හිටපු මැති ඇමැතිවරු 5 දෙනෙක් ගෙදර යැවූ දිගාමඬුල්ලෙ ඡන්ද පෙරැළිය | සිළුමිණ

හිටපු මැති ඇමැතිවරු 5 දෙනෙක් ගෙදර යැවූ දිගාමඬුල්ලෙ ඡන්ද පෙරැළිය

දිගාමඩුල්ල මැතිවරණ ඉතිහාසයේ දශක 06ක පමණ කාලයක් තුළ පැවති සියලුම මැතිවරණ වලට වඩා ඉතා සාමකාමී හා නිදහස් සාධාරණ මැතිවරණයක් මෙවර 2020 මහ මැතිවරණයේ දී දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාවත් වැඩිම ස්වාධීන කණ්ඩායම් ගණනත් දිගාමඩුල්ලෙන් වීමද විශේෂයකි. ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 16.75ක් වූ අතර පළල අගල් 9ක් විය. පිළිගත් දේශපාලන පක්ෂ 20ක් ස්වාධීන කණ්ඩායම් 34ක් සමග සමස්ත කණ්ඩායම් ගණන් 54ක් මෙවර දිගාමඩුල්ලෙන් තරග කළහ. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් 7 දෙනෙකු තෝරා පත් කර ගැනීමට අපේක්ෂකයින් 540 දෙනෙකු තරග කළහ.

දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 513479ක් විය. පැරණි ක්‍රමයට ආසන වශයෙන් ගත් කළ අම්පාර සම්මන්තුර, කල්මුණේ, පොතුවිල් යනුවෙන් ආසන 4කි. ආසන වශයෙන් ඡන්ද දායකයින් සංඛ්‍යාව ගත් කළ අම්පාර 177144ක් ද සම්මන්තුරේ 90405ක් ද කල්මුණේ 77637ක් ද පොතුවිල් 168793ක් ද වේ. දිස්ත්‍රික්කය පුරා චන්ද මධ්‍යස්ථාන 525ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සලසා තිබුණි.

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ සජිත් ප්‍රේමදාස මහතා විසිනි. ඒ ඡන්ද 259673ක් ලබා ගනිමිනි. එහි දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වූයේ ඡන්ද 135058 කි. එසේ වුව ද සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් සිටින අම්පාර මැතිවරණ කොට්ඨාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 47433කිනි. එහි දී ඔහු ඡන්ද 89674ක් ලබා ගත් අතර ප්‍රතිවාදී සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුණේ ඡන්ද 42244 කි. සම්මන්තුර, කල්මුණ හා පොතුවිල් ආසන 03ම ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. එහි දී සම්මන්තුර ආසනයෙන් ඡන්ද 57910ක් ද, කල්මුනේ ආසනයෙන් ඡන්ද 47309ක් ද , පොතුවිල් ආසනයෙන් චන්ද 100952ක් ද සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්මන්තුර ආසනයෙන් ඡන්ද 7151ක් ද, කල්මුණේ ආසනයෙන් ඡන්ද 7286ක් ද, පොතුවිල් ආසනයෙන් ඡන්ද 20116ක් ද ලබා ගන්නා ලදි. තැපැල් ඡන්ද අතුරින් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 11261ක් ලබා ගත් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 10831ක් ලබා ගැනීමට සමත් විය.

මෙවර 2020 මැතිවරණ ව්‍යාපාරය දෙස විමර්ශනාත්මකව බැලූ විට පෙනෙන්නට තිබුණ සත්‍ය නම් ඡන්ද සටන පැවතියේ ශ්‍රි ලංකා පොදු පෙරමුණ හා සමගි ජන බලෙව්ගය අතරය. ටී.එන්.ඒ හා කරුණා අම්මාන්ගේ පක්ෂය අතර තවත් සටනක් වූ අතර ශ්‍රී ලංකා ජාතික කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා ජාතික ජන බලවේගය අතර පැවතියේ සාමාන්‍ය හුදකලා සටනකි. එහෙත් මනාප සටන පැවතියේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අතර යැයි කිවහොත් එය සත්‍යයකි. සමගි ජන බලවේගයේ සිංහල අපේක්ෂකයින් තිදෙනා එකට ප්‍රචාරක රැස්වීම් ඇමතීම දක්නට ලැබුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය ඇමති විමලවීර දිසානායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, ජයසේන යන අපේක්ෂකයෝ බොහෝ විට එකට ප්‍රචාරක රැස්වීම් ඇමතුව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමතිනි නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම, අපේක්ෂක රුෂාන් මාලින්ද, අපේක්ෂක කීර්ති ශ්‍රී වීරසිංහ යන තිදෙනා බොහෝ විට තනි තනියෙන් ප්‍රචාරක රැස්වීම් පවත්වා ජනතාව ඇමතූහ.

මේ අතරතුර වෙරළබඩ කලාපයේ විවිධ පක්ෂවල සමහර මුස්ලිම් අපේක්ෂකයින් සිංහල ප්‍රදේශවලට පැමිණ කුඩා කුඩා වතු රැස්වීම් පවත්වා සිංහල ඡන්ද දායකයින්ගේ මනාප ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටිනු ද දක්නා ලදී. එසේම වෙරළබඩ කලාපයෙන් ඉදිරිපත් වී සිටි ස්වාධීන කණ්ඩායම් ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂිකා නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට සහය ලබා දීමට ඉදිරිපත් වී සිටියහ. ඡන්ද දිනට පෙර දින රාත්‍රියේ පොදු ජන පෙරමුණේම අපේක්ෂකයෙකුට විරුද්ධව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ද පොදු ජන පෙරමුණේම පිරිසක් දියත් කර තිබු අතර ඔවුන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වී සිටියහ.

මේ වාතාවරණය තුළත් සැලකිය යුතු සිද්ධින්ගෙන් තොරව ඉකුත් 05 වෙනි දින පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රතිඵල 7 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ නිකුත් වීමත් සමග ප්‍රකාශයට පත් විය. එහි දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 126012ක් ලබා සමස්ත දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය.

මේ අනුව අම්පාර මැතිවරණ ඉතිහාසයේ වෙන කවදාකවත් නැති අකාරයට මෙවර අම්පාර ආසනය වැඩි 68000කින් පමණ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වීම විශේෂයකි. එමෙන්ම හිටපු වන ජීවි නියෝජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා මෙවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 63504ක් ලබා ගෙන ප්‍රථමයා වීමත්, ආධුනිකයින් දෙදෙනෙකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා සහ වියත්මග නියෝජනය කළ වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා වැඩි මනාපයෙන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වීම ද විශේෂයකි.

Comments