සොහොයුරාණෙනි ඔබේ නාමෙන් හෙටත් සූරිය මල් පිපේවා! | සිළුමිණ

සොහොයුරාණෙනි ඔබේ නාමෙන් හෙටත් සූරිය මල් පිපේවා!

 

මේ ලිපියේ ශීර්ෂය ලෙස යොදා ඇත්තේ සුනිල් සරත් පෙරේරා විසින් රචිත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමරු ගීයක මුල් පද පෙළයි. ඒ සමරු ගීය ඇන්. ඇම්. සූරිය මල් ව්‍යාපාරය සමඟ එක්ව ඇරඹූ නොනිමි යුග මෙහෙවර අනාගත පැතුමක් ලෙස අප හදවත් තුළ ජීවමාන කරන්නකි. විසි වන සියවසේ මෙරට බිහි වූ කීර්තිමත් නැණවතුන් සහ දේශපාලනඥයන් පරාදීනත්වයෙන් මිදී නිදහස් නිවහල් ජාතියක් ලෙස නැගී සිටීමේ පරම අදිටනෙන් යුතුව පෙරමුණු කිහිපයකට බෙදී කටයුතු කළ ද ඔවුන් එකම උල්පතකින් මතු වී දෙඅතක ගලා ගිය ප්‍රවාහ බව ඉතිහාසය පිරික්සන කළ පැහැදිලි වෙයි.

නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උපත ලද්දේ 1905 වර්ෂයේ ජුනි මස 06 වැනි දින කොටහේනේ සාමාන්‍ය නිවසකය. ඔහුගේ පියා නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරාය. මව රන්වලගේ ජොහානා පෙරේරා විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ විසූ ලුණුපොකුණේ ධම්මානන්ද හිමියන්ගේ ලේලියකි. අධ්‍යාපනයේ වටිනාකම මැනවින් හඳුනාගෙන සිටි ඇන්. ඇම්.ගේ දෙමව්පියෝ කෙබඳු ආර්ථික දුෂ්කරතා තිබුණද සිය දරුවාට මනා අධ්‍යාපනයක් ලබා දීමට අදිටන් කොට ගත්හ. ඇන්. ඇම්. මූලික අධ්‍යාපනය ලද්දේ මෝදර පිහිටා තිබුණු ගල් පල්ලියේ ඉස්කෝලය ලෙස එවක හැඳින්වුණු සාන්ත තෝමස් විදුහලෙනි. වසර දෙකකට පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට ඇතුළත් කෙරුණු ඇන්. ඇම්. පාසල් අධ්‍යාපනය හමාර කළේ කොළඹ ආනන්ද විදුහලෙනි. පරම විඥානාර්ථ සමාගමට අයත් බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම මේ තරුණ පාසල් ශිෂ්‍යයාගේ සමාජ චින්තනය ජාතික විමුක්තිය කෙරෙහි යොමු වන්නට එක් හේතුවක් වන්නට ඇත. එමෙන්ම විද්‍යාලංකාර පිරිවෙන සමඟ පැවති සමීප සම්බන්ධයද ඒ හැඟීම පෝෂණය වීමෙහි ලා බලපාන්නට ඇත. මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන ක්‍රියාධරයන් වූ පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන ඇන්. ඇම්. සමඟ ආනන්දයේ අධ්‍යාපනය ලැබූ සමකාලීන සගයෝය. ආනන්දයේ අධ්‍යාපනය ලබන සමයේ ඇන්. ඇම්. ශිෂ්‍යයා නූර් බායි විසින් නිෂ්පානය කෙරුණු ‘රාජකීය වික්‍රමය’ නම් චිත්‍රපටයක ප්‍රධාන නළුවා ලෙස රඟපෑවද එම චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර විනාශ වූ බැවින් ඇන්. ඇම්.ගේ සිනමා රංගන කුසලතා කිසිවකුටවත් දැක ගැනීමට නොහැකි විය.

1925 වර්ෂයේ දී ඇන්. ඇම්. ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළත් වී ප්‍රථම උපාධි අධ්‍යයන කටයුතු කරමින් සිටි අවස්ථාවේ ඔහු හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි දේශපාලන විද්‍යාව විෂය අයත්ව තිබූ දේශපාලන විද්‍යා අංශය 1927 වර්ෂයේ දී අහෝසි කෙරිණි. ඒ වර්ෂයේ අගෝස්තු මාසයේ දී මේ තරුණ විද්‍යාර්ථියා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විද්‍යායතනයට බැඳී බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ 1929 වර්ෂයේ දී විද්‍යාවේදී ගෞරව උපාධිය හිමි කර ගත්තේය. ප්‍රථම උපාධි අධ්‍යයන කටයුතු නිම කොට 1931 වර්ෂය වන විට දර්ශනසූරී උපාධියද 1933 වර්ෂයේ දී විද්‍යාසූරී පශ්චාද් උපාධියද හිමි කර ගැනීමට තරම් බලවත් ශාස්ත්‍ර පිපාසයක් ඇන්. ඇම්.ට තිබිණ. ‘පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්’ නමැති දර්ශනසූරී උපාධි නිබන්ධය පසුව කෘතියක් ලෙස පළ විය. පශ්චාද් උපාධි අධ්‍යයනයේ දී ඇන්. ඇම්. විද්‍යාර්ථියා හැරල්ඩ් ජේ. ලැස්කි නමැති කිර්තිමත් මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය මග පෙන්වීම ලද අතර මේ ආචාර්යවරයා වෙතින් මාක්ස්වාදී චින්තනය පිළිබඳ ගැඹුරුතර ශික්ෂණයක් ද ලබා ගැනීමට ඔහු සමත් විය. හැරල්ඩ් ජේ. ලැස්කි පසු කලෙක බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයා බවට පත් විය.

අධ්‍යයන කටයුතු නිම කොට 1933 වර්ෂයේ ලංකාවට පැමිණි ඇන්. ඇම්. කම්කරු කොමසාරිස් තනතුරට අයදුම් කළද කම්කරු ඇමතිවරයා පවා අනුමත කර තිබුණු ඒ පත්වීමට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය නොලැබුණේ ලන්ඩනයේ අධ්‍යයන කටයුතු කරන කාලයේ ඇන්. ඇම්.ගේ මාක්ස්වාදී නැඹුරුව පිළිබඳ රහස් වාර්තා මෙරට යටත් විජිත බලධාරීන් අතට පත්ව තිබූ නිසා බව පැවසේ. ඔහු දෙවනුව ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ කථිකාචාර්ය තනතුරකට බඳවා ගැනිණ. එහෙත් ඇන්. ඇම්.ගේ මාක්ස්වාදී නම්නතාව හේතු කොට ගෙන ඔහු ඒ තනතුරෙහි ස්ථිර නොකෙරිණ. වෘත්තීය ජීවිතයකට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සඳහටම අතහැර දැමූ ඇන්. ඇම්. එතැන් සිට තම දිවි මෙහෙවර ලෙස තෝරා ගත්තේ නිර්ධන පන්තිය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිමග්න වීමයි.

ආනන්ද විද්‍යාලයේදී හඳුනාගත් මිතුරන්ට අමතරව එංගලන්තයේදී හඳුනාගත් මිතුරන්ද ඇතුළත් වාමාංශික දේශපාලන දැක්මක් සහිත මිතුරු කුලකයක් ලංකාවේදී ඒකරාශි වී සුපැහැදිලි ඉදිරි දර්ශනයකින් යුත් අධිරාජ්‍ය විරෝධී ධනපති විරෝධී සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ වනු 1933 වර්ෂයේදී දැකගත හැකි විය. අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතානුරූපව දියත්ව තිබුණු පොපි මල් ව්‍යාපාරයට ප්‍රතිපක්ෂව සේවා මුක්ත භට පිරිසකගේ මූලිකත්වයෙන් ඇරඹී තිබුණු සූරිය මල් ව්‍යාපාරය නොබෝ කලකින් සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වන්නේ ඇන්. ඇම්. ප්‍රමුඛ තරුණ දේශපාලන ක්‍රියාධරයන්ගේ සක්‍රීය දේශපාලන මැදිහත්වීම හේතු කොට ගෙනය. 1935 දෙසැම්බර් මස 18 වැනි දින අධිරාජ්‍ය විරෝධී නිර්ධන පන්තික ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වන්නේ එහි ඊ ළඟ දිගුව ලෙසිනි. 1933-34 කාල වකවානුවෙහි ලංකාවේ ප්‍රදේශ රැසක පැතිරුණු මැලේරියා රෝගයට ගොදුරු වූ ජනතාවට ආහාර පාන සහ වෛද්‍යාධාර ලබා දීම නිසා සූරියමල් ව්‍යාපාරයේ තරුණ නායකයන් ඒ ප්‍රදේශවල ජනයාගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූවා පමණක් නොව 1936 වර්ෂයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ප්‍රදේශවල එතෙක් විරාජමාන වූ පැරණි මහේශාක්‍ය දේශපාලකයන් පරාජය කොට පෙරළිකාර තරුණ නායකයන් පාර්ලිමේන්තුවට යැවීමට ඒ ප්‍රදේශයන්හි ජනතාව වගබලා ගත්හ.

ඇන්. ඇම්. ප්‍රමුඛ සමසමාජ දේශපාලන නායකයන් දියත් කළ අධිරාජ්‍ය විරෝධී දේශපාලන වැඩපිළිවෙළට එරෙහිව අධිරාජ්‍යවාදීන්ට කළ හැකිව තිබූ පහසුම ක්‍රියා මාර්ගය වූයේ ඔවුන් සිරගත කිරීමයි. 1940 ජුනි මස 18 දින ඇන්. ඇම්. ඇතුළු සමසමාජ නායකයෝ සිර ගත කෙරුණහ. 1942 අප්‍රේල් මස 07 වැනි දින ඇන්. ඇම්. ඇතුළු සමසමාජ නායකයෝ සිර ගෙයින් පලා ගියහ. ලංකාවේ පැවති තත්ත්වය බැරෑරුම් වූයෙන් පසුව ඔවුහු ඉන්දියාවට පලා ගියහ. ඉන්දියාවේදී නැවතත් සිර භාරයට පත් වූ ඇන්. ඇම්. ඇතුළු සමසමාජ නායකයන් නැවතත් ලංකාවට භාර කෙරුණු අතර ඔවුහු මහනුවර බන්ධනාගාරයේ සිරගත කරනු ලැබූහ. සිර ගෙදර සිටියදී ඇන්. ඇම්. ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙන පුස්තිකාවක් රචනා කෙළේය. නැණවත් පුරවැසි සමාජයක් බිහි වීමකින් තොරව මෙරට සැබෑ සමාජ විමුක්තියක් උදා නොවන බව දැකීමට තරම් සමසමාජ නායකයන් දූරදර්ශී වුවද ඔවුන් දුටු සිහිනය සිහිනයක්ම වීම මුළු මහත් රටෙහිම ඛේදචාචකයක් විය. ඒ ඛේදවාචකය ශීඝ්‍රයෙන් සිදු වීම ඇරඹී වසර දෙකක් ගත වන්නටත් මත්තෙන් 1979 අගෝස්තු මස 19 වන දින ඇන්. ඇම්. නමැති දේශපාලන චින්තකයා මෙලොව හැර ගියේය.

Comments