ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ගෙනා අපේ තරුණයෙක් | Page 2 | සිළුමිණ

ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ගෙනා අපේ තරුණයෙක්

සළ කළමනාකරණය පිළිබඳව රටක් ලෙස අපගේ වැඩි අවධානයක් යොමුවූයේ මීතොට මුල්ල කසළ කන්ද නාය යෑමත් සමඟය. ප්‍රශ්න වලට නිසි විසඳුම් සොයනු වෙනුවට ඒවා යටපත්කර තබා ගැනීම රබර් බෝලයක් දියයට රඳවා තබාගැනීම හා සමාන බව මොනවට පසක් කරමින් නිසි කළමනාකරණයකින් තොරව අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමේ ප්‍රතිඵල එකින් එක මතුව එන්නට පටන් ගත්තේ ජන ජීවිතය පමණක් නොව ආණ්ඩුව ද අපහසුතාවකට පත්කරමිනි. කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිස ආණ්ඩුව ගත් උත්සහයට සහය වෙමින් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීමට විසඳුම් ඉදිරිපත් කළ වුන් අතර පෙරමුණේ සිටි අයකු වූයේ ගම්පොළ විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයායි.

වෙන් කිරීමකින් තොරව පරිසරයට බැහැර කෙරෙන කසළ වර්ගීකරණයකට ලක්කර යකඩ, ප්ලාස්ටික් හා දිරාපත්වන කසළ පහසුවෙන් වෙන්කර ගත හැකි යන්ත්‍රයක් සහිත ලොරි රථයක් ඔහු නිර්මාණය කළේ 2015 වසරේදීය. යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇඳීම් හමුවේ මෙය කරළියට ගෙනඒමේ සිහිනය විකුම් වෙතින් ගිලිහී ගියේය. ජනපති ධූරයට ගෝඨාභය රාජපක්ෂයන් පත්වීමත් සමඟ රටේ තරුණයන් නව බලාපොරොත්තු ඇතිව නැඟී සිටි අවස්ථාවේ විකුම්ද ඒ අතර සිටියේය. කුණු ගොඩට දමා තිබූ විකුම්ගේ කසළ ප්‍රතිචක්‍රීකරණ ජංගම රථය යළි පණ ගන්වන්නට ඔහු කටයුුතු නව අපේක්ෂා ගොන්නක් සමඟිනි.

අතොරක් නොමැතිව ගොඩ ගැසෙන කසළ ඉල්ලමක් කරගත හැකි විකුම්ගේ නව නිර්මාණය ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අවධානයට ලක්වූයේ ගම්පහදීය. කසළ බැහැර කිරීමේ ගැටලු රැසක් ඇති ගම්පහට එය විකුම් රැගෙන ගියේ ප්‍රසන්න රණතුංගයන් ඇරයුමකට අනුවය. එහිදී ජනපතිවරයා විකුම්ගේ නිර්මාණය දෑසින් දැක එය අගය කළේ වසර ගණනාවක් කුණු කූඩයට දමා තිබූ මේ යන්ත්‍රයේ ප්‍රයෝජන සමාජයට අත්කර දීමේ අදහසිනි. ලංකාවේ පළාත් පාලන ආයතන 328 ක් තියෙනවා. මේවායෙන් 90 % කටම කසළ බැහැර කිරීම සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. මිනිස්සු කසළ බැහැර කරන්නේ වෙන් කිරීමකින් තොරවයි. දැනට පළාත් පාලන ආයතන සතු කම්පැක්ට් ලොරි රථ වලින් කරන්නේ මේ කසළ ගෙන ගොස් කසළ අංගන වෙත බැහැර කිරීමයි. යකඩ, වීදුරු, ප්ලාස්ටික් වගේ නොදිරන ද්‍රව්‍ය වගේම ආහාර ද්‍රව්‍ය,කාඩ්බෝඩ් වගේ දිරාපත් වෙන දේවලුත් එකට තියෙන නිසා කසළ කඳු ගොඩ ගැසෙනවා.මීතොට මුල්ලේ සිද්ධ වුනෙත් මේ විදිහට අවධිමත් විදිහට ගොඩගහපු කුණු කන්ද කඩා වැටීමක්. මේ කසළ ප්‍රශ්නය විශාල අර්බුදයක් වෙන බව මම 2010 දී දැන ගත්තා. ඒ අනුව මම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් නිර්මාණය කරලා ගම්පොළ නගර සභාවට 2011 ලබා දුන්නා. එහි ඉදිරි දිගුවක් විදිහට තමයි මේක නිර්මාණය කළේ. මේක ඇත්තටම කර්මාන්ත ශාලාවක් වගේ. කසළ පටවා ගැනීම, තෝරා වෙන්කර ගැනීම, ඇඹරීම යන සියල්ල යන්ත්‍රය මගින් කරනවා. ලෝකයේ කිසිම රටක මේ වගේ යන්ත්‍රයක් නැහැ. මේ මැකනිසම් එක කර්මාන්තවල තියෙනවා.ඒ රටවල් කරන්නේ වෙන් නොකළ කසළ රැගෙන ගොස් ඒ කර්මාන්ත ශාලාවලට යොමු කිරීමයි.එතනදී ප්‍රතිචක්‍රීකරණය කිරීම සිද්ධ වෙනවා විකුම් පවසයි.

විකුම්ගේ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ලොරියකට සම්බන්ධ කර තිබේ. ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් කසළ එකතු කරගැනීමට හැකි ලෙස එය නිර්මාණය කර ඇත. වෙන් නොකළ කසළ යන්ත්‍රයට දැමූ පසු මුලින්ම එහි ඇති යකඩ හා වානේ වෙන් වෙයි. ඒ සඳහා විකුම් භාවිත කර තිබෙන්නේ කාන්දම් සහිත විශාල දැලකි. යකඩ හා වානේ එහි ඇළුණු පසු සෙසු අප ද්‍රව්‍ය වලට රසායනික ද්‍රවයක් ඉසීමට සලස්වා තිබේ. එමඟින් කසළ ඉක්මනින් දිරාපත් වීමත් එහි දුගඳ පාලනය වීමත් සිදුවෙයි. මේ යන්ත්‍රයෙන් පැය තුනකට කසළ ටොන් 45 ක් අඹරලා වෙන් කරන්න පුළුවන්. කසළ ඇඹරීමේදී ඒවායින් බැහැර වන අපිරිසිදු ජලයට මොකද වෙන්නේ කියලා ජනාධිපතිතුමා ප්‍රශ්න කළා. එතුමා ඉතාම උනන්දුවෙන් මෙහි ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලීම අපට ලොකු ශක්තියක්. මාළු ප්‍රවාහනය කරන ලොරි රථවල ෆිල්ටර් සිස්ටම් එක තමයි මම මෙහිදී භාවිත කළේ. කසළ වල තියෙන අප ජලය ලීටර 210 ක පරිමාවක් ඇති බැරල් එකකට එකතු වෙනවා. අපේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ කසළ වල නොවෙයි; වෙන් නොකළ කසළ වලයි. මේ යන්ත්‍රයෙන් කසළ වෙන් කරලා අඹරලා දුන්නම ඒවා මිලට ගන්න ඕන තරම් ගැනුම්කරුවෝ ඉන්නවා. ඇත්තටම කසළ කියන්නේ සම්පතක්. අපි ඒක නිසි කළමනාකරණයකට ලක්කර නොගැනීම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

මෙරට පළාත් පාලන ආයතන 328 ට අයත් බල ප්‍රදේශ වල එකතු වන කසළ ඒකරාශි කිරීම සඳහා දැනට භාවිත කරන කම්පැකට් යන්ත්‍රයක මිල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 300 සිට 600 ක් දක්වා වන බව විකුම් පවසයි. මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ජංගම රථයක් සේ වැඩිදියුණු කිරීමට වැය වන්නේ රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක් බැවින් එය දීපව්‍යාප්ත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් විශාල මුදලක් පළාත් පාලන ආයතන වලට ඉතිරිවත්දී තවත් පසෙකින් කසළ අළෙවිකර ආදායම් ලබා ගැනීමටද හැකි බව පෙන්වා දෙන විකුම් විරැකියාවටද විසඳුම් තම ව්‍යාපෘතියෙන් ලැබෙන බව පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ නර්ඩ් ආයතනය, නව නිපැයුම් කොමිසමේ අධ්‍යක්ෂතුමා මේ යන්ත්‍රය කාර්යක්ෂම හා ඵලදායි ඉතා හොඳ නිර්මාණයක් බවත් එය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන පවසා ලිඛිත පොරොන්දුවක් දුන්නා. මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් ලබා ගන්නා තත්ත්වය දක්වාම වැඩ කටයුතු කළත් අවසානයේ එය අතරමඟ නතර වුණා. අත්හැරලා දාපු මේ වැඩේ ආයෙත් පටන් ගත්තේ ජනාධිපතිතුමා අලුත් දැක්මක් එක්ක වැඩකරන නිසයි. විකුම් පවසන්නේ බලාපොරාත්තු ගොන්නක් සමඟිනි.

ඡායාරූප-රුවන් මීගම්මන

Comments