කොළඹින් එජාපය නැත්තටම නැතිවෙයි | Page 2 | සිළුමිණ

කොළඹින් එජාපය නැත්තටම නැතිවෙයි

මෙවර මහ මැතිවරණයේදී කාගේත් වැඩි අවධානය යොමු වූ දිස්ත්‍රික්ක අතුරින් කොළඹ, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්ක මුල් තැනක් ගත්තේය. ඒ අතුරින්ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය මෙන්ම සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන පිහිටි දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, පක්ෂ දෙකක් ලෙස වෙන් වශයෙන් මෙවර මැතිවරණයට තරග කිරීම නිසාත් එම පක්ෂ දෙකේම නායකයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමත් ඊට ප්‍රධාන හේතුවක් විය. ඔවුන්ට අත්වන්නේ කුමන ප්‍රතිඵලයක්ද යන්න මෙන්ම, එජාප බලකොටු ලෙස හැඳින්වුණු කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ආසනවල බලය එක්සත් ජාතික පක්ෂයට රැක ගන්නට හැකිවේදෝ යන සැකය බොහෝ දෙනා තුළ පැවතුණි.

රටේ අග නගරය වන කොළඹ නගරය පිහිටි, කොළඹ දිස්ත්‍රික්කය මෙරට පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් කර ගන්නා දිස්ත්‍රික්කයයි. එසේ වුවද ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් අඩුම බිම් ප්‍රමාණයක් ගන්නා දිස්ත්‍රික්කය වන්නේද කොළඹ දිස්ත්‍රික්කයයි. දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය (ජල මූලාශ්‍රද සමඟින්) වර්ග කිලෝමීටර් 699කි. මැතිවරණ කොට්ඨාස 15කින් යුක්ත කොළඹ දිස්ත්‍රික්කයේ දකුණු කොළඹ, උතුරු කොළඹ, මැද කොළඹ හා නැඟෙනහිර කොළඹ යන මැතිවරණ කොට්ඨාසයන්හි සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ජනකොටස්ද ස්ථිර ඡන්දදායකයින් වන අතර ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් හා ඇතැම් ප්‍රදේශවල සිංහල ජනතාවෝද වැඩි වශයෙන් දිවි ගෙවති. දෙහිවල ආසනයේ ඇතැම් ප්‍රදේශවල දෙමළ ජාතිකයන්ද වැඩි පිරිසක් දිවි ගෙවන අතර නැඟෙනහිර හා බටහිර කොළඹද හා උතුරු කොළඹද ඇතැම් ප්‍රදේශවල දෙමළ ජනතාවෝද වැඩි වශයෙන් දිවි ගෙවති.

එහෙත් මේ කිසිදු ජනතාවක් අතරේ කිසිදු අසමඟිකමක් දක්නට නොලැබෙන අතර සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව ආගමික සහජීවනයෙන්ද දිවි ගෙවන දිස්ත්‍රික්කයක් ලෙස, අනෙක් දිස්ත්‍රික්කවලට වඩා මුල් තැනක් එයට හිමිව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු මැතිවරණ ආසන වන්නේ බොරැල්ල, රත්මලාන, කොලොන්නාව, කෝට්ටෙ, කඩුවෙල, අවිස්සාවේල්ල, හෝමාගම, මහරගම, කැස්බෑව හා මොරටුවයි. එම ප්‍රදේශවල, වැඩි වශයෙන් සිංහල ජනතාවෝ දිවි ගෙවති. මහ නගර සභා හා නගර සභා වැඩිම සංඛ්‍යාවකින් යුක්ත දිස්ත්‍රික්කය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අතර කොළඹ මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව, කඩුවෙල මහනගර සභා යුක්ත වන අතර නගර සභා ලෙසින් කොලොන්නාව නගර සභාව, කැස්බෑව නගර සභාව, පාදුක්ක නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, හා මහරගම නගර සභාවන් යුක්ත වන අතර ප්‍රාදේශීය සභා ලෙසින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, සීතාවකපුර ප්‍රාදේශීය සභාව හා හෝමාගම ප්‍රාදේශීය සභාව ජන සෙත සෑදීමට ස්ථාපිත කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය කාලයක් තිස්සේ වැඩිම ජනතා මනාප ලබා ගන්නා අපේක්ෂකයන් සිටින දිස්ත්‍රික්කයන් බවට පත් වු අතර පසුගිය 2015 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මනාප 500,566ක් ලබාගැනීමත් සමගින් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව ශ්‍රී ලංකාවේම මනාප වාර්තාවක් පිහිටුවන ලදී. ඊට පෙර වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගෙන තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. එම වාර්තාවද මහින්ද රාජපක්ෂයන් කුරුණෑගලින් මෙවර මනාප 527364ක් ලබා ගනිමින් බිද දැම්මේය.

දේශපාලනික වශයෙන් මැද කොළඹ, නැඟෙනහිර කොළඹ, බටහිර කොළඹ, දකුණු කොළඹ, දෙහිවල මෙන්ම බොරැල්ල මැතිවරණ කොට්ඨාස එක්සත් ජාතික පක්ෂයේ බලකොටු ලෙස සැලකුණු අතර සීතාවක - අවිස්සාවේල්ල, හෝමාගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ වමේ බලය පැතිරුණු ප්‍රදේශ ලෙස හැඳින්විණි. සෙසු මැතිවරණ ආසන සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත් පක්ෂයන්හි වැඩි බලයක් හිමි ප්‍රදේශ ලෙස කාලාන්තරයක් තිස්සේ හඳුනාගෙන තිබුණි.

විශේෂයෙන්ම මැද කොළඹ හා අවට ප්‍රදේශය එක්සත් ජාතික පක්ෂයේ බලකොටු ලෙසින් මෙන්ම කැස්බෑව, මහරගම, හෝමාගම ප්‍රදේශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම වමේ පක්ෂයන්ට වැඩි බලයක් හිමි වූ ප්‍රදේශයන්ය.

අතීතයේ සිටම කොළඹ විවිධ පෙරලි රැසක් සිදු කළ දේශපාලඥයන් බිහි වූ දිස්ත්‍රික්කයකි. බොරලුගොඩ සිංහයා ලෙස විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධනගෙන් පෝෂණය වුණු මහජන එක්සත් පෙරමුණ ඔහුගේ භාර්යාව වූ කුසුමා ගුණවර්ධනගෙන් වර්ධනය වූ අතර ඇය 1948 අප්‍රේල් 19 දා නිතරගයෙන් පත් වූ ප්‍රථම සහ එකම මන්ත්‍රීවරිය ලෙස අදටත් නොබිඳෙන වාර්තාවක්‌ පිහිටුවා තිබේ. එමෙන්ම 1948 ජුලි 28 දා ප්‍රථමවරට සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතීමේ ගෞරවයද කුසුමා ගුණවර්ධනට හිමි වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දීර්ඝ පරපුරක් බිහි කළ ගුණවර්ධන පරපුර පසුව දේශපාලනයට ඉන්දික ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන මෙන්ම දිනේෂ් ගුණවර්ධන දේශපාලනයට පිවිසි අතර දිනේෂ් ගුණවර්ධන අද වන විට දේශපාලන කරළියේ ප්‍රබල චරිතයක් බවට පත්ව ඇත.

මන්ත්‍රීවරයකු ලෙස කොළඹින් පත්ව අගමැති පුටුවට හා ජනාධිපතිධුරයට පත්වූ ආර්. ප්‍රේමදාස වැනි දේශපාලකයන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ලෙස සැලකුණු ලලිත් ඇතුළත්මුදලි වැනි දේශපාලකයින් වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීමත්, කොළඹ ඇසුරු කරගෙන සිදු වූ දේශපාලනයේ කඩඉම් ලකුණු ලෙස පෙන්වා දිය හැකිය.

වමේ බලය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිව තිබූ හෝමාගම, කැස්බෑව, මෙන්ම මොරටුව වැනි ප්‍රදේශවල නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපති ධුරයන් කාලාන්තරයක්ම දරන ලද්දේද එම පක්ෂයේ ක්‍රියාකාරිකයන්ය.

2010 වසරට පෙර සිට කොළඹ දිස්ත්‍රික්කයට මැතිවරණ ආසන 20ක් හිමිව තිබුණු නමුත් 2010 වසරේ සිට ජන අනුපාතිකය අනුව කොළඹ දිස්ත්‍රික්කයට ආසන හිමි වූයේ 19කි. අඩුවූ අසුන අනුරාධපුරයට හිමි විය.

2010 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 10ක් හිමි කර ගත් අතර එම පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 480,896 ලබා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 51.19% ලබා ගැන්මට සමත් විය. ඡන්ද 339,750ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රීධුර 7කි. එසේම ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 111,683ක් ලබා ගෙන ආසන දෙකක් හිමි කර ගත්තේය.

එහිදී මනාප ලක්ෂය ඉක්මවා ලබාගත් මන්ත්‍රීවරුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමල් විරවංශ, දුමින්ද සිල්වා, පාඨලී චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන කැපී පෙනුණි. එමෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහද මනාප 232,957ක් ලබා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කළ සරත් ෆොන්සේකා මනාප 98,456ක් ලබා ගත් අතර සුනිල් හඳුන්නෙත්ති මනාප 78,123ක් ලබා ගත්තේය.

මෙහිදී කැපී පෙනුණු පක්ෂ මන්ත්‍රී හුවමාරුවක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ විමල් විරවංශයන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදී සෙසු අපේක්ෂකයන් අභිභවා යාමයි.

2015 මහ මැතිවරණයේදී මේ ප්‍රතිඵල වෙනස් වූයේ ඒ වන විට ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කර තිබීමයි.

එහිදී එක්සත් ජාතික පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 640,743ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 53%කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 474,663ක් ලබා ගන්නා ලදී. එය ප්‍රතිශතයක් ලෙස 39.21%කි.

එහිදී වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මුල් තැනට පත් වූ අතර සුජීව සේනසිංහ, , ආචාර්ය හර්ෂ ද සිල්වා, රවි කරුණානායක, පාඨලී චම්පික රණවක, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය විජේදාස රාජපක්ෂ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මනෝ ගනේෂන් පත් වූ සෙසු මන්ත්‍රීවරුන් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබා ගත්තේ විමල් විරවංශයන්ය. ඔහු මනාප 313, 801 ක් ලබාගත් අතර උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, මොහාන්ලාල් ග්‍රේරු, ගාමිණී ලොකුගේ පත් වූ අතර ජනතා විමුක්ති පෙරමු‍ණේ අනුර කුමාර දිසානායක මනාප 65,966ක් ලබා තේරී පත් විය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුවද 2018 වසරේ පවත්වන ලද පළාත්පාලන ඡන්දයේදී අලුත් පක්ෂයක් ලෙස මැතිවරණයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල පෙරළියක් කරන්නට සමත් විය. ඒ අනුව ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයට ලැබුණු ඡන්ද 1242,430න් ඡන්ද 521,656ක් ලබාගෙන දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර 572න් මන්ත්‍රී ධුර 244ක් ලබා ගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 198ක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයද මන්ත්‍රී ධුර 60ක් ලබා ගන්නා ලදී. ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 46ක් ලබා ගන්නා ලදි.

මේ ප්‍රතිඵලය පෙන්නුම් කෙළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වය ගත් බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව විසින් විශේෂිත නැඟී ඒමක් සිදු කර ඇති බවකි.

ඒ බව තවත් තහවුරු කෙළේ 2019 ජනාධිපතිවරණයයි.

2019 ජනාධිපතිවරණයෙදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මනාප 727,713ක් හිමි වු අතර එය ප්‍රතිශතයක් ලෙසින් 53.19%කි. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් මනාප ඡන්ද 559,921 ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 40.92%කි.

මෙවර මහ මැතිවරණයේදී (2020) දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් සංඛ්‍යාව 17,09,209ක් වූ අතර වැඩිම ජන්දදායකයන් පිරිසක් ලියාපදිංචිව සිටියේ හෝමාගම ආසනයෙන් වන අතර එම සංඛ්‍යාව 199,376 කි. අඩුම ඡන්දදායකයින් පිරිසක් ලියාපදිංචිව සිටියේ දෙහිවල ආසනයෙන් වන අතර එම පිරිස 63,277 කි. මැතිවරණයේදී 674,603 57.04% ක් ඡන්ද ප්‍රමාණයක් පොදු ජන පෙරමුණට හිමි වූ අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 12කි. ජාතික සමඟි ජන බලවේගයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 387, 145ක් වන අතර එය ප්‍රතිශතාත්මකව 32.73%කි. ඔවුන්ට හිමිවූ ආසන සංඛ්‍යාව 6කි.

ජාතික ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 67,600ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 5.72%කි. ඔවුනට හිමි වූ ආසන සංඛ්‍යාව එකක් පමණකි. මෙවර මැතිවරණයේ සිදුවූ විශේෂිතම සිදුවීම වන්නේ දශක ගණනාවක් කොළඹ බලය අල්ලාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයට එකදු ආසනයක් හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් නොලැබීමයි. එය පක්ෂය මුළුමනින්ම සෝදාපාළුවට ලක් වූවක් බව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත. එම පක්ෂයට ලබා ගත හැකි වූයේ ද ඡන්ද 30875 (2.61%) ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙනදා ප්‍රබලයින් සේ කලඑළි බසින ලද රවි කරුණානායක සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි ප්‍රබලයෝ මෙදා සොයා ගැන්මටවත් නොහැකි විය. විශේෂිතම සිදුවීම වූයේ සිවුවරක් අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහට කොළඹ දිස්ත්‍රික්කයවත් දිනා ගැන්මට නොහැකි වීමයි. දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්දවලින් පක්ෂයට ලද 30,875ම ඔහුට ලැබුණා වුවද එය අන්ත පරාජයක් වන්නේ මීට වසර 5කට පෙර පවත්වන ලද මැතිවරණයේදී වාර්තාවක් පිහිටවූ දේශපාලකයා වීම නිසාය. ජනතාව කෙතරම් දේශපාලඥයින් ප්‍රතික්ෂේප කරන්නේද, දේශපාලකයින් වැළද ගන්නේද යන්න මේ මැතිවරණය මොනවට පසක් කෙළේය.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් මැතිවරණයට යොමු කළ අභීත යුද සෙන්පතියකු වූ සරත් වීරසේකරයන් මෙවර කොළඹින් වැඩිම මනාප ලබා ගැනීමෙන් මේ බව වඩාත් තහවුරු වේ. කිසිදු දේශපාලන චරිතයක් නොවී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත්තා සේම සරත් වීරසේකරයන්ද මහ මැතිවරණයෙන් පෙන්නුම් කෙළේ අවංකත්වයට මුල් තැනක් ලබා දෙන්නට, ජනතාව කටයුතු කරන බව පෙන්නුම් කරමිනි.

දශක ගණනාවක් පැවැති පක්ෂයක් එකවර ජනතාවට එපා නොවේ. එය ජනතාවට එපා වන්නේ ක්‍රමයෙන් සිදු කරන්නා වූ හානියෙනි. එහෙත් ඒ හානියේ උපරිමයට පැමිණි විට පස්සා දොරින් ඔහු එළවා දැමීමටද පත් කරනා ජනතාවම කටයුතු කරන බව මේ මැතිවරණය පෙන්නුම් කළ ලොකුම ආදර්ශය වේ.

Comments