කොරෝනාවෙන් පසු පෙර පාසල් දරුවන්ට පාසල් දොර විවර වෙයි | සිළුමිණ

කොරෝනාවෙන් පසු පෙර පාසල් දරුවන්ට පාසල් දොර විවර වෙයි

මුල් ළමාවිය දරුවන් කොවිඩ් වසංගතයට ගොදුරු වීමේ අවදානම හේතුවෙන් මාර්තු මස 13 වැනිදා වැසුණු පෙර පාසල් නැවතත් විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දුන්නේ මේ මස 1 වැනිදායින් අනතුරුවය. මේ වන විට වැසුණු පාසල්ද පසුගියදා අදියරෙන් අදියර නැවතත් විවෘත කිරීමත් සමඟම සුපුරුදු පරිදි දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රමවත් වන්නට විය. ඉන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ හා අනුමැතිය මත පෙර පාසල්, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම වතු ආශ්‍රිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගත්තේ අගෝස්තු මස 1 වැනිදායින් අනතුරුවය.

මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන හා රැකවරණ මධ්‍යස්ථාන නැවත විවෘත කිරීම සිදුවන්නේ කොවිඩ් නිරෝධායන සෞඛ්‍ය චක්‍රලේඛයන්ට අනුකුලවය. අදාළ පෙර පාසල් නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් පවත්වා ගෙන යන්නේද සොයා බැලීමට මේ වන විටත් පළාත් කමිටුවක් පිහිටුවා ඇත්තේය.

පෙර පාසල් අධීක්ෂණය වන්නේ ඒ ඒ පළාත් සභා විසිනි. මේ නිසා අගෝස්තු මස නැවතත් ආරම්භ කෙරෙන පෙර පාසල් නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කෙරේද යන්න සොයා බැලීම ඒ ඒ පළාත් සභා සතු කාර්ය භාරයක්ද වන්නේය. කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නයනා සේනාරත්න පවසන පරිදි පෙර පාසල් පිළිබඳ අවසන් සමීක්ෂණයක් කර ඇත්තේ 2016 වසරේදීය. ඒ අනුව ඒ වන විට පෙර පාසල් 19,668 ක් ලියා පදිංචිව තිබී ඇත්තේය. නමුත් ඇය පවසන පරිදි මේ වන විට ලංකාවේ පෙර පාසල් අවම වශයෙන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් ඇත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙර පාසල් නියාමනය, අධීක්ෂණය හා ලියාපදිංචිය පිළිබඳව බලය ඇත්තේ පළාත් සභාවටය. ඒ අනුව විවිධ පළාත් සභාවන්ට අනුව යම් යම් වෙනස්කම් මත මේ කටයුතු සිදු වෙයි. මේ වන විට පෙර පාසල් විවෘත කිරීමේදි අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ අදාළ පළාත් ලේකම්වරුන් දැනුම්වත් කර ඇති අතර පෙර පාසල් ඇරීමේදි ඒ පිළිබඳ සුදුසු වාතාවරණයක් ඇද්ද යන්න සොයා බැලීමට නිසි බලය පවරා ඇත්තේද පළාත් බලධාරීන්ටය.

මේ අනුව සියලුම පළාත් බලධාරීන් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරු විසින් පළාත් කමිටුවක් පිහිටුවා ගත යුතු අතර පළාත් ප්‍රධාන ලේකම්, සෞඛ්‍ය බලධාරින් මෙන්ම මුල් ළමා විය බලධාරින්ගෙන් මේ කමිටුව සකස් විය යුතුයි. මෙම කමිටුව විසින් අදාළ පළාතේ පෙර පාසල් ආරම්භ කරන ක්‍රමවේදය, ආරම්භ කරන දිනය මෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළේද යන්න සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ඒ ඒ පළාතේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ආරම්භ කරන දිනය තීරණය කරන්නේ අදාළ පළාතේ සෞඛ්‍ය බලධාරීන්ය. සෑම පෙර පාසල් මධ්‍යස්ථානයක්ම සිය දරුවන්ගේ සෞඛ්‍ය උදෙසා දෙමවුපියන්ගෙන් සැදුම්ලත් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවක් පිහිටුවා ගත යුතු වෙයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති නිර්දේශවලට අනුව පෙර පාසල් නැවත ආරම්භ කිරීමේදී දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු අතර මේ පිළිබඳ ගන්නා තීරණ සියලු දෙනා දැනුම්වත් කිරීම වට්ස් ඇප් හෝ වයිබර් කණ්ඩායම් හරහා සිදු කළ යුතුයි. මෙහිදි දැඩිව අවධාරණය කර ඇති කරුණක් වන්නේ පන්ති කාමරයේ නිසි දුරස්තභාව පවත්වාගෙන යා හැකි පරිදි සිසුන් අසුන්ගත කිරීමයි. ඒ සඳහා සිසුන් අදියර වශයෙන් ගෙන්වා ගැනීමේ ක්‍රමයක් හෝ අනුගමනය කළ යුතු වෙයි. පෙර පාසල් නැවතත් ආරම්භ තිරීමට පෙර සනීපාරක්ෂක පහසුකම් සෑම මධ්‍යස්ථානයකට ඇති කළ යුතු අතර දරුවන් රැක බලා ගන්නා සැම අවස්ථාවකදීම කාර්ය මණ්ඩලය විසින් අත් සේදීම ක්‍රමවත්ව සිදු කළ යුතු වෙයි. එසේම කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැළදීම සිදු කළ යුතු අතර හදිසි අවස්ථ­ාවකදී දැනුම් දිම සඳහා තොරතුරු රැස් කිරීම මෙන්ම දරුවකු අසනීප වූ විට ඊට කළ යුතු ක්‍රියා පිළිවෙත පිළිබඳව කල් තියා සූදානම් විය යුතු බව දක්වා ඇත. විශේෂයෙන් රෝගී වූ දරුවන් දෙමවුපියන් පැමිණෙන තෙක් රැකබලා ගැනීමට වෙනමම ස්ථානයක් ස්ථාපිත කළ යුතුය.

මෙහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ දරුවන්ව මේ පිළිබඳව දැනුම්වත් කිරීමට කටයුතු කිරීමයි. විශේෂයෙන්ම පෙර පාසල ආරම්භ කරන පළමු දිනයේදිම දරුවන්ට සෞඛ්‍ය පුරුදු ‘ කර පෙන්වීමේ ‘ වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතු අතර කාර්ය මණ්ඩල දරුවන් දෙමවුපියන් දැනුම්වත් කිරීමට පෝස්ටර් හෝ අත්පත්‍රිකා ඔත්සේ දැනුම්වත් කිරීමට පියවර ගත යුතුයි.

පෙර පාසල් පන්ති කාමරය සකස් කළ යුතු වන්නේ දරුවන් එකිනෙකට මීටර් 1-2 දුරින් ඉඳගැනීමට හැකිවන පරිදිය. එසේම දරුවන් මුහුණට මුහුණලා සිදු කෙරෙන ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් වැළකීම, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල නිදන මෙට්ට, ඇඳ ඇතිරිලි මීටරයේ පරතරයෙන් තැබීම කළ යුතු වෙයි. සැම විටම ඇස් මුඛය නාසය ස්පර්ශ නොකළ යුතු බව දරුවන්ට කියා දීම, කිවිසුම් යාමෙදී අත් ලේන්සුවක් භාවිතය මේම ඉවතලන දේ කසළ බඳුනකට දැමීම වැනි ස්වසන ආචාර විධි දරුවන්ට කියා දිය යුතුයි. දරුවන්ගේ සෙල්ලම් බඩු විෂබීජහරණ ද්‍රව්‍යන්ගෙන් නිතර පිරිසුදු කිරීම, දරුවන්ගේ ගැටීම් සිදුවන ස්ථාන සියයට 70 ක ඇල් කොහොල් අඩංගු විෂබීජනාශක දියර යොදා සේදීම කළ යුතු වෙයි.

දරුවන් ආහාර අනුභවයේදි ඔවුනතර මීටරයක දුරස්ථතාව තබා ගනිමින් ආහාර අනුභවයට ඉඩ සැලැස්වීම මෙන්ම දරුවාටම වෙන් වූ භාජන භාවිතයට හුරු කිරීම කළ යුතුයි. දෙමවුපියන් දරුවන්ව රැගෙන ඒමේදි නිසි සෞඛ්‍ය පිළිවෙත් රැකිම මෙන්ම දරුවන්ට නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොකර තමන්ට පහසු ඇඳුමකින් පැමිණීමට ඉඩ සලසා දිම කළ යුතු බව සඳහන් වෙයි. ලංකා පෙර පාසල් ගුරු සංගමයේ සභාපතිනි වරුනි ජයසිංහ සඳහන් කළේ මේ වන විට සියලු පෙර පාසල් නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව සකසා ඇති බවයි. මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් දැනුම්වත් කර ඇති බවත් බොහෝ පෙර පාසල් ලබන 10 වැනිදා සිට ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති බවත්ය. මේ වන විට දෙමවුපියන් පවා දැනුම්වත් කර ඇති බවත් පෙර පාසල් අාරම්භයට පෙර දරුවන්ට අවශ්‍ය පුහුණුවීම් පවා සිදු කරන බවත් ඇය පැවැසීය. කුඩා දරුවන්ගේ ඇසට හුරු වන පරිදි අත් සේදීම ඇතුළු සෞඛ්‍ය ක්‍රමවේද ප්‍රදර්ශනයටද පියවර ගෙන ඇති බවත්ය.

එළැඹෙන අලුත් ‍ෙපර පාසල් කාලය මේ කුඩා දරුවන්ටද නැවුම් අත්දැකීමක් ඇති කරවන්නකි. ඔවුන් කොරෝනා වසංගතය ගැන යම් තරමකින් අසා තිබුණද ඊට නිසි පරිදි අනුගත වන්නට මෙවර ඔවුනට සිදු වන්නේය.

Comments