මහනුවර එජාප බළකොටුව සුණු විසුණු වෙයි | සිළුමිණ

මහනුවර එජාප බළකොටුව සුණු විසුණු වෙයි

හනුවර දිස්ත්‍රික්කය එජාප බළකොටුවක් යැයි ප්‍රචලිතව පැවති අදහස සුනු විසුනු කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහනුවර සියලුම ආසන ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර 12 න් 08 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී සමත්වීම විශේෂත්වයකි. ඡන්ද 477446 ලබා ගනිමින් 58.76% ක ඡන්ද ප්‍රතිශතයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකම් කියත්දී එජාපයෙන් බිඳීගොස් වෙනම තරග කළ සමඟි ජන බලවේගය ඡන්ද 23,4523 ක් ලබා දිනාගනු ලැබුවේ මන්ත්‍රී ආසන හතරකට පමණක් හිමිකම් කියමිනි.

එජාපයට මහනුවර සමස්ත ප්‍රතිපලය පස්වන තැන හිමිවූ අතර ඔවුන් ලබාගත් සංඛ්‍යාව 19012 කි.ස්වාධීනව තරග කළ මහසෝන් බළකායේ නිර්මාතෘ අමිත් වීරසීංහ ප්‍රමුඛ කණ්ඩායම ඡන්ද 25797 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්වෙත්දී ලාල්කාන්ත නායකත්වය දුන් ජාතික ජන බලවේගය සිව්වන තැනට තල්ලු වූයේ ඡන්ද 22997 ක් ලබා ගනිමිනි.එම කණ්ඩායම් දෙකටම මහනුවරින් එකදු අසුනක් හෝ හිමි නොවිණි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 17 ක් හා ස්වාධීන කණ්ඩායම් 12 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 435 දෙනෙකු ඡන්ද සටනට එක්ව සිටියහ. ඡන්ද ප්‍රදේශ 13 ක් පුරා විසිරී පවත්නා ග්‍රාම නිලධාරී වසම් 1187 ක 1129100 දෙනෙකු මෙවර පක්ෂ හා ඒවායින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දිනවීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටියහ. පසුගිය ජනපතිවරණයේදී භාවිතයට ගත් 2018 ඡන්ද හිමිනාම ලේඛනයේ සිටි සංඛ්‍යාවට වඩා අලුතින් ඡන්ද දායකයින් 17240 දෙනෙකු මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි.

හාරිස්පත්තුව,ගලගෙදර,පාතදුම්බර,උඩුනුවර,තෙල්දෙණිය,කුණ්ඩසාලේ,හේවාහැට,සෙංකඩගල,මහනුවර,යටිනුවර,උඩුදුම්බර,ගම්පොළ,නාවලපිටිය යන ආසන 13 ම මෙවර ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.පසුගිය ජනපතිවරණයේදී නාවලපිටිය, ගම්පොළ, උඩුනුවර,හේවාහැට,පාතදුම්බර හා මහනුවර ආසන ජයග්‍රහණය කිරීමට එජාපය සමත් විය. එම සියලු ආසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජයග්‍රහණය කළ අතර එහි ප්‍රතිපලය වූයේ 242923 ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමය.

සමඟි ජන බලවේගයට නායකත්වය දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධානය කළ සෙංකඩගල ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේ වැඩි ඡන්ද 16931 කිනි. එජාපයට නායකත්වය දුන් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සංවිධානය කළ හේවාහැට ආසනයෙන් එජාපයට හිමිව තිබුණේ ඡන්ද 1437 කි.දිස්ත්‍රික්කයේ ආසන සියල්ල පරාජය වෙත්දීත් එජාපය මහනුවර ආසනය ඉතිහාසයේ කිසිදු දිනක පරාජයට පත්ව නොමැති වුවත් මෙවර එම ආසනය වැඩි ඡන්ද 4000 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. වසර 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ධූර 07 ක් දිනා ගත්තේ ඡන්ද 440761 ක් ලබා ගනිමිනි.

ඡන්ද 309152 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහනුවරින් මන්ත්‍රී ධූර පහක් හිමිවත්දී ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධූරයක් හෝ හිමි නොවිණි. මෙවර ජ.වි.පේ ඡන්ද ප්‍රමාණය හය දහසකින් පමණ පහළට ඇද වැටී තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිම්න්තුව නියෝජනය කිරීමට වරම් ලද මන්ත්‍රීවරුන් අතර දිලුම් අමුණුගම පෙරමුණේ සිටින්නේ මානාප ඡන්ද 177758 ක් ලබා ගනිමිනි.

මහින්දානන්ද අලුත්ගමගේට ඡන්ද 161471 ක්ද ලොහාන් රත්වත්තේට 140917 ක්ද අනුරාධ ජයරත්නට 140798 ක්ද කෙහෙලිය රඹුක්වැල්ලට 110832 ක්ද හිමිව තිබිණි. එම ලැයිස්තුවේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේ, එරික් වීරවර්ධන හා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමැති සරත් ඒකනායකට පාර්ලිමේන්තු වරම් ලබන්නට තරම් මනාප හිමි නොවත්දී අලුත් මුහුණු තුනක් පාර්ලිමේන්තු යැවීමට මහනුවර ජනතාව පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

වසන්ත යාපා බණ්ඩාරට මනාප 108940 ක්ද ගුණතිලක රාජපක්ෂට මනාප 49317 ක් වියත් මඟ නියෝජනය කළ උදයන කිරිඳගොඩට මනාප 39904 ක්ද එහිදී හිමිව තිබිණි. වසන්ත යාපා හා කිරිඳගොඩ මැතිවරණයට ඉදිරිපත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

සමඟි ජනබලවේගය යටතේ තරඟ කළ අපේක්ෂකයින් අතරින් මනාප ඡන්ද 83398 ක් ලබා ගනිමින් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රවුෆ් හකීම් සමත්ව ඇත.එම්.ඒ.එච් හලීම්ට මානප 71063 ක්ද වේලූ කුමාර් මනාප 57445 ක්ද ලක්ෂ්මන් කිරිඇල්ල මනාප 52311 ක්ද ලබාගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ලකී ජයවර්ධන මහතාට මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිව ඇත.

Comments