පෝරකයට නියම වූ ප්‍රේමලාල් ජනතා මනාපයෙන් දෙවන තැනට | සිළුමිණ

පෝරකයට නියම වූ ප්‍රේමලාල් ජනතා මනාපයෙන් දෙවන තැනට

මෙවර පැවැති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ පවිත්‍රාදේවි වන්නිආරච්චිය. ඈ ලැබූ මනාප සංඛ්‍යාව 2,00,977කි. දෙවැනි තැනට පත් වී සිටින්නේ ප්‍රේමලාල් ජයසේකරය. ඔහු ලැබූ මනාප සංඛ්‍යාව 1,04,237කි. ප්‍රේමලාල් ජයසේකරට මනාප දිය හැකිද, එහි වලංගු භාවයක් තිබේද යනුවෙන් මැතිවරණය කට උඩ තිබියදී ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් මතු විය. ඊට හේතු වූයේ අගෝස්තු 05 වැනි දින මහ මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ජූලි 31 වැනි දින ඔහුට මරණීය දණ්ඩනය දී ඔහුව බන්ධනාගාරගත කිරීමයි.

ප්‍රේමලාල් ජයසේකරට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ 2015 ‍ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කහවත්ත නගරයේදී ඒ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුව සිටි මෛත්‍රීපාල සිරිසේනයන්ට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ එම අවස්ථාවේදී රැස්වීම් භූමියේ සිටි දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම, වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්පාමි යන අයට වෙඩි තබා බරපතළ තුවාල කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් 2016 සැප්තැම්බර් 13 වැනිදා රත්නපුර මහාධිකරණය හමුවේ පැවරූ නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

නීතිපතිවරයා විසින් ‍ගොනු කළ නඩුවට විත්තිකරුවන් හත් දෙනකු නම් කරනු ලැබීය. විත්තිකරුවන් 7 දෙනා වූයේ අරුණ නිලන්ත ජයසේකර, මාණික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, පැලවත්තගේ පැතුම් ධනංජය, උඩහදා සීලගේ අසංක නාමල්, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ගමඇති රාළලාගේ අජිත් මලවි ගුණරත්න යන අයයි. රත්නපුර මහාධිකරණ විනිසුරු යූ.එච්.බී. කරලියැද්ද හමුවේ අධි චෝදනා පත්‍ර බාර දුන් පසුව ඔවුන් චෝදනාවලට නිවැරදිකරුවන් බව පැවසිණි. ඉන්පසුව 2017 දී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය හමුවේ නඩුවේ සාක්කි විභාගය ආරම්භ විය. වසර 3ක් පුරා මෙම නඩුව විභාග කෙරිණි. නඩු විභාගයේදී විත්තිකරුවන්ට විරුද්ධව සාක්කිකරුවන් 59 දෙනකුගේ සාක්ෂි කැඳවනු ලැබ අතර නඩු භාණ්ඩ 16ක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අපරාධය සිදු වූ ස්ථානය අවට පිහිටි වෙළෙඳසැල් තුනකින් එදින අලුයම කාලයේ සී.සී.ටී.වී. කැමරා තුනක දර්ශන ප්‍රතිඋත්පාදන තැටි වශයෙන් ද ආයතන 2ක ජංගම දුරකථන වාර්තා ද පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුවේ මූලික සාක්ෂි විමසීමකින් පසුව ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකරුවන් හත්දෙනා අතරින් පැලවත්තගේ පැතුම් ධනංජය, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටු, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න යන සිව්දෙනාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි. ඉන් අනතුරුව මෙම තිදෙනාට පමණක් එරෙහිව නඩු විභාගය පැවැත්වූ අතර ඒ නඩු විභාගය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබූ ‍චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළේය. ඒ අනුව විත්තිකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා මරණකරුගේ ඥාතීන්ට හා තුවාලකරුවන්ට රු. ලක්ෂ 6 බැගින් වන්දි ගෙවීමට ද නියම කළේය. වන්දි මුදල් නොගෙව්වොත් විත්තිකරුවන්ට අමතර මාස 24 බැගින් වූ බරපතළ සිරදඬුවම් ද විනිසුරුවරයා නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පෙනී සිටියේය. මෙලෙස මරණ දඬුවම නියම වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කළ ජය ලැබූ ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාණික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාටය.

මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පස්වරු 1.00ට නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ රත්නපුර මහාධිකරණය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් රැස් වී සිටියහ. මෙයින් ප්‍රේමලාල් ජයසේකරගේ ජනප්‍රියත්වය මනාව පැහැදිලි වේ. මරණීය දණ්ඩනය හිමි වී බන්ධනාගාරගත කළ ද ඔහුට තිබෙන ජනප්‍රියත්වය බිඳකුදු අඩු වූයේ නැත. ඔහුට 1,04,237ක් මනාප ලැබුණේ එබැවිනි. 2015 මහ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී ද ඔහු සිටියේ මෙම චෝදනා සඳහා සැක පිට රිමාන්ඩ් භාරයේය. එවර ඔහු මනාප 1,54,980ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

2015 මහ මැතිවරණයේදී ඔහු වරදකරුවකු නොවූවද මෙවර ඔහු අධිකරණයෙන් වරදකරුවෙක් වී සිටියි. ඔහ‍ුගේ ඡන්ද අපේක්ෂකත්වය පිළිබඳව ප්‍රශ්න මතු වුණේ එබැවිනි. මැතිවරණ පනතේ අඩංගු වී තිබෙන්නේ ඡන්ද අපේක්ෂකයකු මිය ගියහොත් ඒ වෙනුවට වෙනත් අයකු යෙදවීම මිස ඡන්ද අපේක්ෂකයකු අධිකරණයෙන් දඬුවම් ලැබීමෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග ගැන එහි සඳහන් නොවන බව දන්වා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ය. ඡන්ද අපේක්ෂකයකුගේ නමක් කටු ගෑමට බලයක් නොමැති බව ඔහු තවදුරටත් දන්වා සිටියේය. මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර ඡන්ද අපේක්ෂකයකු බැවින් ඔහුගේ මනාප අංකය ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කිරීමට හැකියාවක් නැති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න සඳහන් කළේය. ප්‍රේමලාල් ජයසේකර ජයග්‍රහණය කළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරන බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතරවාරයේදී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය සිනාලි, සිය පියාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් පියා වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගේ සිත් සතන් තුළ බලාපොරොත්තු ඇති කරමිනි. ප්‍රේමලාල් ජයසේකරට හිමි මනාප අංකය වූයේ අංක 13 යි. අංක 13 නපුරුයි කියා බොහෝ දෙනකු සිතූවද අංක 13 ප්‍රේමලාල් ජයසේකරට නපුරු වූයේ නැත.

ප්‍රේමලාල් ජයසේකරගේ බිරිඳගේ බාල සොයුරු රංජිත් බණ්ඩාර තරග කළේ මනාප අංක 09 යටතේය. ප්‍රේමලාල් ජයසේකර යන මස්සිනා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නැඟීමටත් මස්සිනා වෙනුවෙන් කතා කිරීමටත් අංක 09ට මනාපයක් ලකුණු කර රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තු යැවිය යුතු යැයි සඳහන් කරමින් මුහුණුපොත හරහා මැතිවරණ ප්‍රචාරයක් ක්‍රියාත්මක විය. එහෙත් රංජිත් බණ්ඩාරට ජයග්‍රහණය හිමි වූයේ නැත. 2015 මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් ප්‍රේමලාල් ජයසේකර, මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් ජයග්‍රහණය කළේය.

අගෝස්තු 05 වැනි දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී අගෝස්තු 04 වැනි දින පෙරවරුවේ ප්‍රේමලාල් ජයසේකරට ලබා දුන් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර තිබේ. රත්නපුර පළාත්බද මහාධිකරණයට නීතිඥ ඩී.එම්. ජානක සුමේධ සහ නීතිඥ චන්දික පීරිස් විසින් මෙම අභියාචනා පෙත්සම භාර දෙනු ලැබුවේ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වාගේ උපදෙස් මතය. අභියාචනා පෙත්සමක් භාර දුන් පසුව ඔහු මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් රඳවා තබන සිරකුටිවල රඳවා තබන්නේ නැත. එතැන් සිට ඔහු සාමාන්‍ය සිරකරුවකු බවට පත්වේ. එවිට ඔහුට පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය. දුමින්ද සිල්වා, රංජන් රාමනායක පවා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අයුරු අපට මතකය.

ප්‍රේමලාල් ජයසේකර 2017 - 2020 වකවානුව තුළ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන්නේ දින 39ක් පමණි. ඔහු නොපැමිණි දින ගණන 213කි. 1974 වස‍ෙර් උපන් හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර දේශපාලනයට පිවිසෙන්නේ 23 වැනි වියේදීය. එනම් 1997 දී ප්‍රා‍ෙද්ශීය සභාවේ සභාපති වශයෙනි. 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයනේ තේරී පත් වුණු ප්‍රේමලාල් ජයසේකර 2004 දී මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පදවිය හෙබවීය. ඉන් අනතුරුව ස්වයං රැකියා හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය යන තනතුරු හෙබවීය. නිවිතිගල ආසනයේ සංවිධායක වන ප්‍රේමලාල් ජයසේකර ව්‍යාපාරිකයෙකි. දියණියන් තිදෙනකුගේ සහ පුතකුගේ පියෙකි. ප්‍රේමලාල් ජයසේකරගේ ඡන්ද අපේක්ෂකත්වය පිළිබඳව ගැටලු මතු නොවන බව පවසමින් පියා වෙනුවෙන් හඬක් නැඟුවේ ඔහුගේ වැඩිමහල් දියණිය සිනාලි ය.

චොකා මල්ලි යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ප්‍රේමලාල් ජයසේකර අධිකරණයෙන් දඬුවම් ලැබූවද ජනතාවගේ මනාපය වෙනස් වී නොමැති බව මෙවර මහ මැතිවරණයේ මනාප සංඛ්‍යාවෙන් පැහැදිලිය.

 

Comments