අවන් නැතිව හදමු චොක්ලට් කේක් | Page 2 | සිළුමිණ

අවන් නැතිව හදමු චොක්ලට් කේක්

කේක් කන්න කැමති වුණාට හදන්න අමාරුයි කියලයි ගොඩක් අය හිතන්නෙ. ඒත් බීටර් එකක්, අවන් එකක් නැතිව වුණත් හරිම පහසුවෙන් රසට කේක් හදන්න පුළුවන්. මේ චොකලට් කේක් එක හදන්න ඔබට වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ.

 

චොක්ලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 240

මාගරින් ග්‍රෑම් 300

සීනි ග්‍රෑම් 300

බිත්තර 6

බේකින් පවුඩර් තේ හැඳි 3

බේකින් සෝඩා තේ හැඳි 1 1/2

පිටි කිරි මේස හැඳි 4

කෝකෝවා පවුඩර් ග්‍රෑම් 60

වැනිලා තේ හැඳි 2

චොකලට් එසන්ස් බින්දු කිහිපයක්

චොකලට් කලරින් බින්දුවක්

බටර් මිල්ක් කෝප්ප 1/2

 

පිටිවලට බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ කෝකෝවා පවුඩර් එකතු කර දෙවරක් හලා ගන්න. බඳුනකට මාගරින් සහ සීනි එක්කර සීනි කැට හොඳින් දියවන තුරු විනාඩි 2ක් පමණ ලී හැන්දකින් හොඳින් කලවම් කර එයට බිත්තරයක් බැගින් එකතු කරන්න. ඉන්පසු වැනිලා සහ චොකලට් එසන්ස් එකතු කරන්න. එයට හලාගත් පිටි ටික ටික දමා කලවම් කරමින් සාදාගත් බටර් ම්ල්ක්වලින් ස්වල්පය බැගින් වරින් වර එකතු කරගන්න. අවශ්‍ය නම් කලරින් බින්දුවක් ද එකතු කර ගන්න පුළුවන්.

දැන් කේක් තැටියක් හෝ සුදුසු බඳුනක් ගෙන එහි බටර් හෝ මාගරින් ස්වල්පයක් ආලේප කළ තෙල් කඩදාසියක් දමාගෙන ඉහත සාදාගත් කේක් මිශ්‍රණය දමාගන්න. දැන් එම බඳුන ඇතුළු කළ හැකි ලොකු භාජනයක් ගන්න. මේ සඳහා රයිස් කුකර් බඳුන හෝ යොදා ගන්න පුළුවන්. එහි ඇතුළට ඇලුමිනියම් භාජනයක් අනිත් පැත්ත හරවා තබා එය නොවැසෙන ලෙස ලොකු භාජනේ ඇතුළට වතුර දාන්න. එය වසා මඳක් වතුර නටන විට කේක් එක දමාගත් භාජනය ඇතුළෙන් තබන්න. දැන් පියනකින් වසා විනාඩි 40ක් පමණ මඳ ගින්දරේ පිසගන්න. විනාඩි 40කට පසු කේක් එක බේක් වී ඇත්දැයි පරීක්ෂා කර මදි නම් තවත් වේලාවක් ලිප තබන්න.

කේක් එක හොඳින් නිවුණු පසු දෙකට කපා සාදාගත් චොකලට් සිරප් බුරුසුවක් ආධාරයෙන් කේක් එක මත ගල්වා ගන්න. චොකලට් බටර් අයිසින් දමා කේක් එක සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු කේක් එක සම්පූර්ණයෛන් වැසෙන සේ චොකලට් සිරප් එක වත්කර ගන්න. කේක් එක වඩා රසවත් කරගැනීමට උඩින් සිහින්ව කපාගත් කජු ටිකක් දමා ගන්න.

 

**********************

චොක්ලට් සිරප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

කෝකෝවා පවුඩර් මේස හැඳි 6

සීනි කෝප්පයක්

ඇල් ජලය කෝප්ප 2

 

බඳුනකට සීනි සහ ජලය එකතු කර ලිප තබා අඩු ගින්දරේ හැඳි ගාන්න. එයටම චොකලට් පවුඩර් එකතු කර හොඳින් උකු ද්‍රාවණයක් වනතුරුම හැඳිගාන්න.

**********************

චොක්ලට් බටර් අයිසින්

අවශ්‍ය ද්‍රව්‍ය

 

බටර් ග්‍රෑම් 100

අයිසින් සීනි ග්‍රෑම් 200

කොකෝවා පවුඩර් මේස හැඳි 2ක්

කිරි තේ හැඳි 2

චොකලට් එසන්ස් ස්වල්පයක්

අවශ්‍ය නම්

චොකලට් කලරින් බින්දුවක්

 

 

මාගරින් හොඳින් කලවම් කර එයට අයිසින් සීනි එකතු කරගන්න. එයටම අනෙකුත් සියලු දේ ද එක්කර හොඳින් කලවම් කරගන්න.

********************

බටර් මිල්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

දියර කිරි

කෝප්ප 1ක්

විනාකිරි තේ හැඳි 2ක් (විනාකිරි

වෙනුවට දෙහි යුෂ ද භාවිත කළ හැකිය)

 

කිරිවලට විනාකිරි තේ හැඳි 2 එකතු කර විනාඩි 15ක් පමණ පසෙකින් තබන්න. විනාඩි 15කට පසු එය කැටි ගැසුණු උකු දියරයක් බවට පත්වේ.

 

 

කේක් නිර්මාණ ශිල්පිනි

වාසනා සෙනෙවිරත්න

 

Comments