ආරාධිත කොලම | සිළුමිණ

ආරාධිත කොලම

හීන පේනවයි හීන මවනවයි කියන්නෙ එකක් නොවෙයි, දෙකක්. හීන පෙනිලා නැති කෙනෙක් නැති තරම්. නින්ද ගියාම අපි කාටත්. එක එක හීන පේනවා .හැබැයි හීන මවනවා කියන එක හැමෝම කරන්නේ නැහැ, ඒක ඉබේ වෙන්නෙත් නැහැ.

අප හිතලම හීන මවාගන්න ඕන. ඒත් ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ හොඳම කාලෙදී කනවා බොනවා ඇරෙන්න වෙන මුකුත් ලොකු හීන නැහැ . උත්තරයක් විදිහට කෙනෙකුට කියන්න පුළුවන් ''අපි සරලයි සුන්දරයි'' කියලා , හැබැයි එහෙම කියන අයම ටික කාලයක් යනකොට ඒ සරල බව එපා වෙලා , ජීවිතේම කලකිරිලා හුස්ම වැටුණත් ආත්මය මැරුණු මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔවුන්ට හැබෑ කරගන්න හීන, අරමුණු නැහැ. උපන් පළියට මැරෙනකම් බඩ පුරෝගෙන ඇඟ වහගෙන හිටියම ඇති කියලා හිත හදාගෙන ජීවිතේ කියන දේට පය ගහලවත් නැති එහෙම මිනිස්සු එක්ක විනාඩි පහක් කතා කරන කෙනෙකුටත් ජීවිතේ කලකිරෙනවා.

අවදානම් නොගත්ත, හීන නැති ඒ වගේ මිනිස්සුන්ගෙ ලෝකෙ හරිම පොඩියි, පටුයි. අවුරුදු ගණන් හීන දැකලා ඒ හීන වෙනුවෙන් අප්‍රමාණව කැපවෙලා , හීන පස්සේ දුවන ඒ වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සුන්ගේ ලෝකේ ඊට වඩා මාර වෙනස්. හඹා යන්න අරමුණක් තියන මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. ඇඟට වඩා හිත හයිය එහෙම මිනිස්සු හීන හැබෑ වුණත් නැතත් ජීවිතේ රහ හරියටම විඳිනවා .අපි කවුරුත් හිස් අතින් මේ ලෝකෙට ඇවිත් ආපහු යන්නෙත් හිස් අතින් තමයි. හැබැයි ඒකෙ තේරුම මැරෙනකම් හිස් අතින්ම ජීවත් වෙන්න ඕනෙ කියන එක නෙවෙයි.අවසානයක් නොදන්න මේ කෙටි ජීවිත ගමනේ මැරෙනතුරුම අලුත් අලුත් හීන මවන්න කාටවත් කිසිම බාධාවක් නැහැ.

Colonel Sanders අවුරුදු 62 දී KFC පටන් ගන්නෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඇමරිකාව පාලනය කරන්නෙත් ශාරුක් ඛාන් ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයෙක් වෙන්නෙත් කාලෙකට කලින් හිතෙන් මවාගත්ත හීනවල ප්‍රතිඵල විදිහට තමයි .යන්නන් වාලෙ යනව වෙනුවට අරමුණක් පස්සේ යද්දී අපේ ගමන වේගවත්... වගේම පරෙස්සම්. එක අරමුණක් පස්සේ තවත් අරමුණක් හදාගෙන හරි ගියත් වැරදුණත් දෙකම උපේක්ෂාවෙන් දරාගෙන හීන පස්සෙන් හඹා යන මිනිස්සුන්ට අනුන් ගැන හොයා හොයා නාස්ති කරන්න කාලයක්වත් වුවමනාවක්වත් නැහැ . ඒ මිනිස්සු නිතරම ඉන්නෙ තෘප්තියෙන්.

අපි අවට ඉන්න බොහොම සාර්ථක ජීවිත ගතකරන මිනිස්සු ඒ විඳින දේවල් ඉබේට අහසෙන් පාත් වුණේ නැහැ. ඒ හැමදේම කාලෙකට කලින් හිතේ පැල කරලා මහන්සියෙන් පණ දීපු හීනවල ප්‍රතිඵල තමයි.

වයස, කාලය, සීමාව , දුප්පත්, පෝසත්කම මේ කිසිම දෙයක් හීන මවන්න බාධා නෙවෙයි .ඒ නිසා හීන මවන්න පටන් ගන්න .එකක් දෙකක් බැරි වුණාට බොහෝ හීන කවදාම හරි සැබෑ වෙයි. හීනවලට තහනමක්වත් සීමාවක්වත් නැති නිසා හරිගියාද වැරදුණාද කියන එක ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හැබැයි හරියන්න තියා වරදින්නවත් හීනයක් නැත්තම් ඒක ප්‍රශ්නයක් ..මොකද හීන නැති මිනිස්සු කරන්නෙ හුස්ම ගන්න එක විතරයි. හුස්ම ගන්නවයි ජීවත් වෙනවයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්.

Comments