වතු කම්කරුවන්ගේ ‘කල්ලතෝනි’ නාමය ඉවත් කළ සෙල්ලසාමිගේ භූමිකාව නිමා වේ | සිළුමිණ

වතු කම්කරුවන්ගේ ‘කල්ලතෝනි’ නාමය ඉවත් කළ සෙල්ලසාමිගේ භූමිකාව නිමා වේ

 

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිව්‍යාපාරයේ ප්‍රබල හස්තයක් මෙන්ම මෙරට සුළු ජාතික දේශපාලනයේ මිණි පහනක් ලෙස අඩසියවසක දේශපාලන ගමන් මඟක් නිමාවට පත් කරමින් කාලයක් විශ්‍රාමිකව සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ප්‍රධාන ලේකම් එම්.එස්. සෙල්ලසාමි මහතා පසුගිය 01 වැනිදා මෙලොවින් සදහටම සමුගත්තේ සිය 94 වැනි වියෙහි දී ය.

උඩරට වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන් මෙරට තුළ හිමි කරගෙන ඇති අයිතිවාසිකම් වැඩි ප්‍රමාණයක් දිනා දීමේ පුරෝගාමියා වූයේ ද මේ එම්. එස්. සෙල්ලසාමිය. මෙරට කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බිහි කළ යුතු වෘත්තීය සමිති හාම්පුතුන් විසින්ම ආරම්භ කර කම්කරු අයිතීන් කප්පාදු කරමින් සිටි යුගයක වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරමින් සිටි මොහොතක ඊට අලුත් ශක්තියක් ලෙස කොංග්‍රසය හා එක් වූ එම්. එස්. සෙල්ලසාමි වතු කම්කරු ඉතිහාසයට නව පිටුවක් එක් කළ නායකයෙක් ද විය.

1926 නොවැම්බර් මස 12 වැනිදා තලවකැලේ මඩකුඹුර වතුයායේ කම්කරු පවුලක් වූ සංගරලිංගම් අන්නපූරනි පවුලේ පස් වැනියා ලෙස උපත ලැබු එම්.එස් සෙල්ලසාමි සුන්දරම් මුත්තුරාසම්මාල් සමඟ විවාහ වන්නේ 1950 දී ය. ඇයට පිරිමි දරුවන් තිදෙනෙකු හා දැරියන් සිව් දෙනෙකු වශයෙන් දරැවන් හත්දෙනෙකුගේ පියෙකුව සිටිය දී සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කමිටු නායක ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන්නේය. මේ විවාහයේ දරුවන් වන්නේ රවීන්ද්‍රන් (ජීවතුන් අතර නැත), සෙල්වකුමාර් (ජීවතුන් අතර නැත), රාජේන්ද්‍රන් (කැනඩාව), තිරුකේෂ් සෙල්වරාජ් (ලංකා කම්කරු කොංග්‍රසයේ සංවිධායක) වේ. ටික කලකින් දිස්ත්‍රික් කමිටු නායක ධූරයට පත්වන සෙල්ලසාමි ලංකා කම්කරැ කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත්වන්නේ 1963 දී ය.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අවස්ථාවේ ඔහුගේ ලේකම් වශයෙන් කටයුතු කළ වෙල්ලම්මා සිය දෙවන භාර්යාව ලෙස බාරගෙන ඇයත් සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන්නේය. ඔහු මිය යනතෙක් ජීවත් වන්නේද වෙල්ලම්මා සමඟය. ඇයව පළාත් පාලන මැතිවරණ තරගපිටියට යොදවා කොළඹ නාගරික මන්ත්‍රීවරියක බවටද පත් කරන්නේ සෙල්ලසාමිගේ දේශපාලන සබඳකම් මතය. වෙල්ලම්මා සෙල්ලසාමිට දරැවන් සිව්දෙනෙකි. ඔවුන් වන්නේ ආනන්ද කුමාර්, උදයසූරියන්, සරවනන් යන පුතුන් සහ සෞම්‍යා ධනූජා දියණියයි. ඒ අනුව සෙල්ලසාමි දරුදැරියන් 11 දෙනෙකුගේ පියෙකි.

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වතු කම්කරු අයිත්වාසිකම් වැඩි ප්‍රමාණයක් ලබාදීමට සාර්ථක සටන් රාශියක් මෙහෙය වූ වෘත්තීය සමිති නායකයෙක් ලෙස සෙල්ලසාමි වෘත්තීය සමිති ඉතිහාසයට එක්ව සිටියේය. සිය වෘත්තීය සමිති ව්‍යාපාරය අංශ ගණනාවක් කරා ගෙන යමින් ලංකා කම්කරු කොංග්‍රසය යටතේ වතු නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, කෘෂිකාර්මික සංගමය යනාදී සමිති ආරම්භකර ඊට නායකත්වය දී කම්කරුවන්ට පමණක් සීමා වූ වෘත්තීය සේවාව අංශ ගණනාවකට දියත් කළේය.

සිය වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් දේශපාලනය කරා පිය නගමින් ප්‍රථම වරට 1977 දී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට මැද කොළඹින් ලංකා කම්කරු කොංග්‍රසයේ කුකුළා ලකුණින් තරග කර ඡන්ද 26,964 ක් ලබා ගත්තද, එම ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට තරම් ප්‍රමාණවත් නොවීය. එසේ වුවද 1981 දී සමානුපාතික නියෝජන ක්‍රමයට පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට තරගකොට කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ ප්‍රවාහන අමාත්‍ය ධූරයට පත්විය.

1989 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත තරඟ කළ එම්. එස්. සෙල්ලසාමි මහතා එහි දී ඡන්ද 36,820 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එහිදී ඔහුට කුඩා කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි විය. ලංකා කම්කරු කොංග්‍රසය හා ආරුමුගම් තොණ්ඩමන් එක්වන්නේ මෙවන් යුගයක දීය. සෙල්ලසාමි මහ ලේකම් ධූරයෙන් ඉවත් කර ඒ සඳහා ආරුමුගම් තොණ්ඩමන් පත් කිරීමේ රහසිගත වැඩපිළිවෙලක් සෞම්‍යමූර්ති තොණ්ඩමන් දියත් කරන බව හෙළි වීමෙන් සෙල්ලසාමි තමන්ට විශ්වාසවන්ත මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ඒ ගැන සාකච්ඡා කරන්නේය. එම වැඩපිළිවෙලට සෙල්ලසාමි ඇතුළු එම මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කළත් සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඊට අවනත වන්නේ නැත. ඊට විරෝධය දක්වන එම්. එස්. සෙල්ලසාමි ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ කරමින් කොංග්‍රසයෙන් ඉවත් වන්නේ එස්. රාජරත්නම්, එස්. සදාසිවම්, ටී. වී. සෙන්නන්, පී. පී. දේවරාජ්, ඒ. එම්. ඩී. රාජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟය. එසේ කොංග්‍රසයෙන් ඉවත් වූ සෙල්ලසාමි ලංකා ජාතික කම්කරු කොංග්‍රසය නමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කරන්නේය.

1994 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව කොළඹ දිස්ත්‍රික්කයට තරග කරමින් පරාජයට පත්විය. ඉන්පසු යළිත් ලංකා කම්කරු කොංග්‍රසය හා එක්වන සෙල්ලසාමි, ආරුමුගම් තොණ්ඩමන් විසින් එහි උප සභාපති ධූරයට පත්කරන්නේය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන 2000 වසරේ පැවැති මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් විය. 2004 වසරේදී යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වන සෙල්ලසාමි 2007 සිට 2010 දක්වා කාලය තුළ තැපැල් හා විදුලි සන්දේශ ඇමති ලෙස කටයුතු කරන්නේය.

එක්සත් ජාතික පක්ෂය විසින් 1948 දී උඩරට වතුකරයේ සිටි ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි කරමින් ඇති කරන ලද කල්ලතෝනි නැමති නාමය නැතිකරන්නට යළිත් පුරවැසිභාවය ලබාදීමට මහඟු මෙහෙවරක් ඉටුකරන්නේය. මේ අයුරින් උඩරට වතුකරයේ කම්කරු ජනතාවට සෙල්ලසාමි කළ සේවය කිසි දිනෙක මිල කළ නොහැකිය.

Comments