මැතිවරණ දිනයේ රෑ කොළඹ වටේ සවාරියක් | සිළුමිණ

මැතිවරණ දිනයේ රෑ කොළඹ වටේ සවාරියක්

දා මෙදා තුර මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් මෙවර ඡන්ද විමසීම් සිදුකළ දා රාත්‍රියට විරාමයක් දෙමින් පසුවදා ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල විකාශන කටයුතු යොදාගෙන තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කරන ලද ස්ථාන කිහිපයක මා සංචාරය කළ අතර අදාළ කටයුතු සාමකාමීව හා සෞඛ්‍ය නීති රීතිවලට මුල් තැන දෙමින් සිදු කරනු දක්නට ලැබුණි.

කොළඹ නගරයේ ඡන්ද ප්‍රකාශ කරන ස්ථානවල ඡන්දය නිමවූ පසු සීල් තබන ලද ඡන්ද පෙට්ටි සුවිශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනෙන ලදී. රාත්‍රිය පුරාවට ඡන්ද පෙට්ටිවලට ආරක්ෂාව ලබා දුන් අතර ඒ ඒ පක්ෂවල සාමාජිකයන් කිහිපදෙනෙකුටත් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව ස්ථාපිත කිරීමට එහි නතර වීමට ඉඩ කඩ ලැබුණි.

පසුදින උදේම ඡන්ද පෙට්ටි විවෘත කරන ලද්දේ ආරක්ෂක නිලධාරීන් හා ඡන්ද අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ඉදිරියේ ය. උදේ 8.00 විට ඡන්ද ගණන් කිරීම ඇරඹුණි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 717 තිබුණු අතර ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 5 ක් ස්ථාපිත කර තිබුණි.උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බොරැල්ල, රත්මලාන ඡන්ද කොට්ඨාසවල ඡන්ද ගණන් කෙරුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. බස්නාහිර පළාතේ තැපැල් ඡන්ද ගණන් කෙරුණේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේය. මහරගම හා කැස්බෑව ඡන්ද ගණන් කෙරුණේ කොළඹ ඉසිපතන විද්‍යාලයේය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අනිකුත් ඡන්ද කොට්ඨාසවල ඡන්ද ගණන් කෙරුණි. මෙම ස්ථානවල ගණන් කරන ලද ඡන්ද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවන ලද කුටියක සිට නිල වශයෙන් නිකුත් කරන ලදී. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පරිශ්‍රය දේශීය උත්සවයක සිරියාව ගෙන තිබූ අතර ශබ්ද විකාශන යන්ත්‍රයකින් විකාශනය වූ අමරදේවයන්ගේ රත්නදීප ජන්ම භූමි, ලංකදීප විජයභූමි ආදී දේශානුරාගී ජාතිකානුරාගී ගීත පමණි. හදිසි විදුලි බිඳ වැටීමකට ඔරොත්තුදීම සඳහා විදුලිබල මණ්ඩලයේ විශාල ජෙනරේටරයක් යොදා තිබුණි. පොලිසියෙන් හා හමුදාවෙන් ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවා තිබූ අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයෙකුම සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව පිළිවෙත් සඳහා යොමුවිය යුතුව තිබුණි. දෑත් සබන් යොදා අත් සෝදාගත් අතර ශරීර උෂ්ණත්වය ගණනය කිරීමෙන් පසු ඇතුළු කෙරුණේ ආයතන පරිශ්‍රයට ඇතුළුවීමේ අවසරපත් තිබූ පුද්ගලයන් පමණි. විවිධ අංශවලට අයත් පුද්ගලයන් සඳහා විවිධ වර්ගයේ අවසර පත් කීපයක් නිකුත් කර තිබුණි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දොරටු අසල මීටරයක දුර පවත්වා ගනිමින් පිළිවෙලින් ඇතුළු කෙරුණි. ප්‍රධාන පාරේ රැඳී සිටියේ මාධ්‍යවේදීන්ට අමතරව තවත් කිහිප දෙනෙක් පමණි. එක්තරා කණ්ඩායමකින් ඡන්දය ඉල්ලූ තරුණයෙක් තම සහචරයන් පිරිසක් සමඟ පැමිණ සිටි අතර ඡන්ද ක්‍රමය ගැන විවේචනය කරන්නට විය. ‘උගත් වියත් අය කියලා හැමදාම හොරු වංචාකාරයෝ තමයි රට පාලනය කරන්නේ සල්ලි තියන මිනිසා ඡන්ද ව්‍යාපාර කරනවා. නැති මිනිසා නිකම් ඉන්නවා. අපි 2025 දී මේ ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් ගේනවා.’ ටික මොහොතකින් ඔහු පිරිස සමඟ වාහනයේ නැඟී ගියේය.

ඊළඟට මම ගමන් කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයටයි. එහි ප්‍රධාන ඇතුළුවීමේ ගේට්ටුවල ආරක්ෂක නිලධාරීන් යොදා තිබූ අතර කොවිඩ් ආරක්ෂක උපදෙස් ඇතුළත් බැනර් හා කටවුට් ඉදිරියේ සවිකර තිබුණි.

මේ සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්ම පොලිස් නිල සුනඛයන් යොදා පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂා කරන ලදී. හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට හැකිවන පරිදි සෞඛ්‍ය නිල රථ සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම දක්නට ලැබුණි. තර්ස්ටන් විද්‍යාලයේ අංක 1 දරන ගේට්ටුවේ රාජකාරියේ නිරතව සිටි උ.පො.ප. එස්.එෆ්. ගුණතිලක මහතා පැවසුවේ මෙම ගණන් කිරීමේ මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණනය කරන මධ්‍යස්ථානය බවත්, කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා නොවූ බවයි. මධ්‍යස්ථානයට ඇතුළුවන වාහන පවා විෂබීජ හරණය සිදුකරන බවත් කියා සිටියේ ය. පන්ති කාමර 30 පමණ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකරන ලදී. ඒ සෑම ගණන් කරන ස්ථානයකම රජයේ නිලධාරීන්ට අමතරව එක් එක් පක්ෂයේ නියෝජිතයා බැගින් සිටියහ. යම් ගණනය කිරීමක් සම්බන්ධයෙන් එක් පාර්ශ්වයක් නොසතුටු වන්නේ නම් යළිත් එය ගණනය කරයි. යම් පක්ෂක නියෝජිතයින් පැමිණෙන තුරු එම කාමරයේ ඡන්ද ගණන් නොකරයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන දොරටු දෙකකින් ඇතුළුවීමට ඉඩකඩ තිබුණි. විශාල ජෙනරේටරයක් විදුහල ඉදිරිපස විය. මාධ්‍යවේදීන්ට ඇතුළුවීමට ඉඩ නොදීමෙන් රාජකීය විදුහල් දොරටුවේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ගැටුම් ඇතිකර ගත්හ. පොලිස් හා හමුදා නිලධාරීන් සඳහා වෙනම හට් ගසා තිබුණු දක්නට ලැබුණි. රාත්‍රියේ නිවෙස්වලට යන අය සඳහා ගමන් පහසුකම් සැලසීම් සඳහා ද කටයුතු යොදනු දක්නට ලැබුණි.

බොහෝ පිරිස් ඡන්ද ෆයිල් රැගෙන කඩිමුඩියෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා ගමන් කරනු දක්නට ලැබුණි. ඉසිපතන විද්‍යාලය පිහිටා ඇත්තේ ස්වභාවයෙන්ම ඉදිරි ආරක්ෂක තාප්පයකින් යුක්තවය‍.

ඉසිපතන විද්‍යාල සීමාවේ විශාල ජනකායක් රැඳී සිටිනු දක්නට ලැබුණු අතර පොලිස් රථයක් ද ඒ අසල විය. එහි රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියකු පැවසුවේ උදේ පටන් ම කිසිදු කලහකාරී සිදුවීමක් සිදු නොවූ බවයි. සාමකාමීව ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන බව පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රවලට ඇතුළු වන හැමට අත්සෝදා ගැනීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මෙන් ම පානීය ජල අවශ්‍යතා පවා සපුරා තිබුණි. කොවිඩ් සෞඛ්‍ය උපදෙස් වලට අනුව මීටරේ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබුණි. එසේම හදිසියේ අසනීප වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර අංශයක් ද මෙම සෑම මධ්‍යස්ථානයකම ස්ථාපිත කර තිබුණි‍.

මෙම සෑම මධ්‍යස්ථානයකම ගණන් කරන ලද ඡන්ද ප්‍රතිඵල ලේඛනවල අත්සන් හා සීල් යෙදීමෙන් පසුව ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට යවනු ලැබුණි. සමස්තයක් වශයෙන් නිරීක්ෂණය කරන ලද විට මෙවර කොළඹ ඡන්ද ප්‍රකාශ කිරීම හා ඡන්ද ගණන් කිරීමේ කටයුතු සාමකාමීව සිදුවූ බව කිව හැකියි.

 

Comments