කලා වැව පාමුල වැඩ හිඳින බුදුන් දකින්නට ගියෙමි | සිළුමිණ

කලා වැව පාමුල වැඩ හිඳින බුදුන් දකින්නට ගියෙමි

සංචාරය කියන්නේ හාත්පස චමත්කාරය විඳිමින් හැල්මේ යෙදෙන ගමනක්ම නොවෙයි. දැනුම, අධ්‍යාත්මික සංයමය, සංස්කෘතික ඇගැයීම්වල ගැඹුර විමසන ආත්මීය පර්යේෂණයක්. රජරට සංචාරයක් කියන්නේම මහා ඉතිහාසයක් ඔස්සේ කරන සොඳුරු සක්මනක් කියලයි හිතෙන්නෙ.

මහා සාගර බඳු දැවැන්ත වෑ දිය සිපගෙන එන සිහිල් සුළංරැළි ඒ අතීත ජීවගුණයේ චමත්කාරය කියනවා. කලා කෘතියකටත් වඩා මනරම් කලා වැව පාමුල ජීවමාන බුදුන් සේ වැඩ හිඳින අවුකන පිළිම වහන්සේ දකින්න යන්න හිතන්නේ ඒ හැඟීම් ගොන්න හින්දා.

කොළඹ ඉඳලා අවුකනට යනවා කියන්නෙම අඩුම තරමින් පැය 4ක ඉක්මන්වන ගමනක්. සමහර විට පැය පහක් ගතවෙන්නත් පුළුවන්. ඒ නිසා උදේ පාන්දර 4.30ට කොළඹ කොටුවෙන් කැකිරාව හරහා අනුරාධපුරයට යන බස් එකකට ගොඩ වුණේ අඩුම තරමින් දහයට කලින්වත් අවුකන ප්‍රතිමාවහන්සේ දකින්න හිතාගෙන.

කරදයකින් තොරව වේගයෙන් ඇදුණු බස් රථය 8.30 විතර වනවිට කැකිරාවට ළඟා වුණා. එතැනින් ගල්නෑව බස් එකකට නැගලා අවුකන හන්දියෙන් බහිනකොට තවත් පැයක් විතර යන්න ඇති. අවුකන හන්දියෙන් බැහැලා ත්‍රී රෝද රථයකින් අවුකන පන්සලට යන්නනම් විනාඩි 10ක් වත් ගතවෙන්නෙ නෑ. අවුකන පොලිස් මුරපළ ළඟින් බහිනකොටම පෙනුණෙ කලක් මනරම් ලෙස නඩත්තු කර පවත්වා ගන්නට උත්සාහ කළ බව පෙනෙන, එහෙත් මේ වනවිට වල්බිහිව යන භූමි දර්ශනයක්. නඩත්තුවකින් තොරව ඇති හාත්පස පරිසරය සියුම් වේදනාවක් උපදවන්නෙ මේ අප පැමිණ ඉන්නේ මේ රටේ අග්‍රසර කලා කෘතියක් දකින්න නේද කියලා හිතෙනකොට. මේ කලා නිර්මාණය දකින්න ලෝකයේ බොහෝමයක් රටවලින් පැමිණෙනවා. ඔවුන් මේ ස්ථානය දකින්න ගෙවීමකුත් කරනවා. ඔවුන්ට මොනවගේ හැඟීමක් මේ පරිසරයෙදි අපේ රට ගැන ඇතිවෙනවද කියලා මට කල්පනා වුණා.

අාධාර එකතු කරන්න නොනවත්වා නඟන හඬ අසමින් පන්සල ඉදිරියෙන් ගමන් කර ඒ විශිෂ්ට කලාකෘතිය දකින්න පියවර මැන්නා. ඉදිරියෙන් බෝධීන්වහන්සේ සහිත මළුව. බෝ පත් අතරින් අවුකන ප්‍රතිමාවහන්සේගේ සිරස පෙනෙමින් තිබෙනවා. බෝ මළුව යටට පැමිණි පසු ඒ උත්තුංග කලා කෘතිය ඇස් මට්ටමෙන් දකින්න පුළුවන්. එය නම් අසීමාන්තික ශාන්තියක් උපදවන මනරම් දැකුමක්. මේ හැඟීම් කියන්න වචන බොහොම පුංචි වැඩියි. මා ඒ බෝ සෙවණ යට නිසොල්මන්ව බලාගෙන සිටියා.

ජනප්‍රවාදය අනුව මේ ප්‍රතිමාව නිර්මාණය වන්නෙ ක්‍රි.ව. 459-477 අතර ලංකාව එක්සේසත් කරමින් රජ කළ සමෘද්ධිමත් මහා රාජයෙක් වූ ධාතුසේනයන් ගේ අනුග්‍රහයෙන්. මේ ප්‍රතිමාව නිර්මාණය කළ බව කියන්නෙ භරණ නමැති ගල් වඩුවෙක්.

එම පුරාවෘත්ත වලට අනුව මෙම නිර්මාණය ගුරු ගෝල තරගයක ප්‍රතිඵලයක්. අතීතයේ භරණ ගල්වඩුවාට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශය හෙවත් බාමියන් රට ලෙස හැඳින්වූ ඇෆ්ගනිස්තානයෙන් ගුරුවරයෙක් ගෙන්වාගෙන තිබෙනවා. අවුකන පිළිමයට එම නම වැටී ඇත්තේ එම ගුරුවරයා අවකන් දේශයේ සිට පැමිණි නිසා බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. එකම කාලවකවානුවක ගුරුවරයා සහ ගෝලයා පිළිම දෙකක් නෙළීමේ කටයුතු ආරම්භකර තිබෙනවා.

තරඟ නීති රීතිවලට අනුව පළමුව පිළිමයේ වැඩකටයුතු නිමකරන තැනැත්තා " හූ " හඬක් මඟින් අනිකාව දැනුම්වත් කළ යුතුව තිබුණු බව කියැවෙනවා. ඒ අනුව ගෝලයා විසින් අවුකන පිළිමයත් ගුරුවරයා විසින් ඊට කිලෝ මීටර 16ක් දුරින් පිහිටි රැස් වෙහෙර හෙවත් සැස්සේරුව බුද්ධ ප්‍රතිමා නෙළන්න අරන් තිබුණා...

ඒ අනුව ගෝලයා විසින් අවුකන බුද්ධ ප්‍රතිමාවේ වැඩකටයුතු නිම කර ඒ බව සිය ගුරුවරයාට හූවකින් සංඥා කර තිබෙනවා. නමුත් ඒ වන විටත් රැස්වෙහෙර ප්‍රතිමාවේ වැඩකටයුතු නිමකර ගැනීමට නොහැකි වූ ගුරුවරයා ලැජ්ජාවට පත් වී ඒ මොහොතේම පිළිමය නෙළමින් සිටි පර්වතයෙන් පැන සිය දිවි නසාගත්ත බව කියනවා. අදටත් රැස්වෙහෙර ප්‍රතිමාවේ ප්‍රාථමික ලක්ෂණ පෙන්නුම් කරන්නේ එහි වැඩකටයුතු ශිල්පියා විසින් අවසන් නොකර තිබීම නිසා බවයි කියැවෙන්නේ.

මා බෝ මළුව මැදින් ගමන් කර අවුකන ප්‍රතිමා වහන්සේ වැඩ හිඳින මළුව වෙත ඇති පියගැට පෙළ බසිමින් ළඟා විය. කුරාකුහුඹුවෙක් වැනි මා අභියස මේ මහා පෞරුෂවත් ප්‍රතිමාවහන්සේ වැඩ හිඳිනවා.

මනාලෙස සිළුටු කර විසල් පද්මාසනය මත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පූර්ණ ප්‍රතිමාවහන්සේ පෙනෙනවා . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැනීම්වලට අනුව උන්වහන්සේගේ උස මීටර 11.36ක්. ශරීරයේ බර දෙපා මත සමව දරාගෙන ඉන්නා අයුරින් වැඩ ඉන්න ප්‍රතිමාවෙ දකුණු හස්තයේ අභය මුද්‍රාව ප්‍රකට වන අයුරු, වම් අත උරහිස් මට්ටමට ඔසවා සිවුර අල්ලාගෙන සිටින අයුරු, ඒකාංශ රූප ක්‍රමයට සිවුර පොරවා ඇති අයුරු මොනතරම් විශිෂ්ට ලෙස මේ නිර්මාණකරුවා අතින් නිම වී තිබේදැයි වටහා ගන්නත් අමාරුයි. මේ නිර්මාණය බිහිවන්න කලින් මේ ප්‍රතිමාවහන්සේ පිළිබඳ චිත්ත රූප මැවූ මුණිවර කලාකරුවා සම්බන්ධව උපදින්නේ මහා ගෞරවයක්. මේ ගල් කුළමත ප්‍රතිනිර්මාණය වෙලා තිබෙන්නෙ ඒ කලාකරුවාගේ ශාන්තුවර මනෝභාවය නේද කියලා හිතුණා.

තැනක හඳුන් කූරක් දැල්වෙනවා. පහන් වැටින් එන පහන් තෙල් සුවඳෙහි සැහැදැවත් උවැසු උවැසියන්ගේ ප්‍රාර්ථනා මුහු වෙලා ඇති බව දැනුණා. දොහොත් මුදුන් දී වන්දනා කරන අතරම ඒ හිත් නිවාලන සුවය විඳිමින් මා ප්‍රතිමා වහන්සේ පිහිටි පුරාණ ප්‍රතිමා ගෘහයේ බිත්තියකට පිට දී හිඳගත්තා. අප්‍රමාණ සැනසීමක් සිත පුරා දෙනෙත් පියාගෙන වින්දා.

[email protected]

Comments