විටින් විට මතුවී රටම පාරන වකුගඩු ජාවාරමේ නොදත් කතාව | Page 2 | සිළුමිණ

විටින් විට මතුවී රටම පාරන වකුගඩු ජාවාරමේ නොදත් කතාව

ලංකාව සම්බන්ධ කරගත් වකගුඩු ජාවාරමක් ගැන යළිත් කියැවුණේය. ඒ පසුගිය සතියේ ඉන්දියාවේදීය. ලංකාවේ හෝ තුර්කියේ දී වකුගඩු සැත්කමක් කිරීම සඳහා රුධිර කාන්දු පෙරණය නියම කළ අවසන් අඩියේ පසුවු වකුගඩු රෝගියකුගෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 34ක් වංචා කළ අශිෂ්ට මිනිසෙක් සම්බන්ධ කරගනිමිනි.

පැමිණිල්ල ලැබුණේ හයිද්‍රාබාද්හි බන්ජාරා හිල්ස් පොලිසියටය. පැමිණිලි කර තිබුණේ බජ්ජාලා භාරතී නැමැති කාන්තාවකි. ඇය පැමිණිල්ලෙන් කියා තිබුණේ උග්‍ර වකුගඩු රෝගයකින් පෙළෙමින් රුධිර කාන්දු පෙරණයේ පිහිට මත ජීවත්වන සිය සැමියාගේ ජිවිතය බේරා ගැනීම සඳහා වකුගඩු බද්ධයක් වෙනුවෙන් ඇය පවන් ශ්‍රී නිවාස් නැමැත්තෙකට මේ මුදල ලබා දුන් බවය.

භාරතීට ශ්‍රීනිවාස් මුණගැහෙන්නේ ඇගේ සැමියා ප්‍රතිකාර ලබමින් සිටින රෝහලකදීය. ශ්‍රී ලංකාවේ හෝ තුර්කියේ සිටින ඔහුගේ දන්නා මූලාශ්‍ර හරහා ආධාර ලබා දී බද්ධ කිරීම සිදු කරන බවට ඔහු ඔවුන්ට පොරොන්දු වී තිබිණි. ඒ වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 34ක් ලබාගෙන තිබිණි.

ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් අවයව මුදලට ලබා ගැනීම බරපතළ වරදකි. ශ්‍රී නිවාස් මේ ගනුදෙනුව කතා කර තිබුණේ වකුගඩුවක් මිලදී ගැනීම, වකුගඩුවක් බද්ධ කිරීමේ දී සැත්කම් ගාස්තු, රෝහල් ගාස්තු, නවාතැන්, ගුවන් ටිකට්පත් ඇතුළු සමස්ත පැකේජයක් ඉදිරිපත් කරමිනි. මුදල් ලබාගත් පසු මේ පුද්ගලයා මුදල් ලබාගත් රෝගී පවුල සමග ඇති සියලුම සම්බන්ධතා කපා දැම්මේය. අනතුරුව අතුරුදන් වුණේය. මේ අසරණයෝ යන එන මං නැති අය වූහ. බජ්ජාලා භාරතී පොලිසි යන්නේ ඒ අවනඩුව කියන්නටය. සියල්ල සලකා බැලූ බන්ජාරා හිල්ස් පොලිසිය පසුගිය ජූනි මාසයේ දී පවන්ට එරෙහිව වංචා සහ සාපරාධී විශ්වාසය කඩකිරීමේ නඩුවක් ගොනු කළේය.

අනතුරුව මේ ජාවාරම්කාර පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කළේය. පවන් ශ්‍රී නිවාස් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ අනතුරුවය. පොලිස් අත්අඩංගුවට පත් පවන් ශ්‍රී නිවාස් ගැන විමර්ශන ආරම්භ විය. ඔහු ගැන සියලු තොරතුරු හෙළි දරව් වන්නේ ඉන් පසුවය. ලංකාව හා ඉන්දියාව අතර ලෝකයේ ඇස් වසා කෙරෙන අනීතික වකුගඩු ජාවාරමේ එක්තරා අශිෂ්ට රූපයක් ඉන් පිළිබිඹු විය.

මේ තැනැත්තතා අන්ද්‍රා ප්‍රදේශ් හි ගුන්තූර්වල පුද්ගලයෙකි. ජීවත්වන්නේ හයිද්‍රාබාද්වලය. ඔහු වකුගඩු ජාවාරම සංවිධානය කරන පුද්ගලයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. මේ කටයුත්ත සඳහා එන්නට ප්‍රථම ඔහු සිය වකුගඩුවක් විකුණා තිබිණි. වර්ෂ 2013 දී කොටස් වෙළෙඳපල ආයෝජන කඩා වැටුණු විට ඔහු සිය ජීවිතය අරඹා තිබුණේ ලංකාවට පැමිණ වකුගඩුවක් විකිණීමෙනි.

ශ්‍රී නිවාස් යන එන මං නැති නූගතෙක් නොවේ. ඔහු යහපත් අධ්‍යාපනයක් සහිත තැනැත්තෙකි;. උපාධිධාරියකි. මේ වකුගඩු විකිණීමෙන් අනතුරුව ඔහු දුටුවේ මෙම ජාවාරම සංවිධානය කිරීමෙන් විශාල මුදල් විභවයක් සහිත අවස්ථාවකට ඔහු විවෘත වන බවය. මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ සමහර ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සමඟ ලංකාවේ දී සම්බන්ධකම් ගොඩනගා ගත්තේය. අනතුරුව පහසු මුදල් උපයා ගැනීම සඳහා වකුගඩු රෝගීන් වෙනුවෙන් පරිත්‍යාගශීලීන් සංවිධානය කිරීමේ නියෝජිතයකු ලෙස වැඩ කිරීම ඇරඹුවේය. අනතුරුව සමාජ මාධ්‍ය හරහා දුප්පතුන් ආකර්ෂණය කර ගැනීමට පටන් ගත්තේය. මේ අසරණයන් සිය වකුගඩු විකුණන්නට පෙලඹවූවේය. ඒ තමන් ද වකුගඩුවක් විකුණා ඇති බවට වූ සහතිකය ද සමගිනි.

අත්අඩංගුවට පත්වන විට ඔහු වකුගඩු බද්ධ කිරීම් නවයක් සංවිධානය කර තිබිණි. එක් වකුගඩු බද්ධ කිරීමක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 06ක මුදලක් කොමිස් ලෙස ඔහු ලබාගෙන තිබිණි. අසරණ රෝගීන් පූර්ණ ලෙස වංචා කිරීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ වකවානුව වනවිට ශ්‍රි නිවාස් සූදුවට ඇබ්බැහි වී සිටියේය.

වකුගඩු රෝගය අප ඇස් පනාපිට අත්විඳිමින් සිටින මහා ව්‍යසනයකි. වකුගඩු රෝගියෙක් සහිත නිවසක මිනිසුන් ජීවත්වන්නේ පණ පිටින් මියයමින් සිටින අර්ධ මරණයක් සමඟය. මුළුමනින්ම ආර්ථිකව, මානසිකව, මෙන්ම සමාජයීයව ද බිඳ වැටුණු බජ්ජාලා භාරතී හා සැමියා රවටා ශ්‍රීනිවාස් විසින් වංචා කළ ඉන්දියානු රුපියල් ලක්ෂ හතරෙන් ශතයක් ඔහු ළඟ තිබුණේ නැත. එම මුදල් ඔහු ලංකාවේදි කැසිනෝ ගසා වියදම් කර තිබිණි.

ලංකාවේ වෛද්‍යවරුන් මේ අලජ්ජී වකුගඩු ජාවාරම හා සම්බන්ධ බව ඉන්දියානු පොලිසිය මුලින්ම හෙළිදරව් කරගන්නේ වර්ෂ 2015 දීය. අනතුරුව රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් කළේය. ඔවුන් හෙළිදරව් කරගන්නේ මේ රටේ ප්‍රධාන රෝහල් හතරක මේ ජාව­ාරම සිදුවන බවය. ජාවාරම හා සම්බන්ධ වෛද්‍යරුන් හය දෙනෙකුගේ නම් ද රහස් පොලිසිය හෙළිදරව් කරගත්තේය.

අනතුරුව මේ සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍යය විසින් සංවාදයක් ඇති කළේය. බී. බී. සී ආයතනය එක දිගට හෙළිදරව් කිරීම් මාලාවක් සිදු කළේය. වර්ෂ 2016 දී මේ සඳහා පරීක්ෂණයක් ආරම්භ විය. සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල මණ්ඩලයක් පත් කළේය. එම කමිටුවේ පුද්ගලික රෝහල් සේවා අධ්‍යක්ෂ සිටියේය. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිටියේය. රට විලිලජ්ජාවට පත්කළ මේ අශ්ලීල ගනුදෙනුව සම්බන්ධව විමර්ශන අතරමඟ නැවතිනි. එළිපිට කරන වකුගඩු ජාවාරම අඩු වී ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් පවන් ශ්‍රීනිවාස් වැන්නන් හරහා නැවත ඉන්දියාවෙන් මතුව එන්නේ ඒ අලජීජී ජාවාරමේ සුන්බුන් සාධකය.

දැන් මේ ජාවාරම ගැන යාපනයෙන් ඇසෙන්නේය. අන්ත දුගී යාපනයේ තරුණයන් රවටා කෙරෙන වකුගඩු ජාවාරමක් යාපනය රෝහලේ සිදුවන බව වරෙක කියැවුණේය. මේ තරුණයන් කොළඹ පුද්ගලික රෝහල්වලදී මෙන්ම ඉන්දියාව ඔස්ට්‍රේලියාව වැනි රටවල පුද්ගලික රෝහල්වලදී ද සැත්කම්වලට භාජනය කර තිබුණහ. ඒ වකුගඩුවක් වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 05ක මුදලකටය. මෙසේ සැතකම්වලට භාජනය වූ තරුණයින් ප්‍රමාණය 500 ආසන්න බව කියැවේ. තරැවුකරුවන් සමග පැමිණි මෙම පුද්ගලයන් යාපනය රෝහලේ වකුගඩු සම්බන්ධව සිටි විශේෂඥවරයාගේ සායනයේ ලියාපංදිංචි වී නැති බව කියැවේ. මේ ජාවාරම රෝහල් අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරයි. එහෙත් මේ අලජ්ජී සිදුවීම් සම්බන්ධ සිදුවීම් මාලාව සම්බන්ධ සාක්ෂි සාධක තැනින් තැන මතුවෙමින් තිබේ.

අතිශයින් වැදගත් කාරණාව වන්නේ මේ අපරාධය සම්බන්ධව නෛතිකව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොහැකි වීමය. එවැනි අවස්ථාවක් සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු ඉදිරිපත් කළහොත් පරීක්ෂණයක් පවත්වා වෛද්‍යවරයාගේ වෛද්‍ය සභා ලියාපදිංචිය අත්හිටවිය හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සඳහා මැදිහත් වීමේ බලතල නැත. මේ රටේ වකුගඩු ජාවාරම සිදුවන්නේ ඒ නෛතික අඩුපාඩුවල රැකවරණය ලබමිනි.

පවන් ශ්‍රී නිවාස් වැනි ජාවාරම්කරුවන් විටින් විට ඉන්දියාවෙන් මතුවී අපට කියන්නේ අන්තර්ජාතිකව අප අශිෂ්ට ජාතියක් බවට පත් වී ඇති බව කියන කතාවය.

Comments