ජීවිතය සාර්ථක කරගැනීමේ සරල ක්‍රමවේද | සිළුමිණ

ජීවිතය සාර්ථක කරගැනීමේ සරල ක්‍රමවේද

අපි හැමෝගෙම ජීවිතවල මොන දේ කළත් වරදින, මොන විදියට දවස පටන් ගත්තත් දවස පුරාම මොන කටයුතුවල නියැළුණත් කිසිම සාර්ථකත්වයක් අත් කර ගන්න බැරි දවස් හෝ අවස්ථා තිබෙනවා. එවැනි කාරණාවලට ජ්‍යෝතිෂය පැත්තෙන් තිබෙන සරල විසඳුම් ගැන අද අපි කතා කරමු. බොහෝ කාර්යන් සාර්ථක කරගැනීමේ ඉතා සරල ක්‍රමවේද ජ්‍යෝතිෂයේ තිබෙන බව ආචාර්ය කේමන් කුලසිරි මහතා පවසයි. එවැනි ක්‍රමයක් පිළිබඳ අද ඔහු ඔබ දැනුම්වත් කරයි.

උදෑසන අවදි වූ විගස එතැනම සිට එරමිණියා ගොතා වාඩි වෙන්න. ඉන් පසු වම් අත මිට මොලවා නහය අසලට ගෙන එක් වරක් නහයෙන් පිඹින්න. මෙහිදී ඔබට එක් නාස් පුඬුවකින් වැඩිපුර හුස්ම පිටවන බව දැනෙයි. දෙකෙන්ම එක සමානව එය දැනෙන්නේ නම් එය එතරම් හොඳ දිනයක් නොවෙනු ඇත. වැඩිපුර හුස්ම පිට වනවා දැනුණ පැත්ත වම නම්, වම් අතින් මුහුණේ වමේ සිට දකුණට තුන් වරක් රවුමට මුහුණ පිසදමන්න. දකුණ නම් දකුණේ සිට වමට මුහුණ පිසදමන්න.

මෙසේ සිදු කොට දවසේ වැඩ ආරම්භ කළොත් වෙනදාට වඩා දවසේ වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකි වනු ඇත. මෙහිදී කළ යුතු සහ නො‍කළ යුතු මෙන්ම දැන සිටිය යුතු කරුණුත් කිහිපයක්ම තිබෙනවා. සුසුමක් වැටෙන ආකාරය අනුව ක්‍රියා කටයුතු වෙනස් විය යුත්තේ මේ ආකාරයටයි.

වම් නාසයෙන් වැඩිපුර සුළං පිට වන දිනයක් යනු ඔබට ධනය ඉපැයීමේ ගමනක් යෑමට ඉතාම සුභ දිනයකි.

එමෙන්ම රැකියාවේ ජයග්‍රහණ ලබාගැනීමටද ඉතා සුභ දිනයන් ය. වැදගත් ගමන් බිමන් සඳහාත්, ඔබට වඩා උසස් අයෙක් හමු වීමට, රාජ්‍ය කටයුත්තක් සඳහා, සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට, ගිවිසුමක් අත්සන් කිරීම වැනි කටයුත්තක් සඳහා වම් නාසයෙන් වැඩිපුර සුසුම් පිටවන දිනයක් යනු ඉතා සුභ දිනයක් ය. එමෙන්ම මුදල් ගනුදෙනු සඳහාත් වම් නාසයෙන් වැඩිපුර සුළං පිටවන කාලය යනු සාර්ථක වේලාවක් ය.

මෙම සුළං පිට වීම ඔබට දිනය පුරා පරීක්ෂා කරමින් දවසේ කටයුතු සිදු කළ හැකිය. ඔබ ගොවිතැන් කටයුත්තක නියැළීමට සැරසෙන්නේ නම් එය ආරම්භ කිරීමට පෙර සුළං පරීක්ෂාව සිදු කරන්න.

ආදරවන්තයන්ට මෙන්ම, නව යුවළකටද, ගේ දොර බැලීමට යන අයටද වම් නාසයෙන් වැඩිපුර සුසුම් පිටවන්නේ නම් එම ගමන් බිමන් වලට එය ඉතා සුබ ලකුණකි. දුර ගමනක් යෑමට ඔබ පිටත් වන්නේ නම් ඔබ මෙම ක්‍රමය අනුව ලබන්නේ වම් පස නම් එම වේලාවේදී ගමන ආරම්භ කිරීම ඉතා සුබදායක ය. ඔබට නිවෙසක පදිංචි වීමට අවශ්‍ය නමුත් නැකතක් බලාගැනීමට හැකියාවක් නැති අවස්ථාවකදී ඔබට මෙම පරීක්ෂාව කළ හැකිය. එමෙන්ම රෝග ප්‍රතිකාර කාල සඳහාත් වම් නාසයෙන් වැඩිපුර සුළං පිට වන කාලය ඉතා යහපත් ය.

සුසුම් පරීක්ෂාවේදී වැඩිපුර සුසුම් වැටෙන්නේ දකුණු නාසයෙන් නම්, එම කාලය සුව නින්දකට ඉතා සුදුසු කාලයකි. එමෙන්ම පොත පතක් ලිවීමටත් එම කාලය ඉතා සුදුසුයි. ඔබට රැකියාවකට ඉල්ලුම්පතක් පිරැවීමට, කලා නිර්මාණයක නියැළීමේදී, ක්‍රීඩා කටයුතුවල යෙදීමේදී, විවාහ යෝජනාවක් කිරීමට, අපහසුදායී ගමනක් බිමනක් යෑමේදීත් මෙන්ම දේවාශිර්වාදය ලබා ගැනීමේදීත් මෙම දකුණු නාසයෙන් වැඩිපුර සුසුම් පිටවන කාලය සුභදායී ය.

ආහාර අනුභවයේදී ඔබට අගුණ වේ යැයි සිතෙන ආහාරයක් වේ නම්, දකුණු නාසයෙන් සුළං පිටවන වේලාවක එය අනුභව කරන්නේ නම් එහි කිසිදු අගුණයක් නොවේ.

මෙසේ ඉතා සරල හඳුනා ගැනීමකින් එදිනෙදා කටයුතු සාර්ථක කරගැනීමට හැකි බව දැන සිටියාද? මෙවැනි සරල ක්‍රියාවකින් දවස ආරම්භ කර දින කිහිපයක් මෙය සිදු කර බලන්න. දවස ඉතා සාර්ථක මෙන්ම බලාපොරොත්තු වන අයුරින් ගත කර සුභ ඵල ළඟා කර ගැනීමට හැකි වනු ඇත.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කේමන් කුලසිරි

[email protected]

Comments