නුවරඑළියේ මොකද වුණේ..? | සිළුමිණ

නුවරඑළියේ මොකද වුණේ..?

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වන අතර ඒ තුළින් පිළිබිඹු වන්නේ වතුකරයේ ජනතාව තුළ මේ මහ මැතිවරණය කෙරෙහි තිබුණු උනන්දුවයි. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නුවරඑළිය මස්කෙළිය, වලපනේ, කොත්මලේ හා හඟුරන්කෙත යන ආසන වලින් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දදායකයන් 5,77,717 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ.

මෙහි දී දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් තොන්ඩමන්ලා දෙදෙනෙකු ඉදිරිපත් විය. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ජීවන් තොන්ඩමන් හා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සෙන්දිල් තොන්ඩමන් ඉදිරිපත් වූ අතර කම්කරු ජාතික සංගමය නියෝජනය කරමින් පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් පී.රාධාක්‍රිෂ්නන්, අරවින්දකුමාර්, එම්.සච්චිතානන්දන්, වේලායුදම් ප්‍රදීපරාජා, වඩිවේල් සුරේෂ්, යන පාර්ලිමේන්තුව කලින් නියෝජනය කර ඇති අපේක්ෂකයන් ද තරඟ බිමට පිවිස සිටියහ.

1947 පැවැති පළමු මහ මැතිවරණයේ දී ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම තුළ පැහැදිළි වෙනසක් පෙනෙන්ට තිබිණි. එදා වතු දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන හස්තකය වූයේ ලංකා ඉන්දියානු කොංග්‍රසය විය. එම පක්ෂය තරඟ නොකළ ආසනවල වතු ජනතාව ඡන්දය භාවිත කර තිබුණේ වාමාංශික ව්‍යාපරවලටය. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක ඩී.ඇස්.සේනානායක මහතා අපේක්ෂා කළ ජයග්‍රහණය හිමිකරගැනීමට නොහැකි වූයේ ඉන්දීය සම්භවයක් ඇති වතු දෙමළ ජනයාගේ ඡන්ද භාවිතයත් එම මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් හත් දෙනාගේ සහය තමන්ට නොලැබීමත් නිසාය.

එදා ඩී.ඇස්. ආණ්ඩුව ඒ ක්‍රියාදාමයට පළිගැනීමක් ලෙස ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහිමි කරන පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තේය.

එක්සත් ජාතික පක්ෂය හැමවිටම තමන්ට වාසිදායක ලෙස ඉන්දීය වතු කම්කරුවන් යොදාගත්බව පැහැදිළිය. එජාපය විසින්ම අහිමි කළ ඉන්දීය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය එජාපයේ වාසිය වෙනුවෙන් වසර 40 කට පසු එනම් 1988දී නැවත ලබාදීමට උත්සුක වූයේ එදා ජනාධිපතිවරණයේ දී ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ඡන්ද තීරණාත්මක බලයක් ගෙන තිබුණු නිසාය. ඒ නිසාම ඊට මැදිහත් වූයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක රණසිංහ ප්‍රේමදාසය. ඔහුගේ වෑයම සාර්ථක විය. ඔහු ජනාධිපති ධුරයට පත්විය. එහි දී ඡන්ද අයිතිය ලැබු වතුකරයේ දෙමළ ජනතාව අවස්ථා කිහිපයක දී ම මෙරට ආණ්ඩු පිහිටුවීමේ තීරක බලය අතට ගෙන තිබුණි.

1994 අගෝස්තු මස 16 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආණ්ඩුව පිහිටුවීම සඳහා කඳුරට ජනතා පෙරමුණට හිමිව තිබු එකම මන්ත්‍රී ධුරය වු එහි නායක පී.චන්ද්‍රෙස්කරන් ගේ සහය ලබාගැනීමට සිදුවිය. ඒ සහයට ප්‍රතිඋපකාරයක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් ඔහුට වැවිලි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම ඔහුගේ දේශපාලන මෙන්ම වෘත්තීය සමිති වර්ධනයට හේතුවිය.

නුවරඑළිය දිස්ත්‍රික්කය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණ හතකට මුහුණ දී තිබුණු අතර එයින් මැතිවරණ පහක්ම ජයග්‍රහණය ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. පොදුජන පෙරමුණට ජය ලබාගත හැකි වූයේ 2000 හා 2010 මැතිවරණවල දී පමණි. මේ ප්‍රතිඵල රටාව මෙවර මහ මැතිවරණයේ දී වෙනස් වූයේ සියලු ඉතිහාසයන් කනපිට හරවමිනි. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කෙරෙහි රටම තැබූ විශ්වාසයේ තවත් පාර්ශ්වයක් ලෙසිනි.

මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ආරම්භ වූ දා පටන් ලක්ෂය ඉක්ම වූ මනාප ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ සිව් දෙනෙකු පමණි. එය 1989 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ගාමිණි දිසානායක ලබාගත් මනාප 73,790 ඉක්මවා යාමකි. 2001 මහ මැතිවරණයේ දී අපේක්ෂකයන් තිදෙනෙකු ලක්ෂය ඉක්ම වූ මනාප ලබා සිටි අතර එකම පක්ෂයක් නියෝජනය කළ දෙදෙනෙකු ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් 121542 ක්ද, එම පක්ෂයේම සභාපති මුත්තු සිවලිංගම් මනාප 107338 ක්ද ලබාගත් අතර කඳුරට ජනතා පෙරමුණ නායක පී.චන්ද්‍රෙස්කරන් මනාප 121421 ක්ද ලබාගැනීම විශේෂත්වයකි. 2015 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පලනි දිගම්බරම් එජාපෙ යටතේ තරඟ කර මනාප 105528 ක් ලබාගත්තේය.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස නුවර එළිය දිස්ත්‍රික්කයෙන් මනාප 277913 ක් ලබාගන්නා විට ගෝඨාභය රාජපක්ෂට හැකි වූයේ මනාප 175823 ක් පමණක්ම ලබාගැනීමටය. එයත් වතුකරයේ දෙමළ ඡන්දවල බලපෑම මතය. ඒ තත්ත්වය මේ වනවිට වෙනස් වී තිබේ. 2015 මහ මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 228920 ක් ලබා ආසන 5 ක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ ඡන්ද මන්ත්‍රී ආසන කිසිවකට හිමිකම් නොකියන ඡන්ද 21405 ක් පමණි. එජාපයේ පිරිසක් විසින් ගොඩනගාගත් සමගි ජන බලවේගයට ලබාගත හැකි වූයේ මන්ත්‍රී ආසන 3ක් හිමි ඡන්ද 132008 ක් පමණි. එහෙත් 2015 දී ඡන්ද 147348 ක් ලබාගෙන මන්ත්‍රී ආසන 3 කට හිමිකම් කී එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්ද 230349 ක් ලබාගෙන මන්ත්‍රී ආසන 5 කට හිමිකම් කියන්නට හැකිවිය. එය ජනතා විශ්වාසය තුළ ගොඩනැගුණු ඡන්දය.

2010 න් පසු ලංකා කම්කරු කොංග්‍රසය ආරුමුගම් තොන්ඩමාන්ගේ පුත් ජීවන් තොන්ඩමන්ගේ නායකත්වයෙන් මෙවර අත්පත් කරගෙන තිබේ. 2015 මහ මැතිවරණය වගේම 2019 ජනාධිපතිවරණයේ දීත් කොංග්‍රසය දෙවන තැනට පත්කළ අයව දෙවනපෙළට තල්ලුකරදමා ජීවිතයේ මුල් වරට මැතිවරණයකට මුහුණ දුන් ජීවන් තොන්ඩමන් මනාප 109155 ක් ලබා මුල්තැනට පත්වූයේ තොන්ඩමන් යන නාමයෙන්ය. වත්කරයේ ජනතාව තුළ ජීවන් තොන්ඩමන් පොහොට්ටුව හා එක්ව සිටීම කෙරෙහි අලුත් බලාපොරොත්තුවක් ඇතිව තිබෙනබව මේ ඡන්ද ප්‍රතිඵලය පෙන්නුම් කරයි.

 

Comments