරා ගැනීමක් කරනවා. එනිසා අපිට නිර්මාණයක් තුළ අනිවාර්යෙන් වගකීම් සහගත විය යුතුයි.“

වර්තමාන ටෙලි නාට්‍ය කර්මාන්තය පිළිබඳ අර්බුදයක් පිළිබඳ සාකච්ඡා වනවා. ඒ පිළිබඳ ඇගේ අදහස අහන්න අමතක කළේ නෑ. “අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තය පිළිබඳ අඩු තක්සේරුවෙන් කතා කරන්නේ, නිර්මාණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි පසුබිමකයි . නමුත් හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා. එයට නිර්මාණාත්මක තිර රචනා බිහිකර ගත යුතුයි. අපේ රටේ හොඳ තරුණ නිර්මාණකරුවන්, දක්ෂ නළු නිළි පිරිසකුත් ඉන්නවා. නිර්මාණ ජනතාව අතරට ගෙන යන මාධ්‍ය ආයතනත් එකතු විය යුතුයි. ‘සංසාරණ්‍ය අසබඩ‘ විකාශනය වන්නේ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ. ඒ වෙනුවෙන් සභාපතිතුමාට සහ අනෙකුත් වගකිව යුත්තන්ට ස්තුති කළ යුතුයි. මගේ පළමු නිර්මාණය ඇගැයීම් උළෙල කිහිපයක ප්‍රධාන සම්මාන අටකට නිර්දේශ වුණා. මගේ ගමනට එය හොඳ ආරම්භයක්.

මේ දිනවලත් අලුත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරමින් ඉන්නේ. එය අපේ සංස්කෘතිය තුළ පැවැති ආහාර රටාවෙන් ඈත්වීමත්, උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයේ අර්බුදයත් යටි පෙළක් විදිහට ගොනුවන තේමාවක් සහිත කතාවක්. “

‘සංසාරණ්‍ය අසබඩ‘ ටෙලිනාට්‍ය පිළිබඳ අවසන් වශයෙන් ආපසු හැරී බැලුවොත් කියන්න ඇත්තේ කුමක්දැයි විමසන විට ඇය කිව්වේ මෙවැනි අදහසක්.

සාහිත්‍ය සූරී සයිමන් නවගත්තේගම අපට කවදාවත් අමතක කරන්න බැහැ. තිර රචනයේ දී ඔහු නිර්මාණය කළ පසුබිම ප්‍රතිනිර්මාණය කරන්න, අධ්‍යක්ෂවරයාගේ සිට කලා අධ්‍යක්ෂවරයා ඇතුළු බොහෝ දෙනකුගේ දායකත්වය ලැබුණා. ඔවුන්ගේ සාමුහික නිර්මාණ ශ්‍රමය මේ කෘතිය පිටුපස තිබෙනවා. ඒ හැම දෙනාවම ගෞරවයෙන් සිහිපත් කරනවා. රටේ නිර්මාණ රස විඳින ප්‍රේක්ෂකයාට තෘප්තියක් ඇතිවන නිර්මාණයක් ඉදිරිපත් කරන්නයි අවශ්‍ය වුණේ. එය අල්ප මාත්‍රයකින් හෝ ඉටු වුණා නම් එය තමයි මගේ සතුට.

 

[email protected] 

Comments