පොහොට්ටුවේ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ විවරණයක් | Page 2 | සිළුමිණ

පොහොට්ටුවේ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ විවරණයක්

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිෂේකයේ උච්චතම අවස්ථාව මැතිවරණයයි. රට හදන තීන්දු තීරණ ගන්නා ව්‍යවස්ථාදායකය සහ මහජන නියෝජිතයන් ගැන මෙරට ජනතාවගේ උනන්දුව වැඩි වන්නේ 1931 දී හඳුන්වා දුන් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා 1931 සහ 1936 දී පැවැත්වූ මැතිවරණවලදී ඡන්ද අපේක්ෂකයන් හඳුනා ගැනීමට යොදාගන්නා ලද්දේ වර්ණ භාවිතයයි. ඡන්ද දායකයා විසින් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව එක් එක් අපේක්ෂකයාට අයත් නියමිත වර්ණ සහිත පෙට්ටියට දැමිය යුතු විය.

1947 සිට 1960 දක්වා පැවති මැතිවරණවලදී අපේක්ෂකයා කැමති ලකුණක් ද භාවිත කළ හැකි වූ අතර මේ වන විට පක්ෂ ලකුණ නීතිමය උරුමයක් බවට පත්වී තිබේ. ජනගහනය වැඩිවීමට සාපේක්ෂව පාර්ලිමේන්තුව සඳහා පත්කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව ද ඉහළ ගියේය. 1947-1956 මැතිවරණය දක්වා ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු ගණන 95ක් විය. 1960-1970 දක්වා පැවති මැතිවරණවලදී එම සංඛ්‍යාව 151ක් දක්වා ද 1972දී 168ක් දක්වා ද ඉහළ ගියේය. 1989 පැවති මහ මැතිවරණයේ සිට ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු 196 සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 ඇතුළුව මන්ත්‍රීවරු 225 දෙනකුගෙන් මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඇතුළත් වේ.

මෙරට පාර්ලිමේන්තු මැතිවරණයේ අභියෝගාත්මක මැතිවරණය වන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයයි. ඒ, ශ්‍රී ලංකාව කොවිඩ් 19 ගෝලීය වසංගතය අතරතුර මැතිවරණයක් පවත්වන ලොව 15 වැනි රට සහ දකුණු ආසියාවේ පළමු රට වන නිසාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වැනි පාර්ලිමේන්තුව මාර්තු 2 වැනිදා විසුරුවා හැරියේ අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට දින නියම කරමිනි.

නමුත් කොවිඩි 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ මැතිවරණය ජුනි 20 දක්වා කල් ගියේය. වසංගත තත්ත්වය හේතුවෙන් එදින ද මැතිවරණය පැවැත්විය නොහැකි වූයෙන් මාස තුනක් ඇතුළත මැතිවරණය නොපැවැත්වීම නිසා මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අවලංගු වන බව කියමින් පෙත්සම්කරුවෝ 8දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහ. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් නිශ්ප්‍රභ කිරීම නිසා අගෝස්තු 5 මැතිවරණයට දින නියම විය. ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත්කර ගැනීම වෙනුවෙන් පසුගිය 5 වැනිදා මැතිවරණය පැවති අතර ඒ සඳහා ජන්දදායකයන් 16,263,885ක් සුදුසුකම් ලැබ සිටියහ. 2015 මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන් 1,219,395ක් වැඩිවී තිබිණ. දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරමින් අපේක්‍ෂකයන් 7472ක් මෙවර මැතිවරණයට තරග කළහ.

9 වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 1978 සැප්තැම්බර් 7 වැනිදා පවත්වා තිබේ. එම 1 වැනි පාර්ලිමේන්තුවේ සිට 8 වැනි පාර්ලිමේන්තුව දක්වා විමසා බැලීමේදී විශේෂ කරුණු රැසක් අනාවරණය වේ. පසුගිය පාර්ලිමේන්තු 8 නියෝජනය කළ දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත, පස් වරක් අගමැති පදවියේ දිවුරුම් දෙමින් වසර 26ක් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ පළමුවරට මැතිවරණයකින් පරාද වූයේ මෙම මැතිවරණයේදීය‍. 8 වැනි පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 12 දෙනෙක් පසුගිය පාර්ලිමේන්තු 7 නියෝජනය කර තිබෙන අතර පාර්ලිමේන්තු 6 ක් නියෝජනය කර ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 24 කි.

2015 අගෝස්තු 17 වෙනිදා පැවති මහ මැතිවරණයෙන් පත්වූ 8 වෙනි පාර්ලිමේන්තුව මෙරට දේශපාලන ඉතිහාසයේ නව ප්‍රවණතා කිහිපයක් සටහන් කළ පාර්ලිමේන්තුවකි. නිදහසින් පසු මෙරට ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙක වශයෙන් සැලකූ එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළමු වරට ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ එම පාර්ලිමේන්තුවේදීය. 1977 පසු පළමු වතාවට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වෙත පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය හිමි වීම ද විශේෂත්වයකි. මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 6853,693කි. සමගි ජනබලවේගය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2771,980කි. ඒ අනුව වැඩි ඡන්ද 4081,713ක් ලබාගනිමින් මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.

8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු සහ 9 වැනි පාර්ලිමේන්තුවට තරග කළ අපේක්ෂකයන් සන්සන්දනය කිරීමේදී එම මන්ත්‍රී සංයුතිය තුළ අපූරු කරුණු කාරණා රැසක් දැකගත හැකිය. 8 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 208 දෙනෙකුම 9 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් ද තරග කළහ. එහෙත් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන්ගෙන් 172 දෙනකු මෙවර තරග කළේ විවිධ දේශපාලන පක්ෂවලිනි. 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරගකරුවන් 107, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකරුවන් 94ක්, ඉලංගේ තමිල්අරුසුකච්චු පක්ෂයෙන් 16ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තරගකරුවන් 6 දෙනකු ඉදිරිපත් වී තිබේ. එහෙත් 2020 මහ මැතිවරණයේදී 2015 දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් 107 දෙනාගෙන් 71ක් සමගි ජන බලවේගයෙන් ද 20ක් එක්සත් ජාතික පක්ෂයෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් 4ක් සහ වෙනත් පක්ෂවලින් 2ක් ලෙස එය බෙදී ගොස් තිබේ.

10 දෙනකුම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. 2015දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරු 94 දෙනාගෙන් 81ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්, 6ක් සමගි ජන බලවේගයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් අයකු ලෙසිනි. කිසිදු පක්ෂයකින් තරග නොකළ මන්ත්‍රීවරු සංඛ්‍යාව 6කි. 2015 දී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළ මන්ත්‍රීවරු 6 දෙනාම මෙවර තරග කළේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ආසන දිනාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය යන පක්ෂ තුනම එම නම් යටතේ මැතිවරණයට තරග කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ 16 දෙනකු නාමයෝජනා නොලැබීම හෝ ජාතික ලැයිස්තුවට ඇතුළත් නොවීම මත මෙවර මැතිවරණයට තරග නොකළහ. ඒ, සිරිනාල් ද මෙල්, ඇරුමුගම් තොන්ඩමන්, වසන්ත සේනානායක, මලිත් ජයතිලක, නිශාන්ත මුතුහෙට්ටිගම, මලිත් ජයතිලක, කරු ජයසූරිය, මුත්තු සිවලිංගම්, මොහාන්ලාල් ග්‍රේරු, කේ. තුරෙයිරත්නසිංහම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ඩී.එම් ස්වාමිනාදන්, මලික් සමරවික්‍රම, සාගල රත්නායක, සරත් අමුණුගම සහ ෆයිසර් මුස්තාපා යන හිටපු මන්ත්‍රීවරුය. හිටපු ඇමති මංගල සමරවීර නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ තරගයෙන් ඉවත් විය.

පාර්ලිමේන්තුව නියෝජනය කළ කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් පසුගිය මැයි මස අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූයේ මනාප 109,155ක් ලබාගනිමිනි. පසුගිය මැතිවරණයේදී එජාපයේ බලකොටුවක් වූ නුවරඑළි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූ පී. දිගම්බරම් මෙවර ලබාගත්තේ මනාප 83, 392ක් පමණි. 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ වයස් ව්‍යාප්තිය සැලකීමේදී අනාවරණය වන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් වැඩි ප්‍රතිශතයක් අයත් වන්නේ අවුරුදු 50-60 අතර වයස් ඛාණ්ඩයට වන බවයි.

ඒ අතරින් සියයට 97ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද තරග වැදුනහ. 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 22ක් වයස අවුරුදු 60-70 අතර පසුවන අතර ඉන් සියයට 96ක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් සියයට 6ක් පමණක් අවුරුදු 30-40 වයස් කාණ්ඩයේ පසු වූ අතර ඒ සියලු දෙනාම මෙවර මැතිවරණයට ද තරග කළහ.

08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන පවුල් සබඳතා විමසීමේදී පෙනී යන්නේ මන්ත්‍රීවරු 71 දෙනකු අවම වශයෙන් පවුලේ එක් ආසන්න සාමාජිකයකු හෝ පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතතවල සිටි හෝ සිටින අය සමඟ පවුල් සබඳතා ඇති පුද්ගලයන් බවය. ඒ අනුව 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10ක් තුන්වැනි පරම්පරාවේ මන්ත්‍රීවරුය. මන්ත්‍රීවරු 9 කගේ පුතුන් පළාත් සභා මන්ත්‍රීවරුය. මන්ත්‍රීවරු 4ක් වත්මන් හෝ හිටපු මන්ත්‍රීවරුන්ගේ ඥාති පුතුන්ය. එම පාර්ලිමේන්තුව තුළ සහෝදර යුගළ 4කි. පළමු ඥාති කණ්ඩායම් සහිත මන්ත්‍රීවරු 4කි. 32ක් හිටපු මන්ත්‍රීවරුන්ගේ පුතුන් හෝ දූවරුන්ය. පියා සහ පුතා දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථා දෙකකි.

මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව එය තුනක් බවට පත්ව තිබේ. ස්වාමියා සහ බිරිඳ ලෙස 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ දයා ගමගේ සහ අනෝමා ගමගේ යුවළට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත. 8 වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 13 ක් වූ අතර 9 වැනි පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ මන්ත්‍රීවරියන් 7ක් පමණි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරන කෝකිලා ගුණවර්ධන (77,922 ) සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මුදිතා ප්‍රිශාන්ති (66,991) මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙන නවක මන්ත්‍රීවරියන්ය. අනුරාධපුර දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණෙන් තරග කළ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මනාප 133,550ක් ලබාගනිමින් මෙවර පළමු වර පාර්ලිමේන්තුවට පැමිණේ.

මෙවර මහමැතිවරණය සඳහා හිටපු විධායක ජනාධිපතිවරු දෙදෙනකු, හිටපු අගමැතිවරු දෙදෙනෙකු තරග කිරීම විශේෂත්වයකි. ඒ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහය. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනට 2020දී වසර 50ක් සපිරීම ද සුවිශේෂී කරුණකි. 1970 දී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන ගමන් මාර්ගයට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ 2001, 2018 සහ 2019 වසරවල තෙවතාවක් අගමැති පදවියට පත්ව ඇති අතර, 2005 සහ 2010 කාලය තුළ දෙවරක් ජනාධිපති පදවියේ කටයුතු කළේය.

මෙවර මැතිවරණයේදී ජයග්‍රාහී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූවා පමණක් නොව පසුගිය මැතිවරණයේදී මනාප 500566ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තැබූ වාර්තාව බිඳ දැමීමට ද සමත් විය. එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ඡන්ද 249,435 පමණක් වන හිමිවී ඇත්තේ එක් ජාතික ලැයිස්තු අසුනක් පමණි.

රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන වැනි ප්‍රබල එජාප මන්ත්‍රීවරු ද මෙවර පරාජයට පත්වී ඇත. 1947 ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී කඳවුරු දෙකක් යටතේ තරග වැදීම ද සුවිශේෂී අවස්ථාවකි. 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය පක්ෂයෙන් දුරකථන ලකුණ යටතේ පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 305,744කි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙවර පළමු වරට පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 328,092කි.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප වූ 31,3801ක් ලබාගත් විමල් වීරවංශ මනාප 267,084ක් ලබාගනිමින් මෙවර දෙවැනියා බවට පත්ව ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ නවකයන්ගෙන් මෙවර පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන සෙසු මන්ත්‍රීවරු අතර ප්‍රදීප් උඳුගොඩ (91,958), මධුර විතානගේ (70,205) ප්‍රේමනාත් සී. දොලවත්ත (69,055) සහ ජගත් කුමාර (47,693)වේ. ජාතික ජනබලවේගයට මෙවර දිනාගත හැකි වූයේ මන්ත්‍රී ආසන 3ක් වන අතර අනුර කුමාර දිසානායක දිනාගත් මනාප 49,814කි. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනය දිස්ත්‍රික්කයෙන් මනාප 31,554ක් ලබාගනිමින් 9 වැනි පාර්ලිමේන්තුවට එක්වද්දී 8 වැනි පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන්ට මෙවර තම අසුන් අහිමි වී ඇත.

මෙවර මැතිවරණ සටනට එක්වූ කෝඩුකාරයන් අතර වියත් මග සංවිධානයේ සාමාජිකයින් අතරින් මනාප 325,479ක් ලබාගනිමින් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූයේ ආචාර්ය නාලක ගොඩහේවාය. 2015 මැතිවරණයේදී මනාප 384,448ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූ ප්‍රසන්න රණතුංග මෙවර ලබාගත් මනාප සංඛ්‍යාව 316,544කි. සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව (110,555) ලබාගත්තේ සරත් ‍ෆොන්සේකාය. මනාප 147,958ක් ලබාගනිමින් විදුර වික්‍රමනායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්විය. 2015 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට මනාප 218,614ක් ගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූ කුමාර වෙල්ගම මෙවර සමගි ජන බලවේගයෙන් තරග කොට ලබාගත්තේ මනාප 77,083කි. නවකයකු ලෙස මෙවර එම දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණින් තරග කළ සංජීව එදිරිමාන්න ද මනාප 105,973ක් ලබාගත්තේය.

Comments