ගම්පහින් පොහොට්ටුවට වැඩි ඡන්ද 522,000යි‍ | Page 2 | සිළුමිණ

ගම්පහින් පොහොට්ටුවට වැඩි ඡන්ද 522,000යි‍

ප්‍රථමවරට මැතිවරණයට ඉදිරිපත්වූ ආචාර්ය ගොඩහේවාට වාර්තාගත මනාපයක්

ම්පහ දිස්ත්‍රික්කය අපේ රටේ විශාලතම ඡන්ද දායකයන් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. එමෙන් ම මෙරට දේශපාලනයේ සුවිශේෂ ඉතිහාසයක් ඇති දිස්ත්‍රික්කයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය හඳුන්වා දීමට පුළුවන.

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බිහි වූයේ ගම්පහ අත්තනගල්ලෙනි. එමෙන් ම එක පවුලකට අගමැති තනතුරු 3 ක් ම හිමිවූයේ ගම්පහ නිට්ටඹුවේ බණ්ඩාරනායක පවුලටය. එපමණක් නොවේ, අපේ රටේ ප්‍රථම අගමැතිවූත් ජාතියේ පියා ලෙස හඳුන්වන මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා ඡන්දය ඉල්ලා ජයගත්තේ ද ගම්පහ, මිරිගම ඡන්ද කොට්ඨාසයෙනි.

මෙරට දේශපාලනයේ වාර්තා පිට වාර්තා තැබූ සේනානායකවරු හා බණ්ඩාරනායකවරු බිහිකළ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර 2020 මහ මැතිවරණය පැවැත්වූයේ කෙසේද කියා සොයා බලමු.

ගම්පහ දිස්ත්‍රික්කය මීගමුව, ගම්පහ, වත්තල, දිවුලපිටිය, කටාන, මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල,කැලණිය, ජාඇල, මහර, බියගම, දොම්පේ යන මැතිවරණ කොට්ඨාස 13 කින් සමන්විතය. එම මැතිවරණ කොට්ඨාසවලින් 2020 මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 18 ක් තෝරා පත් කරගැනීමට මෙවර ඡන්දදායකයෝ සාමකාමීව කටයුතු කළහ.

ඒ සඳහා මෙරට එක් දිස්ත්‍රික්කයක සිටින වැඩිම ඡන්දදායකයෝ පිරිස වන 1785964 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිය ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

ඔවුහු දිස්ත්‍රික්කය පුරා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 1118 දී සිය ඡන්දය පාවිච්චි කළහ. බස්නාහිරින් මහ මුහුදත්, දකුණින් කොළඹ දිස්ත්‍රික්කයටත් උතුරින් පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික්කයටත් මායිම්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත් වූවත් වැඩි පිරිස සිංහල ජනතාවයි.

“උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” ලෙස වර්ණනා කරන ශ්‍රී සම්බුද්ධ පාද ස්පර්ශයෙන් රටේම බෞද්ධ ජනතාවගේ උතුම් පුණ්‍ය ගුණයක් බවට පත් වූ කැලණි පුරවරය මෙන් ම රාගම තේවත්ත බැසිලිකා පල්ලිය වැනි සුවිශේෂී ආගමික ස්ථාන පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ පාරිසරික සෞන්දර්යය සුවිශේෂය.

වර්ග කිලෝමීටර් 1387 ක වර්ග ඵලයකින් යුක්ත වූ ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ මුල්ම ඇමැතිවරිය ද බිහි කළ බල ප්‍රදේශයයි. ඒ මීරිගම මන්ත්‍රිනී සෞඛ්‍ය ඇමැති විමලා විජයවර්ධන මහත්මියයි.

2020 මහ මැතිවරණයට මෙම දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 15 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් අපේක්ෂකයෝ 693 ක් තරග වැදුණහ. නමුත් ඉන් තේරී පත්වූයේ මන්ත්‍රීවරුන් 18 ක් පමණි.

මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, දුලිප් විජේසේකර, ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරු ද තරග කළහ. ඊට අමතරව නාලක ගොඩහේවා, මධුමාධව අරවින්ද, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද පොහොට්ටුවෙන් තරග වැදුණහ.

මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජනබලවේගයෙන් එකම නම තිබෙන දෙදෙනෙක් තරග කළහ. ඒ සමගි ජන බලවේගයෙන් තරග කරන හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හා එජාපයෙන් තරග කරන අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිසාන් අජිත් මාන්නප්පෙරුම ය.

සමගි ජනබලවේගයෙන් හිටපු මන්ත්‍රීවරුන් වන එඩ්වඩ් ගුණසේකර, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, චතුර සේනාරත්න යන මහත්වරු ද තරග කළහ. ඊට අමතරව රෝස් ප්‍රනාන්දු, චන්ද්‍රසෝම සරණලාල්, තිලක් වරාගොඩ යන මහත්වරු ඇතුළු නවක අපේක්ෂකයෝ පිරිසක් සමගි ජනබලවේගයෙන් ඡන්දයට ඉදිරිපත් වූහ.

මෙවර එක්සත් ජාතික පක්ෂයක් අර්ජුන රණතුංග හා රුවන් විජේවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු නවක අපේක්ෂකයන් රැසක් මෙවර මැතිවරණ‍යට ඉදිරිපත් කර තිබිණි.

2015 දී ජයගත් විජිත හේරත් මහතා හා මහින්ද ජයසිංහ ඇතුළු කණ්ඩායමක් ජාතික ජනබලවේගය යටතේ තරග කළහ. මෙවර ගම්පහට ප්‍රසන්න රණතුංග හා අර්ජුන රණතුංග යන දෙදෙනා රෙජී රණතුංග හිටපු මන්ත්‍රීවරයාගේ පුතනුවන් දෙපළ පක්ෂ දෙකකින් තරග වැදීම ද විශේෂත්වයකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණවලින් වැඩිම මනාප ලබා ඇත්තේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මියයි. ඒ ප්‍රමාණය මනාප 464586 ඊළඟට 2010 දී ගම්පහින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වූ පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා මනාප 425861 ක් ලබා ගත්තේ 2010 මැතිවරණයේ සුවිශේෂී වාර්තාවක් ද තබමිනි.

2004 දී පැවැති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ කරු ජයසූරිය මහතා ද මනාප 202025 ක් ලබාගෙන එජාපයේ ප්‍රථමයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. විජිත හේරත් මහතා එම මැතිවරණයේදී මනාප 198444 ලබාගෙන ජවිපෙන් වාර්තාවක් තැබීය.

2015 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපයට ආසන 9 ක් ද එජනිසයට ආසන 8 ක් ද ජවිපෙට එක් ආසනයක් ද හිමි විය.

එහිදී එජාපය ඡන්ද 577004 ක් ද එජනිස ඡන්ද 549958 ක් ද ජවිපෙ 87880 ක් ද ලබාගත්තේ ය.

2020 අගෝස්තු 5 පැවැති මැතිවරණයේ ගම්පහ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 69 ක් පමණ ජනතාව සිය ඡන්දය පාවිච්චි කර තිබුණි. ඒ අනුව ඡන්ද දායකයෝ ලක්ෂ 12 ක් පමණ මේ මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කර ඇත.

මේ අතර මෙවර ඡන්දය පාවිච්චි කිරීමට ගිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ අවුරුදු 62 ක කාන්තාවක් ඒ අවස්ථාවේදී ඇතිවූ දරුණු ශාරීරික ආබාධයක් හේතුවෙන් මරණයට පත්වී ඇත.

2019 ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ 1443800 ක් ඡන්දය පාවිච්චි කළහ. ඉන් ඡන්ද 855870 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු අතර ඒ අනුව 2019 ප්‍රතිඵල අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට ආසන 12 ක් හිමිවන බව පැහැදිලි විය. එම ජනාධිපතිවරණයේදී ප්‍ර.එ.ජා.පයේ ලැබූ ඡන්ද සංඛ්‍යාව 494671 ක් වූ අතර ඒ අනුව ආසන 6 ක් ලැබීමට නියමිතව තිබිණි. ජනතා විමුක්ති පෙරමුණට එම ජනාධිපතිවරණයේදී ඡන්ද 61760 ක් ලැබුණි.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2020 මහ මැතිවරණයෙන් වැඩියෙන්ම මනාප ලැබුවේ නාලක ගොඩහේවා මහතායි. ප්‍රථම වතාවට මැතිවරණයට ඉදිරිපත්වූ ඒ මහතා ලැබූ මනාප සංඛ්‍යාව 325479කි. දෙවැනියට මනාප ලැබූ ප්‍රසන්න රණතුංග මහතා 2015 මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පුද්ගලයා විය. ඒ මනාප ගණන 384448 ක් විය. බස්නාහිර පළාතේ 2009 සිට 2015 දක්වා ප්‍රධාන ඇමැතිවරයා ලෙසත් පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත් බස්නාහිර පළාතට විශාල සේවයක් ඉටු කළේ ය. ඒ මහතා 2015 සිට 2020 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ ගුවන් සේවා, වරාය, අපනයන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස මහත් කාර්ය භාරයක් ඉටු කළේ ය. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රෙජී රණතුංග මහතාගේ පුතණුවන් ලෙස මෙවර මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ක්‍රියාශීලීව ඉදිරිපත් වූ ඒ මහතා මෙවර මනාප 316544 ලබාගත්තේය.

1956 යුග පෙරළියට පෙරමුණ ගත් සියනෑව හෙවත් ගම්පහ ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිත්වය රටේම දේශපාලන ක්‍රියාදාමය කෙරෙහි ඉහළ බලපෑමක් ඇති කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුව වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1956 දී එස්.ඩබ්ලිව් ‍. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත් 1960 දී එතුමාගේ ආදරණීය භාර්යාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් අගමැති ධූරවලට පත්වූහ. ඊට පසු 1994 දී මෙම දෙදෙනාගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිවරිය ලෙස ද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස ද පත්විය. ඒ අනුව එකම පවුලේ පියා, මව සහ දියණිය අගමැති පුටුවටත් පසුව එම දියණිය ජනාධිපති පුටුවටත් ගෙනා එකම දිස්ත්‍රික්කය ගම්පහයි.

ජාතියේ පියාණන් ලෙස හැඳින්වූ මහාමාන්‍ය ඩී‍.එස්. සේනානායක මහතා දෙවරක් ම පත්වූයේ මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස ය. 1947 ලංකාවේ මුල්ම මැතිවරණය ජයගෙන ඩී.එස්. සේනානායක මහතා ලංකාවේ මුල්ම අගමැති ලෙස දිවුරුම් දුන්නේ ද මීරිගම ජයග්‍රාහී මන්ත්‍රීවරයා ලෙස ය. සිවුවරක් අගමැති ධූරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා ජන්ම ලාභය ලැබුවේ ද මීරිගම බෝතලේ වලව්වේදී ය. හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දේශපාලනයට පිවිසියේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයෙනි.

මීට අමතරව තවත් ප්‍රවීණ හා දක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ගම්පහින් බිහිවූහ. එස්.ඩී. බණ්ඩාරනායක, ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරනායක, පිලික්ස් ආර්.ඩී. බණ්ඩාරනායක‍, විජේපාල මෙන්ඩිස්, සිරිල් මැතිව්, ජයලත් ජයවර්ධන හා සරත්චන්ද්‍ර රාජකරුණා යන මහත්වරු ඒ අතර ප්‍රමුඛත්වය ගනිති.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, අත්තනගල්ල, දොම්පේ, බියගම, මීරිගම, මිනුවන්ගොඩ , කැලණිය, මහර, ගම්පහ යන මැතිවරණ කොට්ඨාසවල සිංහල බෞද්ධ ඡන්ද වැඩි ප්‍රමාණයක් ඇත. ඒ ඒ සියලු ප්‍රදේශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා වාසි දායකය.

වත්තල, මීගමුව, ජාඇල වැනි මැතිවරණ කොට්ඨාසවල කතෝලික ඡන්ද බහුලය. ඒවා එක්සත් ජාතික පක්ෂයට වාසිදායකය. කෙසේ වුවත් මෙවර 2020 මහ මැතිවරණයේදී මේ ආසන සියල්ලම වාගේ පොදුජන එක්සත් පෙරමුණට ජයග්‍රහණය ලබාගැනීමට හැකිවිය. මෙවර 2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරු 13ක්ද, සමගි ජනබලවේගයට මන්ත්‍රීවරු 04ක්ද, ජාතික ජනබලවේගයට මන්ත්‍රීවරු 01ක්ද තේරී පත්වූහ. 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත්වූ මීගමුව හා වත්තල ආසන ද ‍‍මෙවර පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට හැකිවීම විශේෂත්වයකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම ප්‍රතිශතය ලැබුනේ දොම්පෙ ආසනයෙනි. ඒ ප්‍රමාණය 74.32%කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ මහර ආසනයෙනි. එම ප්‍රමාණය ඡන්ද 76,227කි. ගම්පහ ආසනයෙන් පොදුජන පෙරමුණට ලැබුණු ප්‍රතිශතය 70.9%කි. මහර ආසනයෙන් ද 69%ක ප්‍රතිශතයක් පොහොට්ටුවට ලැබී ඇත. එමෙන්ම බියගම හා මිනුවන්ගොඩ ආසනවලින් ද 68%ක ප්‍රතිශතයක් පොහොට්ටුවට ලැබිණි. සමගි ජනබලවේගයට අඩුම ප්‍රතිශතයක් ලැබුණේ ගම්පහ ආසනයෙනි.

 

Comments