ලාංකේය නූතන විනෝද සංස්කෘතියේ නිර්මාතෘ | සිළුමිණ

ලාංකේය නූතන විනෝද සංස්කෘතියේ නිර්මාතෘ

හනව වන සියවසේ බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ කතෝලික ධර්ම ප්‍රචාරක ව්‍යාපාර විසින් ශ්‍රී ලාංකික ජන ජීවිතයට කරන ලද වැදගත්ම බලපෑම වන්නේ නැණ නුවනින් මෙන්ම නොයෙක් සෞන්දර්ය කුසලතාවලින් ශික්ෂිත පුරවැසි සමාජයකට පදනම සකස් කිරීමයි. එවක කොලඹ නගරය කේන්ද්‍රගත කොට ගෙන වාසය කළ විවිධ ජන කොටස් පැරණි සාම්ප්‍රදායික ජීවන රටාව වෙනුවට නව ජීවන රටාවකට හැඩ ගැසෙමින් සිටි ඒ සංක්‍රාන්ති සමයෙහි වැදගත් භූමිකාවක් විනෝද සංස්කෘතියට හිමි විය. බහු සංස්කෘතික බහු ආගමික සමාජයක සහජීවනයෙන් යුතු ජීවිත පැවැත්මකට මාවත හෙළි කළ සංස්කෘතික ක්‍රියාධරයන් එසමයෙහි ඉටු කළ මෙහෙය පුනරාවර්ජනය කිරීම ද ප්‍රමෝදජනකය.

1852 වර්ෂයේ කොළඹ පිටකොටුවේ උපන් කළුතන්ත්‍රිගේ දොන් බස්තියන් ජයවීර බණ්ඩාරගේ පියා දොන් දාවිත් ජයවීර බණ්ඩාරය. බස්තියන් ජයවීර අධ්‍යාපනය ලද පාසල් පිළිබඳ නිවැරදි තොරතුරු හමු නොවෙතත් තම පියා ගුරුවරයකු වූ නිසා කොළඹ නගරයේ පැවති උසස් පාසලකට යොමු කරනන්ට ඇතැයි සිතිය හැකිය. බස්තියන් ජයවීර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිචය පාසල් අධ්‍යාපනය ඔස්සේ ලැබ ගන්නට ඇති අතර, හික්කඩුවේ ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති සහ වැලිගම සුමංගල යන හිමිවරුන් වෙතින් පෙරදිග භාෂා ශාස්ත්‍ර පිළිබඳ මනා දැනුමක් ලබා ගත් බව පැවසේ.

අටළොස් හැවිරිදි කළුතන්ත්‍රිගේ දොන් බස්තියන් ජයවීර බණ්ඩාර 1870 වර්ෂයේදී කොළඹ නගරයේ වාසය කළ ළමයින්ට සහ තරුණයන්ට සංගීතය ඉගෙන ගැනීම සඳහා ‘ගදඹ සතරහල’ නමින් ශාස්ත්‍ර ශාලාවක් ආරම්භ කොට අර්ථවත් විනෝද සංස්කෘතියකට මාවත හෙළි කළේය. මෙය ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රථම සංගීත විද්‍යායතනය ලෙස හැඳින්විය හැකි වුවද මෙහි අරමූණ වූයේ යම් ප්‍රමාණයක ක්‍රමවත් ගායන වාදන පුහුණුවක් ළමයින්ට සහ තරුණයන්ට ලබා දී ඔවුන්ගේ විවේකය විනෝදයෙන් පිරි අර්ථවත් කාලයක් බවට පත් කිරීමට මග හෙළි කිරීම මිස ඉහළ වෘත්තීය නිපුණත්වයක් ලබා දීම නොවේ. මේ කාලය වන විට ලොව නන් දෙසින් පැමිණි වෘත්තීය සංචාරක ප්‍රසංග කණ්ඩායම් සංගීතය හා බැඳුණු විවිධ නාට්‍ය, නෘත්‍ය, නර්තන ආදි ප්‍රාසාංගික දර්ශන කොළඹ නගරයේ නිරන්තරයෙන් ප්‍රදර්ශනය කෙරුණු බැවින් ඒවාහි අන්තර්ගත වූ කර්ණ රසායන සංගීතාංග කෙරෙහි නගර වැසියන්ගේ මහත් ආකර්ෂණයක් ඇති විය. මේ අතර රැය පහන් වන තුරු රඟ දැක්වුණු නාඩගම්වලට තිබුණු ජන ආකර්ෂණයද ක්‍රමයෙන් හීන වෙමින් පැවති අතර නාඩගම් රඟ දැක්වීම හේතු කොට ගෙන ඇතැම් සමාජ අපචාර බහුල වීම නිසා කෙටි කාලයක් ඇතුළත රඟ දැක්වෙන මධුර සංගීතය සහිත අභිනව නෘත්‍ය විශේෂ කෙරෙහි සමාජ අවධානය යොමු වෙමින් පැවතිණ. ‘ගදඹ සතරහලෙහි’ සින්දු පුහුණු වන බොහෝ තරුණයන්ට අකුරු ලිවීමට හා කියවීමට නොහැකි නිසා ඔවුන්ට ලේඛන පරිචය අත්කර දීම සහ දිවා කාලයේ විවිධ රැකියාවල නිරත වූවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දී රාත්‍රි කාලය සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම වැළැක්වීම යන අරමුණු පෙරදැරිව ‘පුණ්‍ය සංවරී’ නමින් රාත්‍රී පුණ්‍ය පාඨශාලාවක් බස්තියන් ජයවීර විසින් අරඹන ලදී. ඒ පිළිබඳ වූ පුවත්පත් දැන්වීමෙහි සියලු ආගම්වලට හා ජාතිවලට අයත් වූවන්ට නොමිලේ පැවැත්වෙන එම පාසලට සහභාගි විය හැකි බව සඳහන් ව තිබිණ. සතියේ දිනවල ප. ව. 6.00 සිට 9.00 දක්වා රාත්‍රී පාසල පැවැත්වුණු අතර ඉරිදා දිනය සංගීතය ප්‍රගුණ කිරීම සඳහා වෙන් කෙරිණ.

පිරිහෙමින් පැවති නාඩගම් සම්ප්‍රදාය කාලානුරූපව හැඩගස්වා ගෙන ඒ වන විට ලොව වෙනත් රටවල්වලින් මෙරටට පැමිණි නාට්‍ය කණ්ඩායම් මෙහි වේදිකා ගත කළ දියුණු නාට්‍යවලින් ආභාසය ලැබ අභිනව නාට්‍ය සම්ප්‍රදායක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂය බස්තියන් ජයවීරට තිබිණ. පුණ්‍ය සංවරී පාඨශාලාවේ සිසුන් නළුවන් ලෙස යොදා ගනිමින් 1878 වර්ෂයේ බස්තියන් ජයවීර සිය ප්‍රථම නූර්තිය වූ ‘රොලිනා’ නාටකය ප්‍රදර්ශනය කළේය. ඔහුගේ මුල් පරිශ්‍රමය සාර්ථක වූ බව එසමයෙහි පුවත්පත්වල පළ වූ ප්‍රතිචාරවලින් පැහැදිලි වෙයි. බස්තියන් ජයවීර කලා ක්ෂෙත්‍ර කිහිපයක පරිචය ලද්දකු බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘සිංහල ගැමි නාටකය’ කෘතියෙහි ලා මෙසේ සඳහන් කරයි. ‘මොහු නාට්‍යයෙහි පමණක් නොව වෙනත් ශාස්ත්‍රීය විෂයන්හි ද පුරෝගාමියකු වසයෙන් කටයුතු කළ කෙනෙක් විය..... බස්තියන් මහතා පළමුවෙන් රක්සාව ඇරඹුවේ මුද්‍රණ ශිල්පියකු වසයෙන් බවත් මුද්‍රණ ශිල්පය අතින් ඔහු ඔහු එකල කිසියම් ජාත්‍යන්තර ත්‍යාගයක් දිනූ බවත් කියති. පළමු වරට සිංහල දිනපතා පුවත් පතක් මුද්‍රණය කොට පළ කළේ මොහුය. එපමණක් නොව, සිංහල නවකතා විකාශනය කෙරෙහි සැලකිය යුතු ප්‍රභාවක් පෑ රාමායන පරිවර්තනයද සිංහල පාඨකයා හමුවේ තැබුවේ මොහු බව අමතක නොකළ යුත්තකි.’

රොලිනා නාටකය වේදිකාගත කරන එක් අවස්ථාවක ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලැබ පැමිණි ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා ඉදිරියේ නාට්‍යාරම්භයට පෙර බස්තියන් ජයවීර කතාවක් පවත්වා එතුමන් පිළිගනිමින් සිංහල ජනයා කිසිදු ශිෂ්ට කලාවක් නොදන්නා සංස්කෘතියක් නැති ම්ලේච්ඡ ජන කොටසක් බවට එංගලන්ත සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින අදහසක් ගැන කරුණු දක්වා තිබේ. ආණ්ඩුකාරතුමා ඊට ප්‍රතිචාර දක්වමින් කියා තිබෙන්නේ ඒ සියල්ල ප්‍රලාප බව දැන් ඔප්පු වී හමාර බවත් නාට්‍ය ශාලාවක මෙතරම් ශිලාචාර ලෙස හැසිරෙන ජන සමූහයක් තමා දැක නොමැති බවත් එය මුළු මහත් සිංහලයන්ට ගෞරවයක් බවත්ය. මෙයින් පැහැදිලි වන වැදගත් කරුණ වන්නේ බස්තියන් ජයවීර සංගීත පාඨශාලා, රාත්‍රී පාඨශාලා, සමිති සමාගම් ආරම්භ කළේද පුවත් පත්කලාවේ සහ ග්‍රන්ථකරණයෙහි නිමග්න වූයේද නාට්‍ය නිර්මාණ කළේද ස්වදේශිකයන්ගේ අභිමානය පෙරදැරි කොට ගත් ස්වදේශානුරාගී හැඟීමකින් බවය.

වෘත්තීය නිපුණත්වයකින් යුත් මුද්‍රණකරුවකු වූ බස්තියන් ජයවීර තම ලේඛන හැකියාව සහ මුද්‍රණ ශිල්පයේ නිපුණත්වය එකවර ප්‍රදර්ශනය කළේ ‘සොසිසා චරිතය’ නමැති කෘතිය සම්පාදනය කිරීමෙනි. චාල්ස් හෙන්රි ද සොසියාගේ ජීවිත කථාව අන්තර්ගත ඒ කෘතිය 1904 වර්ෂයේ දී දිනපතා ප්‍රවෘත්ති මුද්‍රණාලයේ මුද්‍රාපිතය. ඒ වන තෙක් කිසිදු සිංහල ග්‍රන්ථයක් එතරම් උසස් මුද්‍රණ නිමාවකින් පළ වී නැත. මේ ග්‍රන්ථයේ උසස් නිමාවට ජාත්‍යන්තර සම්මාන හිමි විය. ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස බස්තියන් ජයවීරගේ කුසලතා විවිධ තේමා යටතේ ලියැවුණු කෘතිවලින් අනාවරණය වෙයි. දේව කථාලංකාරය, දා සයුර, ඔවා මුතුහර, කව්මිණි බරණ, අක්ෂර ශික්ෂාව, සභා රත්නය හා වාග් ශාස්ත්‍රය, ශ්‍රී දේවි යනු ඔහු අතින් රචනා වූ කෘති කිහිපයකි. එකුන් සැත්තෑ වසරක් ආයු විඳ 1921 පෙබරවාරි මස 21 වන දින මේ උදාර ලංකා පුත්‍රයා මෙලොවෙන් සමු ගත්තේය.

Comments