ලංකාවෙන්ම මෙතෙක් ලබාගත් වැඩිම මනාප කුරුණෑගලින් මහින්දට | සිළුමිණ

ලංකාවෙන්ම මෙතෙක් ලබාගත් වැඩිම මනාප කුරුණෑගලින් මහින්දට

ස්ති රාජයකුගේ හැඩහුරුකම සොබාදමින් තිළිණ ලබමින් රටටම අනන්‍ය වන ඇතුගල කේන්ද්‍රය කර ගනිමින් ඓතිහාසික කුරුණෑගල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ රටේ විශාලතම පළාත වන වයඹ පළාතේය. ලක්ෂ විස්සකට ආසන්න ජනගහණයකින් යුක්ත(1,719,000 – 2019 වර්ෂයට) කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,816කි. දිස්ත්‍රික්කය තුළ මැතිවරණ කොට්ඨාස 14ක් පවතින අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 15ක් සම්පූර්ණ වන්නේද කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් සියයට 51.9ක් කාන්තාවන් වන අතර සියයට 48.1ක් පුර්ෂයන් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වඩාත්ම අවධානයට ලක්වන සුවිශේෂී කරුණ වන්නේ ජනගහණයෙන් අති මහත් බහුතරය ග්‍රාමීයව වාසය කිරීමය. ලක්ෂ දාහත ඉක්මවන සමස්ත ජනගහණයෙන් සියයට 97.7ක්ම වාසය කරන්නේ ග්‍රාමීයවය. සංඛ්‍යාත්මකව ගත් කළ එය 1,580,550කි. සෙසු පිරිස නාගරිකව සහ වතු ආශ්‍රිතව පදිංචිකරුවන් වේ. මෙයද දිස්‍ත්‍රික්කයේ ඡන්ද පදනමට ඉතා වැදගත්වන සාධකයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් නාගරිකව ජීවන් වන සංඛ්‍යාව 2019 වන විට 30, 342ක් පමණි. තවත් 7,567ක පිරිසක් වතු ආශ්‍රිතව ජීවත් වෙති.

එහෙත් ජනගහණයෙන් සියයට 67.6ක් වයස 15 – 64ත් සීමාවේ පසුවන බැවින් වඩා හොඳ ශ්‍රම බලකායක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වන බව පැවසිය හැකිය. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වඩාත්ම වැදගත් ලක්ෂණය වන්නේ ජනගහණයේ අති බහුතරය සිංහල හා බෞද්ධාගමිකයන් වීමය. දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් සියයට 91.4ක් සිංහල වන අතර දෙමළ, මුස්ලිම්, මැලේ සහ අන් සෙසු සියලු ජනවර්ග වාසය කරන්නේ සියයට 8.6ක් පමණි. එමෙන්ම දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් සියයට 88.5ක් එනම් 1,431,638ක් බෞද්ධාගමිකයන් වන අතර සංඛ්‍යාත්මකව හින්දු ආගමිකයන් 14,721ක්, මුස්ලිම් ආගමිකයන් 1,18,305ක් ක්‍රිස්තියානි ආගමිකයන් 53,638ක්ද වාසය කරති. දේශපාලනිකව ගත් කළ කුරුණෑගල දිස්ත්‍රික්කය රටේ සමස්ත ජනමතයට සිදුකරන බලපෑම අතිමහත්ය. එයට හේතුව වන්නේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව රටේ බහුතරය වන සිංහල සහ බෞද්ධ ජනගහණය දිස්ත්‍රික්කයේද අති බහුතරය වීමයි. එය සාපේක්ෂව සම කළ හැකි වන්නේ දෙමළ ජාතිකයන් බහුතරයක් වාසය කරන උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනමතයේ විරුද්ධ පිළිබිඹුවකටය.

එහෙත් 1989 මහමැතිවරණය වන විට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජනමතය වඩා වෙනස් තැනකට විතැන්ව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 58.51ක් ලබා දෙමිනි. පර්ලිමේන්තු ආසන 10ක් ද ඒ සමග කුරුණෑගලින් එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දෙන්නේ සියයට 36.35ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ලැබූ ආසන සංඛ්‍යාව 5කි.

1994 මහමැතිවරණයේදී යළිත් කුරුණෑගල ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් තම බහුතර කැමැත්ත ප්‍රකාශ කරන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 51.87ක් සහ ආසන 8ක් විය. එමෙන්ම 1994 ජනාධිතිවරණයේදී අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ලබා දෙන්නේ සියයට 59.36ක් තරම් වූ අති විශාල ඡන්ද ප්‍රතිශතයකි. 1999 ජනධිපතිවරණයේදී එම ප්‍රතිශතය මදක් පහළ බැස තිබෙන අතර එවර හිටපු ජනාධිතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියට කුරුණෑගලින් හිමිවන්නේ සියයට 50.77ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

2000 වසරේ මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කුරුණෑගල ජනතාව තම බහුතර කැමැත්ත ප්‍රකාශ කළද 2001 වසරේදී එනම් වසරක කාලයක් ඇතළත එය එක්සත් ජතික පක්ෂය වෙත විතැන් වී තිබේ. මේ අවස්ථා දෙකේදීම ජයග්‍රාහී පක්ෂයට, එනම් දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකිවූ පක්ෂයට ආසන 8 බැගින් දිනා ගැනීමට හැකිවිය. එහෙත් යළිත් 2004 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගොඩනැගූ දේශපාලන සුසංයෝගයට කුරුණෑගල ජනතාව ලබා දී ඇත්තේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 51.93ක ප්‍රතිශතයකි. එවර ආසන 9ක් ජයග්‍රාහී සන්ධානයට කුරුණෑගලින් හිමිවිය.

2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සියයට 52.26ක ප්‍රතිශතයක් එනම් ඡන්ද 4,68,507ක් ලබා දුන් කුරුණෑගල ජනතාව 2010 ජනාධපතිවරණයේදී එම සංඛ්‍යාව සියයට 63.08 දක්වා ඉහළ නැංවීය.

2010 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 10ක් හිමිවන්නේ මෙතෙක් ඉතිහාසයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී පක්ෂයක් ලැබූ වැඩිම ආසන සංඛ්‍යාව වාර්තා කරමිනි. එවර විපක්ෂය වූ එක්සත් ජාතික පෙරමුණට කුරුණෑගලින් හිමිවූයේ ආසන 5ක් පමණි. 2015 ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වුවද එවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුතරයක් ජනතාව තම කැමැත්ත පළ කරන්නේ මහින්ද රජපක්ෂ මහතාටය. එවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජය හිමිවන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. එය සියයට 49.26ක් සහ ආසන 8ක් විය. ආණ්ඩු පක්ෂය වූ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලාබගත හැකි වූයේ සියයට 45.85ක් සහ ආසන 7ක් පමණි.

වසර 20කට ආසන්න කාලයක් එකම රටාවේ ජනමතයක් නිරූපනය කරමින් පැමිණි කුරුණෑගල දිස්ත්‍රික්කය 2019 ජනාධිපතිවරණයේදී එම ජනමතය තවත් ත්‍රව්‍ර කර පෙන්වීමට සමත් විය. ඒ පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණින් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 6,52,278ක ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමිනි. මෙවර මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාපොදුජන පෙරමුණටය. පක්ෂයටය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන එකොළහක් එම පක්ෂයට හිමි විය. එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර එතුමා ලබා ගත් මනාප සංඛ්‍යාව 5,27,364කි.

පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ද මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් සම්පූර්ණ කිරීමට අසමත් විය.

Comments