පුත්තලමේ ‘ටිප් ටොප්’ සටනින් සනත් නිශාන්ත මුල්තැනට | සිළුමිණ

පුත්තලමේ ‘ටිප් ටොප්’ සටනින් සනත් නිශාන්ත මුල්තැනට

9වැනි පාර්ලිමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කිරිමට සුදුසුකම් ලබන මහජන නියෝජිතයන් අට දෙනා මේ වන විටත් තෝරා පත් කර ගෙන අවසන්ය. මෙවර මහා මැතිවරණයෙන් පළමු තැන ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදුණු කේ. සනත් නිශාන්ත පෙරේරා මන්ත්‍රීවරයා සමත් විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ද සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් පසුගිය 5 වැනි දා උදැසන සිට සිය ජන්ද ප්‍රකාශ කිරීමට යුහුසුළු වූහ. ජන්ද දායකයන්ගේ ආරක්ෂාව පිණිස පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සීරුවෙන් තබා තිබූ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ද සලසා තිබුණි. පුත්තලම දිස්ත්‍රික්කය මැතිවරණ බල ප්‍රදේශ පහකින් සමන්විතය. පුත්තලම, ආණමඩුව හලාවත, නාත්තණ්ඩිය සහ වෙන්නප්පුව එම බල ප්‍රදේශ වේ.

පුත්තලම 1989 සිට ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශයක් බවට පත් විය. මෙය මැතිවරණ කොට්ඨාශයක් ලෙස නම් කෙරුණේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, පුත්තලම නගරය අනුව යමිනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ඒක- මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පුත්තලම මැතිවරණ කොට්ඨාශය වෙනුවට පුත්තලම බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලැබුණි. එය තවදුරටත් බහු-මන්ත්‍රී මැතිවරණ ඡන්ද කොට්ඨාශයක් වශයෙන් පවතී.

2020 මහ මැතිවරණයේ දි ඡන්දය ප්‍රකාශ කිරිම පිණිස ජන්ද දායකයෝ 614370 දෙනකු සුදුසුකම් ලබා සිටියහ. මෙම ජන්ද දායකයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් අයත් වන්නේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයට වන අතර 2019 ජනාධිපතිවරණයේදී ජන්දදායකයන් 144450ක් සුදුසුකම් ලබා සිටියේය. මෙවර එය 151963ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශය සදහා 2019 ජනපතිවරණයේ දි ජන්දදායකයන් 121872ක් ජන්දය දීමට සිදුසුකම් ලබා සිටි අතර මෙම මහ මැතිවරණයේ දි එම සංඛ්‍යාව 124371 දක්වා ඉහළ ගොස් තිබුණි. හලාවත මැතිවරණ බල ප්‍රදේශයෙහි 2019 ජනපතිවරණයේ ජන්දදායකයන් 125597ක් ලියා පදිංචිවි සිටි අතර මෙවර මහ මැතිවරණයේ දි එම සංඛ්‍යාව 127531 ක් විය. වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශයේ පසුගිය ජනපතිවරණයේදී ජන්දදායකයින් 111387 ක් ට ලියා පදිංචිවි සිටි අතර මෙම මහ මැතිවරණය සදහා එම සංඛ්‍යාව 112714ක් ඉහළ ගොස් තිබුණි.

නාත්තණ්ඩිය මැතිවරණ බල ප්‍රදේශය තුළ පසුගිය ජනපතිවරණය සදහා ජන්දදායකියින් 95936 කු ලියා පදිංචිවි සිටි අතර මෙවර මහා මැතිවරණය සදහා එම ප්‍රමාණය 97791ක් විය. මෙවර මහ මැතිවරණයේ දි තැපැල් ජන්දය පළ කිරිමට ජන්ද දායකයන් 15286ක් ඉල්ලුම් කර තිබුණ ද අනුමතවී තිබුණේ ජන්දදායකයන් 14267 කගේ ඉල්ලුම් පත් පමණි. සෙසු ඉල්ලුම්පත් ප්‍රතික්ෂේපවී තිබුණි. මෙවර මහා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 13ක් ලියාපදිංචි වී තිබූ අතර, ස්වාධින කණඩායම් 19 ක් නාම යෝජනා බාර දී තිබුණි. එම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 352 ක් විය.

ඡන්දයට පෙර වාර්තා වූ අනුවේදනීය සිද්ධයක් වූයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු වශයෙන් නම් කර සිටි හිටපු ඇමතිවරයකු වු අශෝක වඩිගමංගාව මහතා නොසිතු ලෙසින් වාරියපොල පුත්තලම මාර්ගයේ පා දෙණිය ප්‍රදේශයේ දි සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා මිය යෑමයි.

ඡන්ද දිනයේ කල්පිටිය මොහොත්තුවාරම දුපත්වාසිනට ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බෝට්ටු සේවයක් ලබා දි තිබිම අගේ කළ යුතු කාර්යයකි. මෙම මැතිවරණයේ දි නීතිය කඩ කිරිම් රැසක් ද වාර්තා විය. ප්‍රධාන මාර්ගවල දක්නට නැති වුවත් ගම්මබද මාර්ගවල තාප්ප බොක්කු ලයිට් කනුවල ඒ ඒ අපේක්ෂකයන් නම අංක හා පක්ෂ ලාංඡන සහිත පෝස්ටර් කටවුට් හිරිකිතයක් නොමැතිව අලවා තිබෙනු දැක ගත හැකි විය.

ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රසිද්ධ ස්ථානවල එවැනි පොස්ටර් හෝ කටවුට් අලවා නොතිබුණි. එහෙත් සියලු පක්ෂ අපෙක්ෂකයන් ගෙන් ගෙට යමින් මනාපය ඉල්ලා සිටීම ප්‍රසිද්ධියේ සිදු කරනු දැක ගත හැකි වූ අතර එම ගමන් සිය මුහුණ පොතේ සටහන් කිරීමටද ඔවුන් විසින් කටයුතු කර තිබුණි. මෙම මැතිවරණයේ කැපි පෙනුණ විශේෂ සිද්ධිය වුයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් මුල සිටම දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමය. මහා මැතිවරණය අවසන්වූ පසු මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රතිඵල අනුව පුත්තලම දිසාවේ ආසන පහෙන් හතරක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු පෙරමුණට හැකි විය. ඒ වෙන්නප්පුව නාත්තණ්ඩිය හලාවත සහ ආණමඩුවයි. පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ ජය මුස්ලිම් ජාතික සන්ධානයට හිමි විය.

ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රිධුර පහක් ද සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර දෙකක් ද මුස්ලිම් ජාතික සන්ධානයට එක් මන්ත්‍රි ධුරයක්ද හිමි වී ඇත. මෙය 2015 මහා මැතිවරණය හා සසඳා බලන කල විශාල ජයග්‍රහණයකි.

2015 දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මුළු ඡන්ද සංඛ්‍යාව 180,185කි. ප්‍රතිශතය 50.40% කි විය. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එය ජයගෙන ඇත්තේ ඡන්ද 220,566 හා 57.26% ප්‍රතිශතයකිනි. මෙවර එක්සත් ජාතික පක්ෂයට අතිශෝචනීය ඉරණමක් අත් වූ අතර එජාපය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 7985ක් විය. එම පක්ෂයෙන් වෙන් ව ගොඩනැඟූ සමඟි ජනබලවේගය දිනාගත් ඡන්ද සංඛ්‍යාව 80183ක් විය.

මෙම පක්ෂ දෙකේම මුළු ඡන්ද සංඛ්‍යාවේ එකතුව 88,168 කි. ඒ අනුව බැළුවද ඡන්ද ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව ඇත.

Comments