සුව විරුවන්ගේ විස්මිත සැත්කම | සිළුමිණ

සුව විරුවන්ගේ විස්මිත සැත්කම

සිසේරියෙන් සැත්කම කළ වෛද්‍ය කණ්ඩායම

දරුවාට වයිරසය ආසාදිත වී නැහැ

සතින් සැඳෑ අඳුර ගලාගෙන එන මො‍හොතේ ලොවම විඩා නිවාගෙන සන්සුන් වන විට, පසුගිය ජූලි 31 වැනි සිකුරාදා මුල්ලේරියාව මූලික රෝහලට නම් සන්සුන් වීමට ඉඩක් ලැබුණේ නැත. ඊට හේතුව මුල්ලේරියාව මූලික රෝහල හෙවත් නැගෙනහිර කොළඹ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවකට ප්‍රසව වේදනා ඇති වීමයි. ඇය මීට පෙර දරුවන් දෙදෙනකු බිහි කළ මවක වන අතර එම දරුවන් දෙදෙනාම සිසේරියන් සැත්කම් මගින් රැගෙන තිබූ බැවින් තෙවැනි දරු උපත සිදු කළ යුත්තේ සිසේරියන් සැත්කමකිනි. වෛද්‍යවරුන්ට සිසේරියන් සැත්කමක් සිදු කිරීම එතරම් අසීරු කාර්යයක් නොවේ. එහෙත් කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවකට සිසේරියන් සැත්කමක් සිදු කිරීම නම් විශාල අභියෝගයකි. විශාල වගකීමකි. අපේ ගැමි වහරේ සඳහන් වන ආකාරයට නම් රැවුලත් කැඳත් දෙකම බේරා ගත යුතු කාර්යයකි. එනම් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත කාන්තාවකගේ දරු ප්‍රසූතිය සිදු කළ යුතුය. ඒ සමඟම කොවිඩ් 19 වයිරසයෙන් ද ආරක්ෂා විය යුතුය.

“ඇත්තටම ඒ වෙලාවේ අපිට අභියෝග 2ක් තිබුණා. එකක් සැත්කම සිදු කරන කාර්යය මණ්ඩලය හා ශල්‍යාගාරය කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා කරගෙන සැත්කම කිරීම. දෙවැනි අභියෝගය වාට්ටුවේ සිට ශල්‍යාගාරයට රෝගි කාන්තාව රැගෙන එන විදිහ. මෙම රෝගියා හුස්ම ගැනීමත් එක්ක විෂබීජ පරිසරයට එකතු වෙන්න පුළුවනිනේ. ඒනිසා අපිට කඩිනමින් ඒ ප්‍රශ්න විසඳාගෙන සැත්කමට සූදානම් වෙන්න සිද්ධ වුණා. මෙහිදී ක්ෂුද්‍රජීවි වෛද්‍ය විශේෂඥ මනෝරි සමරනායක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. රෝගියා වාට්ටුවෙන් ශල්‍යාගාරයට රැගෙන ඒම, ශල්‍යාගාරය තුළ සහ ශල්‍යාගාරයෙන් නැවතත් වාට්ටුවට රැගෙන යෑම යන සියලුම අවස්ථාවලදී විෂබීජ පරිසරයට එකතු නොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තිබුණේ ඇයට. අපි හැමෝම නිවැරදි ආකාරයට මෙහෙය වූයේ, අපි ඒ විදිහට ක්‍රියා කරනවාද කියලා අධීක්ෂණය කළේ මනෝරි සමරනායක වෛද්‍යවරියයි.” යනුවෙන් පැවසුවේ මුල්ලේරියාව මූලික රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේ ය.

නාරි හා ප්‍රසව ඒකකයේ ප්‍රධානි, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේ රාත්‍රි 7.00ට ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කළේය. එහෙත් කොරෝනා ආසාදිත ගැබිනි මවගේ සිසේරියන් සැත්කම සිදු කිරීමට පැය 2ක් පමණ ප්‍රමාද විය. එනම් රාත්‍රි 9.00 පමණ විය. ඊට හේතු වූයේ සැත්කමට සහභාගි වූ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු රෝහලේ කාර්යය මණ්ඩලයේ අකාර්යක්ෂම බව හෝ මන්දගාමි බව නිසා නම් නොවේ.

“රෑ 7.00 කියන්නේ රෝහලේ හෙදියන් ඇතුළු කාර්යය මණ්ඩලය‍ සේවා මුර මාරුවෙන වෙලාවක්. ඒත් සිසේරියන් සැත්කමට සූදානම් වීමේදි ඒක ලොකු බලපෑමක් කළේ නැහැ. කොරෝනා ලෙඩෙක් කියලා කවුරුවත් පස්ස ගැහුවෙත් නැහැ. හැමෝම එකා වගේ වගකීම ඉටු කරන්න සූදානම් වුණා. මේ ශල්‍යකර්මය කරන්න නිර්වින්දන වෛද්‍ය ඒකකය, නාරි හා ප්‍රසව ඒකකය සහ ළමා රෝග ඒකකය කියන අංශ තුන සම්බන්ධ වුණා. ඒ ‍වගේම ලේ බැංකුවේ කාර්යය මණ්ඩලය, හෙද හෙදියනුත් සහභාගි වුණා. වෙනදාට නම් ලේ බැංකුවේ අයට කියපු ගමන් දුවගෙන එනවා. ඒත් මේ සැත්කමේදි කිසිම කෙනෙකුට ඒ විදිහට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද කොරෝනා රෝගියෙකු නිසා. ඒ හැමෝටම විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටල අඳින්න සිද්ධ වුණා. ඒ විශේෂ ඇඳුම් කට්ටලයට ඇඳුම් කට්ටල 4ක් අඳින්න ඕනෑ. සිසේරියන් සැත්කමට සහභාගි වුණු 35 දෙනාම මේ ඇඳුම් ඇන්දා. අපි හැමෝටම කොරෝනා විශේෂිත ඇඳුම් කට්ටල සපයා දෙන්න රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න ගොඩාක් මහන්සි වුණා. මේ ඇඳුම් හොයාගෙන තිස්පස් දෙනෙකු ඇඳගෙන වැඩේ පටන් ගන්න‍කොට රෑ 9.00 විතර වුණා.” යනුවෙන් පමාවට හේතු පැහැදිලි කළේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේ ය.

මෙම සුවිශේෂි සිසේරියන් සැත්කමට අත ගැසූ නාරි හා ප්‍රසව ඒකකයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේට සහය වූ අය අතර වෛද්‍ය නිලධාරි කල්‍යාණප්‍රිය කෝදාගොඩ ප්‍රධාන තැනක් ගනියි. ඊට අමතරව නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න, නිර්වින්දන වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරි නිල්මිණි වනිගරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ, ළමා ‍රෝග වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරි නිලානි සෙනෙවිරත්න යන අය සහභාගි වූ කණ්ඩායමේ ප්‍රමුඛයෝ වෙති. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට ගත වන කාලය පැය 1/2ක් පමණ වුවත් මෙම සුවිශේෂි සැත්කමට ගත වූ කාලය පැයකට ආසන්න විය.

“සිසේරියන් සැත්කමට සහභාගි වුණු අපි හැමෝම වි‍ශේෂිත ඇඳුම් කට්ටල ඇඳලා හිටියේ. ඒ නිසා කතා කරන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. අපි එකිනෙකා කතා කළේ හස්ත මුද්‍රාවෙන්. ගොගල් කණ්ණාඩි දාලා හිටපු නිසා සැත්කම කරද්දි කණ්ණාඩියේ මීදුම් පටලයක් වගේ බැඳුණා. හොඳට පෙනෙන්නෙත් නැහැ. හොඳට පෙනෙන්නේ නැහැ කියලා අපිට හෙමින් හෙමින් කරන්න බැහැනේ. සිසේරියන් සැත්කමේ වේගය ඒ විදිහටම පවත්වා ගන්නත් ඕනෑ. ඇත්තටම මේ සැත්කම අපිට ලොකු අභියෝගයක්.” අපහසුතා මධ්‍යයේ සිසේරියන් සැත්කම කළ ආකාරය විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේ විස්තර කළේ එලෙසිනි.

කොරෝනා ආසාදිත මවගේ රුධිරයෙන් හෝ ගර්භාෂයේ ඇති තරලයෙන් කොරෝනා වයිරසය ආසාදනය වන බව සොයාගෙන නැති නමුදු එම අපද්‍රව්‍ය බැහැර කිරීමේදි පවා ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණේ සුළු අතපසු වීමකටවත් ඉඩක් නොතබමිනි.

සැත්කම අවසානයේදී වෛද්‍යවරුන් ඇතුළු පිරිසට ඔවුන් හැඳ සිටි විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටල ගලවා විෂබීජහරණයට යොමු කළ පසුව ස්නානය කිරීමට ද සිදු විය. ඔවුන්ට සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිවෙස් කරා යෑමට හැකි වූයේ ඉන්පසුවයි. කොරෝනා ආසාදිත මව සහ අලුත උපන් බිලිඳා 5 වැනි වාට්ටුවේ නේවාසිකව කල් ගෙවති. මෙම බිලිඳා උපත ලැබූ මොහොතේ සිට මව්කිරි දීම සිදු වන්නේ සාමාන්‍ය දරු උපතකදී මෙනි. බිලිඳාට සිදු කළ පරීක්ෂණයෙන් බිලිඳාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී නැති බව තහවුරු වී තිබේ.

සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කළ නිසා දරුවාට මව්කිරි දීමේදී මව යම් අපහසුතාවලට මුහුණ දුන් නමුදු ඇය සමඟ පවුල් සෞඛ්‍ය සේවිකාවක් රඳවා දරුවාට මව්කිරි දීමට පියවර ගෙන තිබේ. මව්කිරිවල රෝගවලින් ආරක්ෂා වීමේ පෝෂණ ගුණය පවතින බැවින් කොවිඩ් 19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් දරුවන්ට මව්කිරි දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. අගෝස්තු 01 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා කාලය ජාතික මව්කිරි දීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී සිසේරියන් සැත්කමෙන් බිහි වූ දරුවාට මව්කිරි දීමේ අභියෝගය බාර ගෙන තිබෙන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහය.

විසි හත් හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක වන මෙම කොරෝනා ආසාදිත මව, මඩකළපුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඈ කොරෝනා ආසාදිත‍යකු බව තහවුරු වී තිබෙන්නේ කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙනි. ඇයට එකී නිරෝධායන මධ්‍යස්ථානයට යෑමට සිදු වූයේ මැදපෙරදිග රටක සිට මෙරටට පැමිණි බැවිනි.

කොරෝනා ආසාදිත ගර්භණි මව්වරුන්ගේ විශේෂිත ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කර තිබෙන්නේ නැගෙනහිර කොළඹ හෙවත් මුල්ලේරියාව මූලික රෝහලේය. ඇයට මෙම රෝහලට පැමිණීමට සිද්ධ වූයේ එ් නිසාය. කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් ම සුවපත් වී නිවෙස් බලා ගිය ද ඔවුන් කිසිවකුට මෙම රෝහලේ දරුවන් ප්‍රසූත කිරීමට සිදු වූයේ නැත. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොරෝනා මාතෘ ඒකකයේ ප්‍රථම දරු ප්‍රසූතිය වන්නේ මෙම දරු ප්‍රසූතියයි. එය සාමාන්‍ය දරු උපතක් නොව සිසේරියන් සැත්කමකින් බිහි කළ උපතක් වීම තවත් සුවිශේෂි කාරණයකි.

අලුත උපන් කිරිකැටියන්ගේ රත්පැහැ ගැන්වුණ මුහුණු දැක ගැනීමට නොනිමි ආශාවෙන් පසුවන පියවරුන් ද පවුලේ සමීප ඥාතීන් ද රෝහල් ගේට්ටු අසල පොදිකන ආකාරය බොහෝ දෙනකුට සුලබ දසුනකි. එහෙත් කොරෝනා ආසාදිත මවට බිහි වූ මෙම කිරිකැටියාගේ මුහුණ දැක බලා ගැනීමට පියා හෝ අන් කිසිවකු මෙහි පැමිණියේ නැත. ඒ බිලිඳා සමඟ අමනාපයෙන් නම් නොවේ. කොරෝනා රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණෙන්නට කිසිවකුට අවසර නැති නිසාය.

 

Comments