සිරිපාලට පෙම් බැඳ නික්ම ගිය රන්මැණිකා | සිළුමිණ

සිරිපාලට පෙම් බැඳ නික්ම ගිය රන්මැණිකා

න්මැණිකා මිය ගියාය; ඒ පසුගියදාය. තවමත් ඇය කාටත් හොඳ මාතෘකාවකි. හැත්තෑ හත්වැනි වියේදී ජීවිතයෙන් සමුගත් ඇය කාගේ කවුදැයි කියා නොදන්නේ එහෙමත් කෙනෙකි. ඇය දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල හෙවත් මරු සිරාගේ බිරිඳය. රෝගී තත්තයෙන් සිටියදී මිය ගිය ඇගේ අවසන් කටයුතු පසුගිය 4 දා අනුරාධපුර සාලියපුර පොදු සුසාන භුමියේදී සිදු කරන ලදී.

රන් මැණිකා යනු යකඩ ගැහැනියකි. ඇය යකඩ ගැහැනියකැයි කියන්නට සිදු වන්නේ අධිකරණය විසින් මරණ දඩුවම දීමෙන් එල්ලා මරා දැමුණු සිරිපාලගේ මරණය සම්බන්ධව ඇය නුවර විදී දෙවනත් කරමින් හඬ නැඟු නිසාය.

“මගේ මිනිහා එල්ලුවේ මරුවට පස්සේ“ යැයි කියමින් එක්දහස් නවසිය හැත්තෑ පහේ අගෝස්තු මාසයේ පස්වෙනිදා දිනෙක නුවර විදී දෙවනත් කරමින් රන්මැණිකා කැගැසුවාය. ඇගේ එම චෝදනාවත් සමඟ එල්ලුම් ගස් යවා මරා දැමුණු සිරිපාලගේ සිරුර යළි ගොඩගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට පවා සිදු විය. එවැනි සිදුවීමක් අපේ රටේ සිදු වූ ප්‍රථම අවස්ථාව ද එය වෙයි. සිරිපාල එල්ලුම් ගස් යන්නේ අවුරුදු විසි හතක් තරම් වූ වයසේදීය. සිරිපාල සිරගතව සිටි කාලයත්, වරෙක සිරිපාල හිරෙන් පැන යළි පොලිසියට හසු වූ අවස්ථාවේ ඔහු අත රැදි තුවක්කුවෙන් තමාටම වෙි තබා ගන්නේය. මේ අනතුරින් තුවාල ලැබූ ඔහු අනුරාධපුර රෝහලට ඇතුළු කර ප්‍රතිතාර කරන්නේය. මේ කාලය සිහි කරමින් එවකට එම රෝහලේ හෙදියකින් ලෙස කටයුතු කළ සම්මානනීය ලේඛිකා සෝමලතා වෛද්‍යරත්න අප හා මෙසේ පැවැසුවාය.

‘මිස් මට ජීවිතේ ගැන කලකිරුණා, මම හොඳට ඉන්න හැදුවා. උන් මට ඉන්න දුන්නේ නැහැ’ඇයි වෙඩි තියා ගත්තේ කියලා ඇහුවාම සිරිපාල මා එක්ක කිව්වා. මට මතක හැටියට ඔහුගේ පපුවේ පැත්තකට තමයි වෙඩි වැදිලා තිබුණේ. මම ඇහුවා කොහොම ද වෙඩි තියා ගත්තේ කියලා. සිරිපාල කියනවා තුවක්කුව කකුල් දෙකට හිරකරගෙන කකුලේ මහපට ඇඟිලි දෙකෙන් කොකා ගස්ස ගත්තා කියලා. සිරිපාල රෝහලේ සිටියදි තරුණ කාන්තාවක් දරුවෙකුත් වඩා ගෙන ඔහුව බලන්න පැමිණියා. ඇය බොහෝම ආදරෙන් ඔහුව බලන්න පැමිණියේ. මං හිතන විදිහට ඒ තමයි රන් මැණිකා.

රන් මැණිකා අපට රිදී තිරයේදී ද හමුවේ. ඒ දෙවරකදීය. අපරාධකරුවකු වූ මරු සිරා එල්ලා මරා දැමීමත් සමඟ ඔහුගේ ජීවිත කතාව පාදක කොට ගනිමින් චිත්‍රපට දෙකක් නිපද විණි. එක් චිත්‍රපටයක් වන්නේ මරුවා සමඟ වාසේ ය. අනෙක සිරිපාල හා රන්මැණිකාය. සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ රන්මැණිකාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රකට නිලියක වන මාලනී ෆොන්සේකාය. මේ චිත්‍රපටයේ රඟපෑමට පෙර මාලනී ෆොන්සේකා රන්මැණිකා හමු වී ඇගේ චර්යා රටාවන් පිළිබඳ , හදාරා ඇත. අපරාධකාරයකු වුවද සිරිපාලට බොහෝ සේ ආදරය කළ ඇය ජීවිතයෙන් සමු ගන්නා තුරුම ඔහුට පෙම්බැන්දාය.

“ එයා මොන වැරැද්ද කළත් මට හරිම ආදරෙන් හිටියා. කවුරුත් මරු සිරා කිව්වාට ඒයා එහෙම නරක කෙනෙක් කියලා මට කවදාවත් හිතුණේ නැහැ. එයාට අකාලයේ මැරෙන්න වුණ එක ගැන මට හරිම දුකයි. රන්මැණිකා අප හා පැවැසුවේ මීට වසර කිහිපයකට පෙර බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගහ මහජනතාවට පෙන්වූ අවස්ථාවේ එය බලන්නට පැමිණි විටෙකය.

කාලයත් සමඟ ඇගේ සිත සන්සුන් වුවද ඇය හැම විටම තම ස්වාමියා වෙනුවෙන් හඬක් නඟන්නට ඉදිරිපත් වුවාය.

සිරිපාලට මරණ දඩුවම නියම වන්නේ මිනීමැරුම් චෝදනාව යටතේය. මේ වන විට සිරිපාල එල්ලා මරා දමා වසර හතළිස් පහකි. ඇය ද සිය සැමියා නැතිව වසර හතළිස් පහක් දිවිගෙව්වාය. කොළඹට ආසන්නව සිටි සිරිපාලට අනුරාධපුරයේ සිටි රන් මැණිකා හමු වන්නේ හිතුවක්කාරකමට නිවසින් පළා ගිය ගමනේදීය.

සිරිපාල උපන්නේ කොළඹ ප්‍රදේශයේය. පාසලේදී සිරිපාල සිසුවකුට බ්ලේඩ් එකකින් කැපා තුවාල කරයි. මේ බව දැන ගන්නා ඔහුගේ වැඩිමල් සොහොයුරා සිරිපාලට දඬුවම් කරන්නේය. සොහොයුරාගේ දඬුවම නොඉවසූ සිරිපාල සිය පියා සේවය කරමින් සිටි අනුරාධපුර සාලියපුර ප්‍රදේශයට පළා යන්නේය.

ඒ වනවිට සිරිපාලගේ පියා සේවය කරමින් සිටියේ සාලියපුර ප්‍රදේශයේ වැඩිහිටි නිවෙසක මුරකරුවකු ලෙසය. සාලියපුර නතරව සිටින අතරේ ප්‍රදේශයේ රස්තියාදුකාරයන්ට එකතු වන තරුණ වියේ පසුවන සිරිපාලගේ ජීවිතය අයාලේ යයි. පසුව සිරිපාල රන් මැණිකා හමුවේ. ඇය පෙර විවාහ වී සිටි කාන්තාවකි රන්මැණිකා හමු වීමෙන් පසු ඔහු ඇය හා දිවි ගෙවයි. රන්මැණිකා හා සිරිපාල යුවළට ලැබෙන්නේ දියණියකි. රන් මැණිකාට ඇගේ පළමු සැමියාගේ යහළුවකු කළ විහිළුවක් දුර දිග යෑමෙන් සිරිපාල ඒ මිනිසා සහ ඔහුගේ යහළුවා මරා දමන්නේය. සිරිපාල පොලිසීයට කොටු වන්නේ මේ මිනී මැරුම් දෙකට හා තවත් වැරදි කිහිපයකටය.

ඇය නිරන්තරයෙන් ඔහු බලන්නට සිර ගෙදරට ද ගියාය. මුලින්ම සිරිපාල රඳවා තැබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. මේ බන්ධනාගාරයේ සිටින අතර ඔහු පළා යන්නේය. එකල රන්මැණිකේ කියා තිබුණේ සිරිපාල හිරෙන් පැන විත් තමා හා දියණිය බලා ගිය බවකි.

සිරිපාල රන්මැණිකා දැන් ඉතිහාසගත ආදර කතාවක් පමණයි.

Comments